Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ කොරල්පර විනාශය සහ එහි පාරිසරික බලපෑම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලංකාව මුහුදින් වට වුණු රමණීය දිවයිනක්. මනස්කාන්ත වෙරළ තීරයන් රැසක් පිහිටා තිබෙන අප රටට විදෙස් සංචාරකයින් නිරන්තරයෙන්ම පැමිණෙනවා. එලෙස පැමිණෙන සංචාරකයින් ලංකාවේ සුන්දර වෙරළ තීරයන් වෙත ගොස් විනෝදවීමට විශාල කැමැත්තක් දක්වනවා. මුහුදු වෙරළ ආශ්‍රිතව සුන්දරත්වය විඳින සංචාරකයන්ගේ නෙත ගැටෙන තවත් විශේෂ පරිසර පද්ධතියක් වන්නේ ලංකාවේ කොරල් පවුර යි. මීට දශක කිහිපයකට පෙර ලංකාව වටා පිහිටා තිබුණු සුන්දර කොරල්පර පද්ධතිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගත්තා. නමුත් පසුගිය කාල සමයේ දී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා එය ක්‍රමයෙන් විනාශ වී යන ආකාරය දක්නට ලැබුණා. 

කොරල්පරයක් යනු?

කොරල්පරයක් යනුවෙන් හඳුන්වන්නේ වෙරළට ආසන්නව වෙරළට සමාන්තරව ගමන් කරන සජීවී පරයක්. බුහුබාවන් මිලියන ගණනක් එකතුවීමෙන් සෑදෙන කොරල්පර මහ සයුරට අපූරු සුන්දරත්වයක් ගෙන එනවා. කොරල් පරයක් නිර්මාණය වන්නේ බුහුබාවා ලෙස හඳුන්වන කුඩා ජීවියෙකු මඟින්. සාමාන්‍යයෙන් කොරල් ගහනයක බුහුබාවන් ලක්ෂ ගණනක් සිටිනවා. එම කොරල් ගහන රාශියක් එකතු වී පරයක් නිර්මාණය වනවා. යම් කාලයක් ගතවන විට එම කොරල්පර මත මුහුදු පැළෑටි, ඇල්ගී වර්ග වැඩෙනවා. එසේම එය තවත් මුහුදු ජීවීන් රැසකගේ නිවහනක් බවට පත්වෙනවා. 

කොරල්පරයක් නිර්මාණය වන ආකාරය 

අපෘෂ්ඨ වංශික ගණයට අයත්වන කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙකු වන බුහුබාවා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝෂණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් නිර්මාණය කර ගන්නවා. බුහුබා සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙසින් හඳුන්වනවා. කොරල්පරය ආරම්භ වීම සිදුවන්නේ තනි බුහුබාවෙකුගෙන්. සාගර ජලයේ පාවෙමින් සිටින එම බුහුබාවා තද මතුපිටක් හමු වුණු විගස එහි පදිංචි වී සැකිලි සාදනවා. එහි දී පැටවුන් මාපිය බුහුබාවන්ට බද්ධ වී සැකිලි සාදන ආකාරය දක්නට ලැබෙනවා. අවසානයේ දී  බුහුබාවා මියගියත් ඉතිරිවන සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වෙනවා. එලෙස  වසර දහස් ගණනක් තිස්සේ බුහුබාවන්ගේ  කොළනියක් මඟින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් ලෙසින් හඳුන්වනවා. 

වර්ණවත් කොරල්පර (gettyimages)  

