ලොව දූෂිතම සහ අවම දූෂිත රටවල්

ඉකුත් සැප්තැම්බර් 23, එක්සත් ජාතීන්ගේ ලෝක නායකයන් ආමන්ත්‍රණය කිරීමට පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්ට අවස්ථාව හිමි විය. ඒ ඇය ආරම්භ කළ දේශගුණ විපර්යාසයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරය නිසාවෙනි. සිකුරාදා දින පංති වර්ජනය කර ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට තනිව අරගල කරමින් ආරම්භක කෙටි පියවරක් තැබූ ග්‍රේටා තුන්බර්ග්, අද වන විට දේශගුණ විපර්යාසයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයේ ප්‍රධානම පුරුකක් බවට පත්ව හමාරය. ඇයගෙන් ලද පන්නරය ලොව පුරා රටවල් රැසක දේශගුණ විපර්යාසවලට එරෙහිව තරුණ පරපුර පෙළගැසීමට හේතු විය. දේශගුණ විපර්යාස පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය දිනාගැනීමේ අරමුණින් ඇය ගෙන යන මෙම අරගලය ඒ අතර සුවිශේෂ යි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ඇය ලෝක නායකයන් ඉදිරියේ අපූරු කතාවක් කළා ය.

“ඔබ, මගේ සිහින හා මගේ ළමා කාලය ඔබේ හිස් වචනවලින් සොරකම් කරලා”

නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව හමුවේ ඇය කඳුළු පිරි දෑසින් යුතුව පවසා සිටියා ය.

ලෝකයට වැඩිම බලපෑමක් සිදුකළ හැකි දැරියක් ලෙස සැලකෙන ග්‍රේටා තුන්බර්ග්, තවමත් 16 හැවිරිදි වියේ පසුවන අතර මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇයගේ නම ද යෝජනා වී තිබේ.

ඉදිරියේ දී ලිපි මාලාවක් හරහා පරිසර දූෂණය හා ඉන් ඇති වන දේශගුණික විපර්යාස පිළිබඳ ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. එහි ආරම්භක ලිපිය ලෙස මේ ලිපිය මඟින් ලොවේ දූෂිතම රටවල් හා වඩාත් පරිසර හිතකාමී රාජ්‍ය හඳුනාගනිමු.

ලෝකයේ වඩාත්ම දූෂිත හා අවම වශයෙන් දූෂිත රටවල්

පරිසර දූෂණය මිනිසුන් සිතනවාට වඩා භයානක ය. පරිසර දූෂණේ ප්‍රතිඵල නිසාවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන තුනකට වඩා අකල් මරණ සිදු වේ. ගෝලීය පරිසර දූෂණය මට්ටම් ඉහළ යමින් පවතින අතර, සමහර රටවල් එය විසඳීම සඳහා මංපෙත් විවර කරමින් සිටී. ඒ අතර තවත් සමහරු එය එතරම් ලොකුවට තැකීමක් කර නැත. නගරවල ඉතා කුඩා දූෂක අංශු මට්ටම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන මත පදනම්ව, වඩාත්ම දූෂිත හා අවම වශයෙන් දූෂිත රටවල් නම් කර ඇත. මේ ඉන් ප්‍රධාන රටවල් 10ක් පිළිබඳව යි.

(2017-ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව)

දූෂිතම රාජ්‍යයන් දහය

10- නේපාලය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 50)

දකුණු හා නැගෙනහිර ආසියාවේ දුප්පත් ප්‍රදේශවල ඉහළම නාගරික දූෂණයක් ඇත. නේපාලයේ පෙනහළු හා සමේ රෝග ඉහළ යාම සඳහා එය දායක වී ඇති බව බීබීසී වාර්තා කරයි. බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය වන ලුම්බිණි වැනි ප්‍රධාන තැන් පවා ඒ අසල ඇති කාර්මික ක්‍රියාකාරකම්වල බලපෑමට ලක් වී ඇත. සංචාරකයින් හුස්ම ගැනීමේ ගැටළු වාර්තා කර ඇති අතර, භික්ෂූන් වහන්සේලාට විටින් විට මුඛ ආවරණ පැලඳිය යුතු ය.

