කොවිඩ් 19 නිසා සාගතයක් ඇතිවෙයි ද?

ආර්ථිකමය, සමාජිය හා සෞඛ්‍යමය වශයෙන් මෙන්ම තවත් ගෝලීය අර්බුදයන් රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනාවයිරස (Coronavirus (COVID-19)) වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැ යි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක්  වන ලෝක ආහාර වැඩසටහන (World Food Programme – WFP) මේ වන විට, අනතුරු අඟවා තිබෙනවා.

මහ ව්‍යවසනයක් ඇති වීමට පෙර සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින් රටවල් ද එකතු වී කඩිනම් පියවර ගත යුතු බව මේ පිළිබඳව අනතුරු අඟවමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී එහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බියස්ලි (David Beasley) පවසනවා. එසේ නොමැති වුවහොත් කිතුනු බයිබලයේ සඳහන් මට්ටමේ මහා සාගතයකට මුහුණ දීමට සමස්ත ලෝකයටම සිදුවිය හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා. ඉන් ගැලවීමට නම් සංවර්ධිත රටවල් විසින් තෙවන ලෝකයේ රටවල ආහාර සැපයීමේ දාම ආරක්ෂිත කළ යුතු බව සඳහන්. මේ වන විටත් එවැනි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව තිබෙනවා.

එසේ නොමැති වුවහොත් මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත මහා සාගතයක් නිර්මාණය වීම වැළක්විය නොහැකි වන බව එම සංවිධානය ප්‍රකාශ කරනවා. එසේම එවැනි සාගතයක දී දිනකට මරණයට පත් විය හැකි ප්‍රමාණය 300,000 පමණ විය හැකි බව ද ඔවුන් ගණන් බලා තිබෙනවා.

ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය 

ලෝක ආහාර වැඩසටහෙන් ප්‍රධානියා (cdnuploads)

පසුගිය දා එක්සත් ජාතීන්ගේ ෆේස්බුක් පිටුව, යු ටියුබ් චැනලය හා ට්විව්ටර් සේවාව ඔස්සේ සජීවීව කෙටි සාකච්ජාවකට එකතු වෙනවා. “ගැටුම්වලට මැදි වී සිටින කුසගින්නෙන් පෙළෙන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම” එහි මාතෘකාව යි. ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී එහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බියස්ලි වසංගතයෙන් පසුව ඇතිවන සාගතය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඇති වන ප්‍රතිඵලය ඇති භයානක බව එහිදී පවසනවා. තව ද කුස ගින්නේ පසුවන මිනිසුන් ප්‍රමාණය දෙගුණ වනු ඇති බව සඳහන් කරනවා. ඔවුන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලොව පුරා රටවල් 55ක කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන එකසිය තිහේ සිට 2020 වසර අවසානයේ දී මිලියන දෙසිය හැටපහ දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. 

වර්තමානය වන විටත් යුද හා සිවිල් ගැටුම්වලින්, දේශගුණික විපර්යාසයන්ගෙන් හා සම්පත් සීමිතභාවයෙන්  පීඩා විඳින ජාතින්ට අයත් මනුෂ්‍යයන් මිලියන ගණනාවක් ලොවපුරා සිටින බව එම සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ අතරින් බොහෝමයක් දෙනා කාන්තාවන් හා ළමයින් වෙනවා.එලෙස පිඩා විදින බොහෝ අයගේ ප්‍රධාන ප්‍රශ්නය ආහාර යි. එබැවින් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඔවුන්ගේ ආහාර ප්‍රශ්නය තවත් වර්ධනය වී සාගින්නෙන් පෙළෙන ප්‍රමාණය සිග්රවව ඉහළ යා හැකි බව එම සංවිධානයේ පෙන්වා දෙනවා. කොරෝනා වෛරසයෙන් ගැලවීමට උත්සාහ දැරීම හේතුවෙන් මිනිසුන් කුසගින්නෙන් මිය යාම වඩා ශෝකජනක තත්ත්වයක් ලෙස සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රධානියා වන කු ඩොන්යු ද මෙම සාකච්ජාව සඳහා සහභාගී වන අතර මේ වන විටත් එක්සත් ජාතින් මඟින් මිලියන 100කට ආසන්න ලෝක ජනගහනයක් පෝෂණය ලබන බවත්, මෙම පිරිස ඉක්මනින් ඉහළ ගියහොත් එය තම සංවිධානයට ද දරා ගත නොහැකි වනු ඇති බව ඔහු දන්වා සිටිනවා.

