චීනයේ ණය උගුලට හසු වූ රටවල්

ලෝකයේ දෙවන විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනය, මේ වන විට ලෝක බලවතා වන ඇමෙරිකාවට අභියෝග කරමින් සිටිනවා. වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ඒකලනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, චීනය ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් දරනවා.

චීනයේ ජනාධිපති ෂින් ජින් පිං මේ වන විට චීනය තුළ තම බලය ස්ථාපනය කිරීම සාර්ථක ව අවසන් කර ඇති අතර, ඉන් ඔබ්බට ඔහුගේ බලාපොරොත්තුව වන්නේ චීනය අන් සියලු රටවල් පරදා සුපිරි බලයක් සහිත රට වනු දැකීම යි.

එක් තීරයක්- එක් මාවතක්

එක් තීරයක්- එක් මාවතක් (Medium)

ඔවුන් විසින් ක්‍රියාත්මක කරන “එක් තිරයක්- එක් මාවතක්” යන සංකල්පය යටතේ චීනය සමග ලෝකයේ අනෙකුත් රටවල් හා ප්‍රධාන වෙළඳ මාර්ග (මහාමාර්ග, දුම්රිය, හා මුහුදු) සම්බන්ධ කර ගන්නවා.

මේ ව්‍යාපෘතිය පටන්ගෙන බොහෝ කාලයක් ගතවෙන අතර, මේ වන විටත් එහි අවසානයක් දකින්න ලැබෙන්නේ නෑ. එහි දී චීනයෙන් ලබා දෙන ණය මුදල් යොදාගෙන සංවර්ධනය වෙමින් පවතින හා අඩු ආදායම් ලබන රටවල් තම රටවල ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා. එම යටිතල පහසුකම් සඳහා මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන්තොටුපොළ, හා වරායන් ඇතුළත්.

ණය ලබා දීම් ඔස්සේ එම රටවල බලය වක්‍රාකාර ව ලබා ගැනීමේ අදහසක් චීනය සතු ව ඇති බව අනෙකුත් රටවලින් නැඟෙන චෝදනාව යි. මේ වන විටත් චීනයේ ණය උගුලට ආසියානු කලාපයේ රටවල් කිහිපයක්, අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් ප්‍රමාණයක්, හා ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක් ද හසු වී අවසන්.

නමුත්, මේ පිළිබඳ ව අදහස් දක්වන චීනය, ප්‍රකාශ කර සිටින්නේ වෙළඳ මාර්ග හා එම රටවල් සම්බන්ධ වීම ආර්ථික අතින් එවැනි රටවලට වාසිදායක බව යි.

තව ද, ණය ආධාර ඔස්සේ කරන එම ඉදිකිරිම්, චීනයේ සමාගම් වෙත පැවරීම සිදුකළ යුතු වෙනවා. තව ද, ආදාළ ණය වාරික ගෙවා ගැනීමේ අපහසුතාවලට  රටවල් මුහුණ දෙන විට බොහෝ විට සිදුවන්නේ එම ඉදිකිරීම් චීනය වෙත බදු පදනම මත ලබා දීම යි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට මෙන්ම පාකිස්ථානයේ ග්වාඩර් වරායටත් එම ඉරණම අත් වී තිබෙනවා.

චීනය හා ආසියාව

පාකිස්තානයේ ග්වාඩර් වරාය (Dawn)

 

ලබා දෙන ණය මුදල් ඔස්සේ තම රාජ්‍ය තාන්ත්‍රික බල පරාක්‍රමය ආසියානු රටවල් කිහිපයකට පෙන්වීමට චීනය මේ වන විට සමත් ව තිබෙනවා. ඒ අතරින් මැලේසියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, ලාඕසය, හා මාලදිවයින වැනි රටවල් ප්‍රධාන යි.

මැලේසියාවේ හිටපු අගමැතිවරයා වන නජීබ් රාසාක් චීනයේ ණය මුදල් මත මහාමාර්ග, දුම්රිය මාර්ග, හා අනෙකුත් ඉදිකිරීම් බොහෝ ප්‍රමාණයක් සඳහා තම එකඟතාවය පළ කරනවා. නමුත් මැලේසියාවේ වර්තමාන අගමැතිවරයා වන මහාතීර් මොහොමඩ් අනුගමනය කරන්නේ ඊට විරුද්ධ ප්‍රතිපත්තියක්. මේ වන විට චීන ණය මුදල් උපයෝගී කරගනිමින් සිදුකිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් ම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් බිලයන 16ක ණය මුදලක් පාකිස්ථානයට ලබා දී ඇති අතර, ඒවායේ පොලී අනුපාතිකය ද ඉහළ අගයක් ගන්නවා. මේ වන විට පාකිස්තානයේ ග්වාඩර් වරාය පාලනය කරන්නේ චීනය විසින්. ඒ බදු පදනම මත යි. පාකිස්තානු හා චීන හමුදා මේ වන විට එම වරාය ආශ්‍රිත ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සිදුකරනවා. මෙය, ආසියාවේ බලය චීනය නතු කරගැනීමේ උත්සාහයක එක් ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, හා ජපානය ප්‍රකාශ කර තිබෙනවා.

