චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය ටික කලකින්ම යුරෝපයටත්, ඇමරිකාවටත් දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. එම නිසාම කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වුණු රටවල් අතර සිටින්නේ ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් පහ යි. එලෙස ඇමරිකාව සහ යුරෝපය කොරෝනාවෙන් බැට කෑම අරඹන විට එහි බලපෑම තදින්ම දකුණු ආසියාවට දැනී තිබුණේ නැහැ. නමුත් මේ වන විට කොරෝනාවේ බලපෑම දකුණු අසියානු කලාපයටත් තදින් දැනෙන්නට පටන්ගෙන තිබෙන නිසාම මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ වර්තමානය වන විට දකුණු ආසියාවේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව යි.

දකුණු ආසියාවට කොරෝනා පැමිණි හැටි 

දකුණු ආසියානු රටකින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ ජනවාරි 24 වැනිදා යි. එහි දී කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණේ චීනයේ වූහාන් නුවර සිට පැමිණි නේපාල ජාතික සිසුවෙකුට යි. එලෙස නේපාලයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින 44ක් ගතවන විට කලාපයේ සෑම රටකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණේ පහත ආකාරයට යි. 

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වුණේ ජනවාරි මස 27 වැනි දා යි. එහි දී රෝගයට ගොදුරුව තිබුණේ චීනයේ හුබේ ප්‍රදේශයෙන් පැමිණි 44 හැවිරිදි කාන්තාවක්. 

ඉන්දියාව

ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි 30 වැනිදා වාර්තා වුණා. එහි දී රෝගයට ගොදුරුව තිබුණේ චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිට ඉන්දියාවට පැමිණි කේරළයේ සිසුවියක්.

ඇෆ්ගනිස්ථානය 

ඇෆ්ගනිස්ථානයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ පෙබරවාරි 24 වැනිදා යි. එහි දී රෝගයට ගොදුරුව තිබුණේ හෙරාට් ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්. 

පාකිස්ථානය

කරච්චි විශ්වවිද්‍යාල සිසුවෙකු පාකිස්ථානයෙන් වාර්තා වුණු පළමු කොරෝනා රෝගියා බවට පත්වුණේ පෙබරවාරි 26 වැනිදා යි. ඔහු ඉරානයේ සිට ටික දිනකට පෙර සිය රටට  පැමිණි කෙනෙක්.

භූතානය 

ඇමරිකාවේ සිට ඉන්දියාව හරහා පැමිණි භූතානයට පැමිණි 76 හැවිරිදි ඇමරිකානු පිරිමි සංචාරකයෙක් භූතානයෙන් වාර්තා වුණු මුල්ම කොරෝනා ආසාදිතයා බවට පත්වුණේ මාර්තු 6 වැනිදා යි.

මාලදිවයින 

මාර්තු 7 වැනිදා මාලදිවයිනෙන් මුල්ම කොරෝනා රෝගියා වාර්තා වුණා. එහි දී රෝගයට ගොදුරුව තිබුණේ ඉතාලියේ සිට පැමිණි සංචාරකයෙක්.

බංග්ලාදේශය

බංග්ලාදේශයෙන් මාර්තු 8 වැනිදා මුල්ම වරට කොරෝනා රෝගීන් තිදෙනෙකු වාර්තා වුණා. ඔවුන් තිදෙනාම ඉතාලියේ සිට ටික දිනකට පෙර පැමිණි කිහිපදෙනෙකු වුණා.

දකුණු ආසියාව තුළ කොරෝනා සීඝ්‍රයෙන් වර්ධනය වුණු කාල සීමාව 

මාර්තු 16 වැනිදා වන විට දකුණු ආසියානු කලාපයට අයත් රටවල් අටෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ගණන සටහන් වුණේ 385ක් ලෙස යි. එලෙස කලාපය තුළ ඉතාමත් අඩු කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වුණු අවස්ථාවක මුලින්ම කොරෝනා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු රට බවට පත්වුණේ පාකිස්ථානය යි. ඔවුන්ගේ එම සීඝ්‍ර වර්ධනය ආරම්භ වුණේ මාර්තු 16 වැනිදා යි. එදා සිට අද දක්වා අඛණ්ඩව පාකිස්ථානු කොරෝනා රෝගින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ අනුව පසුගිය මැයි 9 වැනිදා වන විට පාකිස්ථානයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 28,736ක් ලෙස සටහන් වුණා.

පාකිස්ථානයේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

පාකිස්ථානයට පසුව කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගිය රට බවට පත්වුණේ ඉන්දියාව යි. මාර්තු 30 වැනිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය වාර්තා වුණේ 1,251ක් ලෙස යි. ඉන් අනතුරුව ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් කොරෝනා වසංගතය පැතිරී ගිය නිසා මැයි 9 වැනිදා වන විට ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 62,769ක් වාර්තා වුණා. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව තිබෙන්නේ ඉන්දියාව යි.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

එම රටවල් දෙකට පසුව දකුණු ආසියානු කලාපයේ ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ බංග්ලාදේශය යි. පසුගිය අප්‍රේල් 6 වැනිදා සිට සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණු බංග්ලාදේශ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මැයි 9 වැනිදා වන විට 13,770ක් දක්වා වර්ධනය වී තිබුණා.