කොරල්පරවලට හිතකර පරිසරය 

සාගර පතුලේ හැදෙන කොරල්පර බහුලවම දක්නට ලැබෙන්නේ සමකයේ සිට අංශක 30ක් උතුරටත් අංශක 30ක් දකුණටත් පිහිටි ප්‍රදේශවල යි. කොරල්පර බුහුබාවන් වර්ධනය වීම සඳහා සෙල්සියස් අංශක 28-35 අතර උෂ්ණත්වයක් අවශ්‍ය වනවා. සාමාන්‍යයෙන් ධ්‍රැවාසන්න ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ට වඩා අඩු නිසා එවැනි ප්‍රදේශවල කොරල් බුහුබාවන්ට ජීවත්වීමට අපහසු යි. ඊට අමතරව කොරල්පර  බුහුබාවන්ගේ පැවැත්ම සඳහා ජලයේ තිබෙන ලවණතාවත් ඉතා වැදගත්. සාමාන්‍යයෙන් කොරල්පර බුහුබාවෙකුට අපහසුවකින් තොරව ජීවත් වීම සඳහා ජලය ලීටරයකට ලුණු ග්‍රෑම් 35ක් පමණ තිබිය යුතු යි. 

ලංකාවේ කොරල්පර දක්නට ලැබෙන ප්‍රදේශ 

ලංකාව තුළ කොරල්පර පිහිටා තිබෙන ස්ථාන ගැන කතාබහ කරන විට ක්ෂණයකින් මතකයට එන්නේ හික්කඩුව යි. හික්කඩුවට අමතරව යාපනය, ගාල්ල, මන්නාරම, යාල, පාසිකුඩා වැනි ප්‍රදේශවල දී විශාලතම කොරල්පර දැකගැනීමට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දෘඩ කොරල් වර්ග 200කට අධික ප්‍රමාණයකුත් මෘදු කොරල් වර්ග 35ක් පමණත් පිහිටා තිබෙන බව වාර්තා වනවා. 

ලංකාවේ කොරල්පර (gettyimages)  

කොරල්පරයක් මඟින් පරිසරයට සිදුවන සේවය  

විවිධ මත්ස්‍ය වර්ග මෙන්ම වෙනත් ජලජ ජීවීන් රැසකට වාසස්ථාන සහ ආහාර සපයන වැදගත් පරිසර පද්ධතියක් ලෙසින් හැඳින්වෙන කොරල්පර සාගර පතුලට වටිනාම සම්පතක් වනවා. එසේම මුහුදු ජිවීන්ගේ අභිජනනයට සුදුසු පරිසරයක් කොරල්පර ආශ්‍රීතව පවතිනවා. එමඟින්  ධීවර කර්මාන්තයට වඩාත්  හිතකර පරිසරයක් නිර්මාණය වනවා. තව ද වෙරළට ආසන්නව බැම්මක් ආකාරයෙන් නිර්මාණය වී තිබෙන කොරල්පර නිසා වෙරළ ඛාදනය අවම වනවා. එහි දී සිදුවන්නේ කොරල්පර වෙරළ ඛාදනය වළක්වන බාධකයක් ලෙස ක්‍රියාකරමින් මුහුදු රළේ වේගය අඩු කිරීම යි. 

කොරල්පර අතිශය අලංකාර සහ සුන්දර පරිසර පද්ධතියක්. ඒ හරහා සංචාරක කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එසේම පසේ ආම්ලිකතාව අඩු කිරිමට රසායනයක් ලෙසත් කොරල්පර වැදගත් වනවා

කොරල්පර ආශ්‍රිතව ජීවත්වන මත්ස්‍යයින් (gettyimages)  

ලංකාවේ කොරල්පර විනාශ වන ආකාර 

කොරල්පර ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් යන ආකාර දෙක මඟින්ම විනාශ වනවා. ඒ අනුව පසුගිය දශක දෙක තුළ ලංකාවේ මුහුදු ප්‍රදේශ වටා තිබුණු කොරල්පර විශාල ප්‍රමාණයක් විනාශවන ආකාරය දක්නට ලැබුණා.