6.3%ක පොලී අනුපාතිකයක් යටතේ ශ්‍රී ලංකාවේ මාගම්පුර වරාය සඳහා චීනය විසින් ණය මුදල් සපයා තිබෙනවා. මේ වන විටත් පොලී වාරික ගෙවීම අපහසු බැවින් මාගම්පුර වරාය චීනය වෙත 99 අවුරුදු බද්දකට ලබා දී තිබෙනවා. එම ලැබෙන මුදලින් ණය වාරික ගෙවීමට බලාපොරොත්තු වන බව ද සඳහන්. වර්තමානයේ දී එම වරායේ  80%කට වැඩි කොටසක් පාලනය කරන්නේ චීන සමාගමක් විසින්. එය ලබා ගන්නා චීන රජය පවසන්නේ නව සේද මාවතට යන ගමනේ චීනය විසින් තවත් වැදගත් සංධිස්ථානයක් පසු කළ බව යි.

හම්බන්තොට වරාය චීනය සතු වීම පිළිබඳ ව අසල්වැසි ඉන්දියාව තම නොසතුට පළ කර ඇති අතර, චීනයේ හමුදා මධ්‍යස්ථානයක් බවට එම වරාය පත් වීමට ඉඩ ඇති බව බොහෝ රටවල් අනතුරු අඟවා තිබෙනවා.

චීනය හා අප්‍රිකාව

චීන හා කෙන්යා ජනාධිපතිවරු (The Star, Kenya)

දකුණු අප්‍රිකාව, සැම්බියාව, කෙන්යාව, ඊජිප්තුව, ජිබුටි, හා කොන්ගෝව අධිවේගී මාර්ග ඇතුළු වෙනත් ඉදිකිරීම් සඳහා චීන ණය ලබා ගත් අප්‍රිකානු රටවල් අතරින් ඉදිරියෙන් සිටිනවා.

2005 වසරේ සිට අප්‍රිකානු කලාපයේ රටවලට ණය ලබා දීම ආරම්භ කර ඇති අතර, එය මේ දක්වා නොකඩවා ක්‍රියාත්මක වෙනවා.

මෙහි දී චීන ණය උගුලට දරුණු ලෙස හසු වී ස්වාධීනත්වය අහිමිවන සලකුණු පෙන්වන්නේ කෙන්යාව යි. එහි  සමස්ත ණයවලින් 72%ක් ම චීනයට අයත් වෙනවා. කෙන්යාවේ ගොඩනැඟිය යුත්තේ මොනවාද? නැත්තේ මොනවාද? යන්න තීරණය කරන්නේ චීන රජය බව යි බොහෝ දෙනාගේ මතය වන්නේ.

කෙන්යාවේ ව්‍යාපෘති (Chatham House)

ඉදිකිරීම් සඳහා චීන සමාගම්වලට පැවරීම, සියලු යන්ත්‍ර සුත්‍ර, හා ශ්‍රමය චීනයෙන් ගෙන්වා ගැනීම මෙහිදී අනිවාර්ය වෙනවා. තව ද කෙන්යාවේ අලුතෙන් ඉදිකළ චීන ණය දුම්රිය මඟට එක් කි.මී. 1කට ඩොලර් මිලියන 5.6ක් පමණ වැය වී තිබෙනවා. එය සාමාන්‍ය ලෝක සම්මත මුදලට වඩා 4 ගුණයක් වෙනවා.

අප්‍රිකාව හා ආසියාවට අමතරව ලතින් ඇමෙරිකානු රටවලත් චීනයේ ණය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. වෙනිසියුලා, පැනමා, හා මෙක්සිකෝ වැනි රටවල් ඊට උදාහරණ ලෙස දැක්විය හැකි යි.

ලෝක බලවතා වීමට වෙර දරන චීනය මේ ක්‍රියාමාර්ග ඔස්සේ වෙනත් රටවල ස්වාධීනත්වයට බරපතල ලෙස හානි කරන ආකාරය නොබෝ දිනකින් ම අපට දැක ගන්න හැකි වේවි.

කවරයේ පින්තූරය: The African Exponent

මූලාශ්‍රයයන්:

bbc.com

thediplomat.com

economist.com

Related Articles