“මෙම පුද්ගලයින්ට අවශ්‍ය ආධාර ඔවුන් වෙත ළඟා නොවුනහොත් අපගේ විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ ඉදිරි මාස තුනක කාලයක් තුළ සෑම දිනකම 300,000ක පිරිසකට කුසගින්නේ මිය යා හැකි බව යි. ලෝකය ඉතා බුද්ධිමත්ව එසේ ම කඩිනමින් පියවර ගත යුතුව තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටිනවා. ඒ වගේම ගැටුම්වලට මැදි වී සිටින අදාළ වගකිව යුතු පාර්ශවයන් හැකි ඉක්‌මනින් මේ සඳහා මැදිහත්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා”, ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා අවසානයේ සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතින් සඳහන් කරන ආකාරයට සාගතය උග්‍ර වෙන රටවල් 

සාගින්නෙන් පසුවන ජනතාව වාසය කරන මහද්වීප අතරින් අප්‍රිකාවට ලැබෙන්නේ මුල්ම ස්ථානය යි. (wfp)

කොව්ඩ් 19 වසංගතය පැතිර යාමට පෙර පවා අප්‍රිකා මහද්වීපයේ, ලතින් ඇමෙරිකා මහද්වීපයේ හා ආසියාවේ ඇතැම් කලාපයන් (මැදපෙරදිග ඇතුළුව) බරපතළ ආහාර අර්බුදයකට ලක් වී තිබූ බව ඔබ දන්නවා ඇති. ඊට හේතුව වන්නේ දීර්ඝ කාලීන නියඟය, ත්‍රස්තවාදී ගැටුම්, සිවිල් අර්බුද, රට රටවල් අතර යුද්ධ හා බෝග විනාශකාරී පළිබෝධකයන්ගේ බලපෑම යි.

ආහාර ලබා ගන්නා දකුණු සුඩාන ළමුන් පිරිසක් (wfp) 

ඉහත මහද්වීප හා කලාපවල රටවල වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට ලෝක ආහාර වැඩසටහන අනුමාන කරනවා. මේ ආකාරයට උග්‍ර අර්බුදයට ලක්වන රටවල් අතර ඇෆ්ගනිස්ථානය, ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය, දකුණු සුඩානය, සිරියාව, යේමනය  සිම්බාබ්වේ,නයිජීරියාව හා හයිටි යන රටවල් ඉදිරියෙන් සිටින බව ද එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙනවා. ඊට අමතරව අප්‍රිකාවේ මෙන්ම දකුණු ආසියාවේ තවත් රටවල් කිහිපයක් ද කොවිඩ් -19 වසංගතයට පෙර සිටම නියඟයෙන් හා පළඟැටි උවදුරින් පීඩාවිඳින බැවින් එම රටවල ද දැවැන්ත ආහාර අර්බුදයක් උද්ගත විය හැකි බවත් ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරනවා. එම රටවල වැඩිම බලපෑමක් කුඩා ළමුන්ට හා කාන්තාවන්ට එල්ල වෙනු ඇති බව ද සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය 

ශ්‍රී ලංකාවේ ද කුඩා ළමුන් බොහෝ ප්‍රමාණයක් දැනටමත් මන්දපෝෂණයෙන් පෙළෙනවා (googleuser)

COVID-19 වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ද ආර්ථිකය පෙර නොවූවිරූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් සැලසීම හා සහන කටයුතු සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. 

මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා වියදම් සීමා කිරීම ඇතුළු නොයෙකුත් ආර්ථික උපක්‍රම අනුගමනය කරන බව රජය පවසනවා. රාජ්‍ය අදායම අඩුවීම තුළ රටේ වියදම COVID-19 තත්ත්වය හමුවේ තවත් ඉහළ යාම නිසා පැවති ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී ඇති බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා.

මහබැංකු වාර්තාවට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 2.3% වන නමුත් 2018 වර්ෂයේ එම අගය 3.3% වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය 1% කින් පහත වැටී තිබෙනවා. ඉදිරියේ දී එය තවත් පහත වැටෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව තෙවන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවට ද ඉහත දැක්වූ සාගත තත්ත්වයේ බලපෑම්වලට හසුවිය ගැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය  - pulitzercenter

මූලාශ්‍රයයන්  - 

Wfp.org

Telegraph.co.uk

BBC.com

Related Articles