Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ් වසංගතය හමුවේ මුඛ ආවරණ පැළඳිය යුත්තේ කවුරුන් ද?

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග මහමග ගමන් කිරීමේ දී, පොදු ස්ථානවලට යාමේ දී හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම විවිධ රටවල ද දකින්න ලැබෙන්නේ විවිධ පිළිවෙත්.

ඇත්තෙන් ම සාමාන්‍ය ජනයා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය ද? නැති ද? පැළඳිය යුතු නොවේ නම් හේතු මොනවා ද? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධව ගෙන ඇති තීරණ මොනවා ද? විවිධ රටවල මුඛ ආවරණ සම්බන්ධ නීති හා රීති ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් ද? ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල මේ සම්බන්ධ තත්ත්වය කුමක් ද? මේ සියල්ල පිළිබඳ මේ ලිපිය ඔස්සේ විමසීමක් කරනවා.

වෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේ ද?

චීනයේ වූහාන් ප්‍රදේශයන් ආරම්භ වූ කොරෝනාවෛරසය මේ වන විට රටවල 190කට වඩා වැඩි ගණනකට පැතිර ගොස් තිබෙනවා. (medscape)

“ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක බිඳිති ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ රෝගකාරක බිඳිති අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි,” යනුවෙන් හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස අධ්‍යයන විද්‍යාව අංශයේ මහාචාර්ය මලික් පීරිස් වෛරස ව්‍යාප්තිය පිළිබඳව එසේ පැහැදිලිව විස්තර කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ආරක්‍ෂිත මුඛ ආවරණ පැළඳිය යුත්තේ කවුරුන් ද?

N95 මුඛ ආවරණය (shopify)

මුඛ ආවරණවල ප්‍රධානම අරමුණ වන්නේ කොරෝනාවෛරසය වැළඳී ඇති කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවීම වළක්වාලීම යි. එනම් කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන අයෙකු, නැතිනම් උණ, කිවිසුම් යාම, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇති කෙනෙකු මුඛ ආවරණය පැළඳිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එම සංවිධානය ප්‍රකාශ කරන පරිදි මුඛ ආවරණ පැළඳිය යුතු පුද්ගලයන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි යි. එම කොටස් දෙකට අයත් පුද්ගලයන් පමණක් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන බව සඳහන් කරනවා. රෝගී සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් හා කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කෙනෙකුට සාත්තු කරන පුද්ගලයන් එම කොට්ඨාශ දෙක යි.

නිරෝගී අයෙක් මුඛ ආවරණ පැළඳීම මඟින් අවට වාතයේ පවතින වෛරසය ශරීරගත වීම වැළක්වීමට හැකියාවක් නොලැබෙන බැවින් ඔවුන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ නෑ.

සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ නොපැළඳිය යුත්තේ ඇයි?

සායනික මුඛ ආවරණ (time.com)

කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් මුඛ ආවරණ සඳහා ඉල්ලුම එක්වරම ඉහළ ගිය අතර ඒ තුළින් මුඛ ආවරණවල හිඟයක් ලොව පුරා නිර්මාණය වෙනවා. ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ සාමාජිකයන් සඳහා අවශ්‍ය සායනික මුඛ ආවරණ හිඟයකින් තොරව සැපයීම සඳහා වෙන්කර තබා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා. තව ද වෙනත් කෙනෙකුගේ කිවිසුම් සහ කැස්ස මඟින් මෙන්ම මුහුණු ආවරණය පැළඳීමට හෝ ඉවත් කිරීමට යාමේ දී එය විෂබීජවලින් අපවිත්‍ර විය හැකි වීම, 

නිතර දෑත සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වඩා ඵලදායී වීම හා 

මුඛ ආවරණ පැළඳීම මඟින් තමා පූර්ණ වශයෙන් ආරක්ෂිතය යන ව්‍යාජ හැඟීම ලබා දිය හැකි වීම යන කරුණු ද පොදු ජනතාව මුහුණු ආවරණ පැළඳිය යුතු බවට නිර්දේශ නොකිරීමට හේතු ලෙස සඳහන් කළ හැකි යි. 