9- බහරේනය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 56.1)

අවට කාන්තාර පැවතීම නිසා ලෝකයේ නවවන දූෂිත රට වන බහරේනය යි. බහරේනය ඇතුළු මැද පෙරදිග සමහර ප්‍රදේශවල දැඩි දූවිලි කුණාටු ඇති වේ. ලෝකයේ අනෙකුත් දූෂිත ප්‍රදේශවල නගර ආවරණය වන දුමාරයට වඩා හාත්පසින්ම ඒවා වෙනස් ය. කුණාටුවලට හසු වූ අපිරිසිදු ද්‍රව්‍ය තවමත් මිනිසුන් තුළ තබා ගැනීම  මාරාන්තික ය.

8- ඉන්දියාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 60.6)

දිල්ලියේ ගිනිකෙළි සංදර්ශන සඳහා නව සීමාවන් උල්ලංඝනයනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 300ක් පමණ  අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්දියාවේ මාර්ග තදබදය සහිත මාර්ගවල වාතය කොතරම් නරක ද යත්, එය දිනකට සිගරට් 50ක් පානය කිරීම තරම් හානිකර බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි. මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය මෑතක දී දිල්ලියේ වාතයෙහි ගුණාත්මකභාවය දැඩි ලෙස සටහන් විය. දිල්ලිය දූෂණය අතින් දෙවන වන්නේ කයිරෝවට ය. ඒ නම් කළේ වාතය, ශබ්ද, සහ ආලෝක දූෂණය යන ශ්‍රේණිගත කිරීම් අනුව ය.

7- මොන්ගෝලියාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 61.8)

උලාන්බාතාර්ට ශීත ඍතුවේ දී දූෂිත වාතය ඇති නගරයක් වේ. යුනිසෙෆ් පුවත්පතට අනුව ගර්භනී කාන්තාවන් සහ ළමුන් උණුසුම්ව තබාගැනීම සඳහා අමු ගල් අඟුරු බහුලව භාවිතා කිරීම නිසා පීඩා විඳිති. පසුගිය වසර 10 තුළ නගරයේ ශ්වසන රෝග දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර, නියුමෝනියාව දැන් කුඩා දරුවන්ගේ දෙවන විශාලතම රෝගය වී ඇත.

6- එක්සත් අරාබි එමීර් රාජ්‍යය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 64)

ගිම්හානයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා අධික දූවිලි කුණාටු ඇති වන අතර, එහි පුරවැසියන් හුස්ම ගන්නා වාතයට එමඟින් බරපතල ප්‍රතිවිපාක ඇති කරයි. ශ්වසන විශේෂකයෙක් මෑතක දී දේශීය පුවත්පතකට පැවසුවේ, කුණාටු මඟින් සිලිකා ස්පටික, දූවිලි මයිටාවන් සහ ආසාදන ඇති වන බව යි. කෙසේ වෙතත්, දූෂණ මට්ටම් ගණනය කිරීමේ දී දූවිලි කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධි සහ මිනිසා විසින් සාදන ලද හේතු සමග කාණ්ඩගත කිරීම රජය විසින් ජාත්‍යන්තර සංවිධාන හෙළා දැක තිබේ.

5- ඊජිප්තුව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 73)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම්වල වායු දූෂණය සම්බන්ධයෙන් ඊජිප්තුව පස්වන ස්ථානයේ සිටිටී. ෆෝබ්ස් සඟරාවට අනුව තාපය, අඩු වර්ෂාපතනය සහ අධික තදබදය බොහෝ දුරට කයිරෝවේ වායු දූෂණයට හේතු වි ඇත.