බංග්ලාදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

ඉතිරි රටවල් කිහිපය අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව තිබෙන්නේ ඇෆ්ගනිස්ථානය යි. මාර්තු 23 වැනිදා සිට ඇෆ්ගනිස්ථානයේ කොරෝනා රෝගීන්ගේ වර්ධනය ආරම්භ වුණත් මැයි 9 වැනිදා වන විට එරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සටහන් වුණේ 4,033ක් ලෙස යි. එසේම පසුගිය මැයි 9 වැනිදා වන විට ශ්‍රී ලංකාවෙන් සහ මාලදිවයිනෙන් පිළිවෙලින් කොරෝනා රෝගීන් 847ක් සහ 766ක් වාර්තා වී තිබුණා. එම රටවල් සිටින ජනගහනය සමග සංසන්දනය කර බලන විට එම ආසාදිතයන්ගේ ප්‍රමාණය සැලකිය යුතු අගයක් වනවා. 

ඇෆ්ගනිස්ථානයේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

දකුණු ආසියානු කලාපයට අයත් රටවල් අතුරින් කොරෝනා අවදානමට අඩුවෙන්ම ගොදුරු වී සිටින රටවල් දෙක වන්නේ නේපාලය සහ භූතානය යි. පසුගිය මැයි 9 වැනිදා වන විට නේපාලයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 109ක් ලෙස සටහන් වන විට භූතානයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සටහන් වුණේ 7ක් ලෙස යි.

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවෙන් 

පසුගිය මැයි 9 වැනිදා වන විට දකුණු ආසියානු කලාපයෙන් කොරෝනා රෝගීන් 111,037ක් වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වුණු රෝගීන් අතුරින් 3,066ක් මරණයට පත්ව තිබුණා. එහි දී වැඩිම මරණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය යි.

ඉන්දියාව- මරණ 2,089

පාකිස්ථානය- මරණ 636

බංග්ලාදේශය- මරණ 214

ඇෆ්ගනිස්ථානය- මරණ 115

ශ්‍රී ලංකාව- මරණ 9

මාලදිවයින- මරණ 3

නේපාලය- මරණ 0

භූතානය- මරණ 0

ආසාදිතයන් 29,713ක් සුවය ලබයි 

දකුණු ආසියානු කලාපය තුළ වාර්තා වුණු රෝගීන් 111,037 අතුරින් 29,713 දෙනෙකු මැයි 9 වැනිදා වන විට සුවය ලබා තිබුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රමාණය යි.

ඉන්දියාව- 18,672

පාකිස්ථානය- 7,809

බංග්ලාදේශය- 2,414

ඇෆ්ගනිස්ථානය- 502

ශ්‍රී ලංකාව- 260

නේපාලය- 31

මාලදිවයින- 20

භූතානය- 5

කොරෝනා වසංගතය දකුණු ආසියාව තුළ යම් කාලයක් පවතින ලකුණු 

දකුණු ආසියානු කලාපයේ සිටින රටවල් බොහෝ ප්‍රමාණයක අධික ජනගහනයක් සිටිනවා. වර්තමානය වන විට දකුණු ආසියානු රටවල් මෙම වසංගතය පාලනය කර තිබෙන්නේ ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල කරමින්. දිගින් දිගටම එම ක්‍රියාවලිය දකුණු ආසියාව තුළ ක්‍රියාත්මක වුණොත් කලාපයේ රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගොදුරුවීමට ඉඩ තිබෙනවා. ඉන් මිදීමට මෙම මාසය තුළ ඉන්දියාව, පාකිස්ථානය, සහ බංග්ලාදේශය වැනි රටවල්වල දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත් කළහොත් යළි වෛරසය වේගයෙන් පැතිරීමට ඉඩ තිබෙනවා. එලෙස කොරෝනාවෛරසය යළි පැතිරයාමේ අවධානම තිබුණත් ආර්ථික අර්බුදයෙන් එම රටවල් ගලවා ගැනීමට නම් හැකි අයුරින් ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට ඉඩ ලබාදිය යුතු වනවා. එම නිසාම දකුණු ආසියානු කලාපයේ ජනතාවට සැලකිය යුතු කාලයක් කොරෝනාව සමග සටන් කරමින් සිය ජීවිකාව ගෙනයාමට සිදුවනු ඇති.

කවරයේ ඡායාරූපය- කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන ඉන්දීය පොලිස් නිලධාරියෙක් (gettyimages)

සැලකිය යුතුයි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ මැයි 9 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගතය පිළිබඳව දත්ත යි.

මූලාශ්‍රයයන්- worldometer