සායනික මුඛ ආවරණ නොමැතිව විවිධ ආකාරයේ රෙදි වර්ග යොදාගනිමින් නිර්මාණය කර තිබෙන මුඛ ආවරණ ද මේ වන විට සාමාන්‍ය ජනතාව බොහෝ සෙයින් භාවිතා කරනවා. නමුත් ඒවා සපුරාලිය යුතු ආරක්‍ෂිත අවශ්‍යතා සපිරේදැ යි කිසිදු  නියාමනයක් සිදු වන්නේ  නෑ. නමුත් කෙනෙකු මුඛ ආවරණයක් පැළඳීමට තීරණය කළහොත් එම තීරණය තමා සතු වන අතර එය නියමාකාරයෙන් සිදු කරන ක්‍රමවේදවලට අනුව සිදු කිරීම ඉතාමත් වැදගත් වනවා.

මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මඟින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට නව කොරෝනාවෛරසය ආසාදනය සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

විවිධ රටවල මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග 

කොරෝනාවෛරසයෙන් ගැලවීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු යහපත් පුරුදු (.bbci)

ඇමෙරිකාවේ යම් යම් ප්‍රාන්තවල, ඔස්ට්‍රේලියාව, පෘතුගාලය, හා ප්‍රංශය වැනි රටවල මේ වන විට පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී (වෙළඳ සැල් හා ඖෂධ ශාලා) හා පොදු ප්‍රවාහනය භාවිතයේ දී  මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ඉතාලිය තුළ වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇති ප්‍රදේශවල නීතිය අනුව නිවසින් පිටත යන සියලු දෙනා මුව හා නාසය වසා ගෙන යා යුතු ය යන්න නීතියක් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ජර්මනියේ සියලුම දෙනා තම නිවසින් ඉවතට යාමේ දී මුව ආවරණයක් භාවිතා කළ යුතු බවට එරට රාජ්‍ය නායිකා ඇන්ගෙලා මර්කෙල් ප්‍රකාශ කර තිබෙනවා..

ශ්‍රී ලංකාවේ තත්ත්වය 

වෛරසයේ චීනයේ වුහාන්වල පැතිර යන සමයේ ශ්‍රී ලංකාවෙන් ද ආසාධිත කාන්තාවක් වාර්තා වෙනවා. එම දිනවල ලංකාවේ ද මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් රැල්ලක් පැන නැගුනු අතර මුඛ ආවරණ ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවී වීම ද සිදු වෙනවා. නමුත් සෞඛ්‍ය අංශයන් මඟින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවත්, ඒ වෙනුවට නිතරම තම අත් සබන් ගා සේදීම, පොදු ස්ථානවල සැරිසැරීමේ දී අතින්, නාසය, මුහුණ හා මුඛය නොඇල්ලීම යන දේවල් වැදගත් බව පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ ලංකාවේ සමාජීය පැතිරීමක් මේ වන තුරු වාර්තා වී නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බවත්, එසේ නොපළදින පුද්ගලයන්ට පැළඳීම සිදුකරන ලෙස බල නොකළ යුතු බවත් ය.

නමුත් පසුගිය අප්‍රේල් 10 වන දා මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන අතර මාධ්‍ය මඟින් ද මුඛ ආවරණ පැළඳීම  අනිවාර්ය කර ඇති බවට යම් යම් අවස්ථාවල වාර්තා කර තිබෙනවා. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිර යාමක් වාර්තා වී නොමැති නිසා මුඛ ආවරණ පැළඳීමක් අවශ්‍ය නොවන බව යි. එම ප්‍රකාශය සංශෝධනය කරමින් මේ වන තුරු මුඛ ආවරණ අනිවාර්ය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර නෑ.

මූලාශ්‍රයයන් - 

BBC

Lankadeepa.lk

කවරයේ පින්තූරය - .bbci

Related Articles