4- බංග්ලාදේශය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 83.3)

පාරිසරික ආරක්ෂණ නීති බංග්ලාදේශයේ පවතින නමුත්, සමහරු විශාල රෙදිපිළි හා ඇඟලුම් සමාගම්වල එම නීති හිතුමතේ කඩ කරති. එවැනි සමාගම්වල කර්මාන්තශාලා විෂ සහිත අපද්‍රව්‍ය දේශීය ජල මූලාශ්‍රවලට මුදාහරියි. දුගඳ කොතරම් හානිකර ද යත්, කාර්මික ප්‍රදේශවල පාසල් ළමුන් හා ගුරුවරුන් බොහෝ විට කරකැවිල්ල හා ක්ලාන්ත ගතියට පවා පත් වේ.

3- ඇෆ්ගනිස්ථානය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 86)

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් අවට නගරය පුරා දූෂිත වාතය සහ දූවිල්ලෙන් පිරී ඇත. බොහෝ නිවාස හා ව්‍යාපාර භාවිතා කරන ඉන්ධනවල ගුණාත්මකභාවය ගැටළුව තව තවත් උග්‍ර කරයි. පුරවැසියන් සමහර විට පිටත දී මුහුණු ආවරණ පැළඳ සිටී.

2- කටාර් (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 92.4)

කටාර් ලෝකයේ ධනවත්ම රටකි. නමුත්, එහි ඇති අතිමහත් ධනයෙන් දූෂණය අවම කිරීම සඳහා භාවිතා කර ඇත්තේ ඉතා අවම මුදලකි. ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ තෙල් හා ගෑස් පොහොසත් වෙනත් රාජ්‍යවලට  වඩා එරට CO2 විමෝචනය වැඩි බව යි. වාතය කොතරම් නරක ද කියනවා නම් පැය භාගයක් පාපැදි පැදීමෙන් යහපතට වඩා හානියක් සිදුවන බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරයි .

1- පාකිස්ථානය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 115.7)

ලෝකයේ වඩාත්ම දූෂිත රටක් ලෙස පකිස්ථානය පිළිගනී. ඉන් වඩාත්ම පීඩාවට පත් නගර අතර පෙෂාවාර්, රාවල්පින්ඩි සහ කරච්චි පවති. ලැන්සෙට් නම් වෛද්‍ය සඟරාවේ අධ්‍යයනයකට අනුව වසරකට මරණ 310,000කට වැඩි ප්‍රමාණයක් දූෂණය නිසා සිදු වේ.

අවම දූෂිත නාගරික ප්‍රදේශ ඇති රටවල් දහය

10- ලයිබීරියාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 9.3)

ලෝක බැංකුවට අනුව, ලයිබීරියාවේ වසර ගණනාවක සිවිල් යුද්ධය නිසා මිනිසුන්ට කුණු කසළ නොදැනුවත්වම බැහැර කිරීමට සිදුවිය. 2000 දශකයේ මුල් භාගයේ ගැටුම අවසන් වීමෙන් පසුව, අගනුවර වන මොන්රෝවියා හි නිසි අපද්‍රව්‍ය සේවාවක් හඳුන්වා දුන් අතර රජය පුළුල් පරාසයක පාරිසරික ප්‍රතිසංස්කරණ දියත් කළේ ය. විනාශකාරී ගැටුම ආර්ථික සංවර්ධනයට ද බාධාවක් විය. මිනිසුන්ගෙන් 70%ක් තවමත් කෘෂිකර්මාන්තයේ නියැලී සිටිති. එම නිසා බොහෝ විට සිදුවන දූෂණය සීමිත වේ.

9- අයර්ලන්තය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 8.8)

අයර්ලන්තයේ අඩු පරිසර දූෂණ අනුපාතයට හේතු වි ඇත්තේ, නිරිතදිගින් ගලා එන පිරිසිදු වාතය යි. ප්‍රවාහන බලධාරීන් විසින් බස් රථ වෙනුවට පරිසර හිතකාමී වාහන ආදේශ කිරීමට සැලසුම් කර තිබේ. කෙසේවෙතත්, සෑම වසරකම රටපුරා සිදුවන මරණ 1,500ක් සඳහා දූෂණය තවමත් වගකිව යුතු බව අයර්ලන්තය වාර්තා කරයි.