ස්වභාවික හේතු මඟින් කොරල්පර විනාශ වීම 

කොරල්පර සෑදීම සිදුවන්නේ විශේෂිත උෂ්ණත්ව තත්ත්වයන් යටතේ දී යි. එම නිසාම උෂ්ණත්ව විපර්යාස ඒවායේ වර්ධනය කෙරෙහි බලපානවා. 1998 වසරේ ඇති වුණු එල්නිනෝ තත්ත්වය නිසා සමකයට ආසන්න මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරල්පර විරංජනය වන ආකාරය දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් කොරල්පරවලට දීප්තිමත් වර්ණයන් ලබාදෙමින් ඒ තුළම ජීවත් වන ඇල්ගී වර්ගය අධික උෂ්ණත්වය නිසා විනාශ වෙලා යනවා. එම ඇල්ගී වර්ගය විනාශ වීම හේතුවෙන් කොරල් පාරදෘශ්‍ය ස්වභාවයට පත් වෙනවා සේම ඒවායේ සුදු පැහැති සැකිල්ලත් නිරාවරණය වනවා. ඉහත ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම මඟින් කොරල් මරණයට පත්වනවා. ඉහත හේතුවට අමතරව ලංකාවේ කොරල් විනාශ වීමට බල පෑ අනිත් ස්වභාවික හේතුව වුණේ 2004 සුනාමි ව්‍යසනය යි. එහි දී සුනාමි රළ පහර කොරල්වල වැදීම නිසා ඒවාට විශාල භෞතික හානියක් සිදු වුණා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා කොරල්පර විනාශ වීම 

ඩයිනමයිට් යොදා සිදු කරන මසුන් ඇල්ලීම නිසා කොරල්පරවලට දැඩි හානියක් සිදුවනවා. එලෙස ඩයිනමයිට් භාවිතා කිරීමේ දී ඇතිවන කම්පනය නිසා කොරල්පර දෙදරා ගොස් විනාශ වනවා. එසේම යාන්ත්‍රික බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිත කිරමේ දී බෝට්ටුවල නැංගුරම් මුහුදු පත්ලට බැස්සවීම නිසා කොරල්පර සීරියාම සහ කැඩී යාම සිදුවනවා. ඊට අමතරව හුණු ලබාගැනීම සහ සංචාරකයන්ට අලෙවි කිරීම සඳහා ඇතැම් පිරිස් අනවසරයෙන් කොරල් කැඩීම සිදු කරනවා. තව ද මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ගංවතුර හේතුවෙන් අධික රොන්මඩ ප්‍රමාණයක් සාගරය වෙත ගමන් කරනවා. එලෙස සාගරයට එකතු වන රොන් මඩ කොරල්පර සහිත ප්‍රදේශවල තැන්පත් වීම හේතුවෙන් කොරල්පර වර්ධනය වීම අඩාල වනවා.

කොරල්පර විනාශ වීම නිසා සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම 

කොරල්පර විනාශ වීම නිසා වෙරළ ඛාදනය බහුලව සිදුවනවා. එම නිසා වෙරළ සංරක්ෂණය වෙනුවෙන් රජයට අධික වියදමක් දැරීමට සිදුවනවා. එසේම කොරල්පර විනාශ වීම නිසා සිදුවන ආහාර දාමයන්ගේ අසමතුලිතතාවය නිසා මත්ස්‍ය ගහණය අඩු විය හැකියි. එමඟින් ධීවර කර්මාන්තය අකර්මණ්‍ය වීමට විශාල ඉඩකඩක් තිබෙනවා. එසේම කොරල්පර විනාශවීම සංචාරක කර්මාන්තයටත් වක්‍රාකාරව බලපෑමක් සිදු කරනවා. සාමාන්‍යයෙන් කොරල්පර නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් කොරල්පර විනාශ වුණොත් ඔවුන්ගෙන් රටට ලැබීමට නියමිත විශාල මුදලක් අහිමි වනවා. කොරල්පර විනාශ වීමෙන් සිදුවන පාරිසරික සහ ආර්ථික හානිය අවම කරගැනීම සඳහා ඒවාට හානිකරන මිනිස් ක්‍රියාකාරකම් වැලැක්වීමට නීතිරීතී සම්පාදනය කළ යුතු යි. ඒ සඳහා අදාළ බළධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක වුණොත් දැනට ඉතිරිව තිබෙන කොරල්පර ප්‍රමාණයවත් රැකගැනීමට හැකිවනු ඇති. 

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයයන්- Five Coral Reefs of Sri Lanka

Related Articles