8- ස්වීඩනය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 8.7)

ස්ටොක්හෝම් පෘථිවියේ පිරිසිදුම අගනුවර ලෙස කිරුළු පළඳී. එය 2010 දී පළමු යුරෝපීය හරිත අගනුවර ලෙස නම් කෙරිණි. 1990 දශකයේ සිට එය කාර්තුවකින් CO 2 විමෝචනය සීමා කර ඇති අතර, 2050 වන විට පොසිල ඉන්ධන රහිත බවට පත් කිරීමට ස්වීඩන් නගර බලධාරීන් බලාපොරොත්තු වේ. මෝටර් රථ හිමිකාරිත්වයට වඩා පාපැදි පැදීමේ ජනප්‍රියතාවය, අපද්‍රව්‍ය අවම කිරීමට දරන උත්සාහය සහ පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම ස්ටොක්හෝම් සහ අනෙකුත් නගරවලට වායු දූෂණය සීමා කිරීමට උපකාරී වී තිබේ.

7- අයිස්ලන්තය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 8.2)

අවම වායු දූෂණය මට්ටම් අනුව අයිස්ලන්තය ලෝකයේ හත්වැනි ස්ථානයට පත්ව ඇත. බොහෝ දුරට විදුලිය නිපදවීමට පරිසර හිතකාමී භූතාප ශක්තිය යොදා ගනී. කෙසේ වෙතත්, අයිස් සහිත මාර්ගවල වැලි පිරවූ ටයර් භාවිතා කිරීම නිසා ශීත ඍතුවේ කාර්යබහුල වේලාවේ දී පරිසර දූෂණය ඉහළ යා හැකි බවට යුරෝපීය පරිසර ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

6- කැනඩාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 7.5)

කැනඩාවේ නගර බොහොමයක් (ඔටාවා, ටොරොන්ටෝ සහ වැන්කුවර් වැනි) වායු ගුණාත්මකභාවය නිසා ලෝකයේ පිරිසිදුම නගර අතරට පැමිණ තිබේ. ඔටාවා හි, නගරය වටා ඇති විශාල හරිතභාවය බව, සාපේක්ෂව කුඩා ජනගහනය, සහ සාර්ථක පාපැදි භාවිතා කිරිමේ යෝජනා ක්‍රම මඟින් දූෂණය පාලනය කර ඇත. බිස්නස් ඉන්සයිඩර් සඟරාවට අනුව කැනඩාව පරිසර දූෂණය තව දුරටත් අඩු කිරීමට මහජනයා දිරිමත් කිරීම සඳහා පිරිසිදු වායු දිනයක් පවා පවත්වාගෙන යයි.

5- ෆින්ලන්තය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 7.3)

වායු දූෂණය අවම කරනු වස්, ෆින්ලන්ත බලධාරීන් පොදු ප්‍රවාහනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර, එය කාර්යක්ෂම හා සුවපහසු නිසාවෙන් ම පුරවැසියන්ට තමන්ගේම වාහන අවශ්‍ය නොවන බව පෙනේ. 2025 වන විට හෙල්සින්කි හි මෝටර් රථ අයිතිය ශුන්‍ය කිරීමට බලාපොරොත්තු වන බව දක්වයි. පාපැදියෙන් ගමන් කරන අය සඳහා සැතපුම් 2,000කට වඩා වැඩි පාපැදි මංතීරු වෙන් කර ඇත. හොඳම නාගරික වාතය පවත්වා ගැනීමට ෆින්ලන්තයට හැකි වී තිබේ.

4- එස්තෝනියාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 7.2)

එස්තෝනියාවේ අගනුවර බොහෝ විට පටු, රැහැන් සහිත වීදි වන අතර, රථවාහන මට්ටම් අවම මට්ටමක තබා ගැනීමට උත්සුක වේ. ෆින්ලන්ත බොක්කෙන් හමන සුළං මඟින් වෙරළබඩ නගරයේ දූෂිත වාතය ගොඩනැගීම ද නවත්වන බව පළාත් පාලන ආයතන පවසයි. එහෙත් නගරයේ පුළුල් හරිත අවකාශයන්, නිදහස් පොදු ප්‍රවාහනය සහ ගෘහස්ථ අපද්‍රව්‍ය දහනය අඩු කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ද යම්කිසි ගෞරවයක් ලබා ගත හැකිය.

3- නවසීලන්තය (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 6.8)

මුහුදෙන් හමන තද සුළං, අඩු නාගරික ජනගහනය සහ අධික ලෙස කර්මාන්ත නොමැතිකම නවසීලන්තයේ ඉහළ වායු ගුණාත්මක බව සහතික කරයි. බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ නගරවල අපද්‍රව්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් පරිසර දූෂණය අවම වී ඇත.

2- බෘනායි (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 6.6)

බෘනායි හි කැපී පෙනෙන ලෙස වායු දූෂණය අවම ය. එහි අගනුවර වන බන්ඩාර් සේරි බෙගවාන්, ඉන් ප්‍රමුඛ වේ. බොහෝ විට අග්නිදිග ආසියාවේ ජීවත් වීමට හොඳම ස්ථානයක් ලෙස ශ්‍රේණිගත කිරීමට මෙය ද එක් හේතුවකි. ඕනෑම රටක වාතයේ ඇති සියුම් දූෂක අංශුවල දෙවන අඩුම අනුපාතය ඇත්තේ බෘනායිවල ය. එරට  කාර්මිකකරණය වේගයෙන් තිබිය දීත් විමෝචනය අඩු මට්ටමක තබා ඇති බව ඒෂියා නිවුස් වාර්තා කරයි. වනාන්තර ආරක්ෂා කිරීම සඳහා එරට රජය විසින් දැඩි නීති රීති ගනු ලබයි. මේ සම්බන්ධයෙන් එරට ජාත්‍යන්තර ප්‍රශංසාව දිනාගෙන ඇත.

1- ඕස්ට්‍රේලියාව (සාමාන්‍ය PM 2.5 සාන්ද්‍රණය: 5.7)

ලෝකයේ අවම දූෂිත රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රේණිගත කර ඇත. එරට දැඩි පාරිසරික රෙගුලාසි මඟින් ඕස්ට්‍රේලියාව පුරා පිරිසිදු වාතය පවත්වා ගැනීමට උපකාරී වී තිබේ. බිස්නස් ඉන්සයිඩර් පුවත්පතට අනුව, රටේ විශාලතම නගර පහේම වාතයෙහි ගුණාත්මකභාවය සෞඛ්‍ය සම්පන්න ලෙස වර්ග කර ඇත. ඒ ආර්ථික හා කාර්මික අතින් ද එරට ඉදිරියෙන් සිටින පසුබිමක ය. නිවාඩුවක් හෝ ජීවත්වීමට අලුත් තැනක් සොයාගැනීමේ දී නැවුම් වාතය ඔබ සොයන්නේ නම්, පෘථිවියේ හොඳම ස්ථානයකි, ඕස්ටේලියාව.

පරිසර අප සැමගේම ය. එය රැක ගැනිමේ වගකීම ඇත්තේ රාජ්‍යයට පමණක් නොවේ. එහි ජිවත් වන ඔබ, අප සැමට ම එහි වගකිමක් ඇත. පරිසර හිතකාමී නිවසක්, නගරයක්, රාජ්‍යයක් ගොඩනැගිය හැක්කේ ඔබේ දායකත්වය හා කැපවීම මත ය. ඔබට උරුම වූ පරිසරය ඒ ආකාරයෙන් ම අනාගතය වෙනුවෙන් ද රැකගත යුතු ය. ඔබ ඔබට හිමි වූ ඒ පරිසරය, අනාගත පරපුර වෙත උරුම නොකරන්නේ නම් ඔවුන්ගේ දෝෂාරෝපණයෙන් ඔබට කිසිදා විනිර්මුක්ත විය නොහැකිය. හෙට වෙනුවෙන් ඔබේ යුතුකම අදම ඉටු කරන්න.

මූලාශ්‍රයයන්:

Worldpopulationreview.com

lovemoney.com

sinhala.adaderana.lk

telegraph.co.uk

activesustainability.com

Related Articles