Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකා මහද්වීපයත් කොරෝනාවට බිලිවෙයි ද?

මේ දිනවල ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය කෝටියකට අධික පිරිසක් බිලිගෙන අවසන්. එසේම ලක්ෂ 5කට වැඩි පිරිසකට සිය ජීවිතය අහිමි කළ කොරෝනාව අවසන් වන ලකුණු තවමත් පෙනෙන්නට නැහැ. පසුගිය මාස කිහිපය තුළ, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව යන මහද්වීපයන් පුරා කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිර ගියත් අප්‍රිකානු මහද්වීපයට එහි බලපෑම තදින් දැණුනේ නැහැ. නමුත් ගෙවුණු සති කිහිපය තුළ අප්‍රිකානු මහද්වීපයෙන් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හමු වුණා. එම නිසා ඉදිරි මාසයේ දී අප්‍රිකාව තුළත් කොරෝනාව දරුණු ලෙස පැතිර යනු ඇති බවට අනාවැකි පල වී තිබෙනවා.

නිතරම වසංගතවලට ගොදුරු වන අප්‍රිකානු මහද්වීපය 

පසුගිය වසර 75 තුළ අප්‍රිකානු මහද්වීපය තුළ විවිධ දරුණු වසංගත රෝගයන් පැතිරී ගියා. එලෙස පැතිර ගිය කහ උණ, කොළරාව, ඉබෝලා වැනි වසංගත රෝගයන් නිසා මිනිස් ජීවිත රැසක් අහිමි වුණා. තවමත් එතරම් දියුණු සෞඛ්‍ය ක්‍රමයක් අප්‍රිකානු රටවල් රැසක ක්‍රියාත්මක වන්නේ නැහැ. එසේම එම මහද්වීපයට අයත් රටවල් බොහොමයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. අප්‍රිකානු රටවල ජනතාවගෙන් සැලකිය යුතු පමණක් සාක්ෂරතාවය අතින් ද සිටින්නේ එතරම් ඉහළ මට්ටමක නොවෙයි. ඉහත හේතූන් නිසා අප්‍රිකානු රටවල්වල තුළ වසංගත රෝග පැතිරයාමේ අවදානම ඉහළ මට්ටමක පවතිනවා. 

අප්‍රිකාවට කොරෝනා පැමිණි හැටි 

අප්‍රිකානු මහද්වීපයේ රටකින් මුල්ම වරට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණේ පෙබරවාරි 14 වැනිදා යි. එහි දී කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණේ ඊජිප්තුවට පැමිණ සිටි චීන ජාතිකයෙකුට යි. එලෙස ඊජිප්තුවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින 50ක් පමණ ගතවන විට කලාපයේ බොහෝ රටවල්වලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. නමුත් තවමත් කොරෝනා ආසාදිතයින්ගේ සීමාව 10,000 ඉක්මවා ගොස් තිබෙන්නේ අප්‍රිකානු රටවල් 7ක් පමණ යි.

අප්‍රිකාව තුළ කොරෝනා වසංගතය ක්‍රමයෙන් වර්ධනය වුණු කාල සීමාව 

කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමක් සිදුව තිබෙන අප්‍රිකානු රට වන්නේ දකුණු අප්‍රිකාව යි. පසුගිය මැයි 6 වැනිදා වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන් ප්‍රමාණය 7,808ක් ලෙසින් සටහන් වුණා. නමුත් මැයි 6 වැනිදා සිට මැයි 27 වැනිදා දක්වා ගෙවුණු සති 3 ඇතුළත දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වුණා. ඒ අනුව මැයි 27 වැනිදා වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 25,937 දක්වා ඉහළ ගොස් තිබුණා. එලෙස මැයි 6 වැනිදා සිට ආරම්භ වුණු අඛණ්ඩ කොරෝනා රෝගීන්ගේ වැඩි වීම තවමත් සිදුවෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය ජූනි 26 වැනිදා වන විට දකුණු අප්‍රිකාවේ  කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 118,375 දක්වා ඉහළ ගොස් තිබුණා.

දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

දකුණු අප්‍රිකාවට පසුව කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන්  ඉහළ ගිය රට බවට පත්වුණේ ඊජිප්තුව යි. මැයි 17 වැනිදා වන විට ඊජිප්තුවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 12,229ක් ලෙසින් සටහන් වුණා. ඉන් අනතුරුව ඊජිප්තුව තුළ ක්‍රමයෙන් කොරෝනා වසංගතය පැතිරී ගිය නිසා ජූනි 4 වැනිදා වන විට එරටින් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය 29,767 දක්වා ඉහළ ගියා. එම කොරෝනා රෝගීන්ගේ අඛණ්ඩ වැඩිවීම දිගින් දිගටම සිදු වුණු නිසා පසුගිය ජූනි 26 වැනිදා වන විට ඊජිප්තුවෙන්  කොරෝනා ආසාදිතයින් 61,130ක් වාර්තා වී තිබුණා.

ඊජිප්තුවේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

එම රටවල් දෙකට පසුව අප්‍රිකානු කලාපයේ ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ නයිජීරියාව යි. පසුගිය මැයි 6 වැනිදා සිට ක්‍රමයෙන් වැඩි වුණු නයිජීරියාවේ කොරෝනා රොගීන් සංඛ්‍යාව ජූනි 26 වැනිදා වන විට 22,614ක් දක්වා වර්ධනය වී තිබුණා.

නයිජීරියාවේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩිවුණු හැටි (worldometers.info)

අප්‍රිකානු කලාපය තුළ පිහිටා තිබෙන ඉතිරි රටවල් අතුරින් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සිටින රට බවට පත්ව තිබෙන්නේ ඝානාව යි. පසුගිය ජූනි 26 වැනිදා වන විට එරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය සටහන් වුණේ 15,473ක් ලෙස යි. ඊට අමතරව අප්‍රිකානු කලාපය තුළ පිහිටා ඇති කැමරූන්, ඇල්ජීරියාව, සහ මොරොක්කෝව යන රටවලින් ද පසුගිය ජූනි 26 වැනිදා වන විට සැලකිය යුතු කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. එහි දී කැමරූන් රාජ්‍යයෙන් රෝගීන් 12,592ක්, ඇල්ජීරියාවෙන් රෝගීන් 12,445ක්, මොරොක්කෝවෙන් රෝගීන් 11,338ක් වාර්තා වී තිබුණා.

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඊජිප්තුවෙන් 

පසුගිය ජූනි 26 වැනිදා වන විට අප්‍රිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් 350,860ක් වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වුණු රෝගීන් අතුරින් 9,104ක් මරණයට පත්ව තිබුණා. එහි දී වැඩිම මරණ ප්‍රමාණයක් ඊජිප්තුවෙන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය යි.

ඊජිප්තුව – මරණ 2,533

දකුණු අප්‍රිකාව – මරණ 2,292

ඇල්ජීරියාව – මරණ 878

සුඩානය – මරණ 556

නයිජීරියාව – මරණ 549

කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති ඊජිප්තුව (gettyimages)

ආසාදිතයන් 168,752ක් සුවය ලබයි 

අප්‍රිකානු කලාපය තුළ වාර්තා වුණු රෝගීන් 350,860ක් අතුරින් 168,752 දෙනෙකු ජූනි 26 වැනිදා වන විට සුවය ලබා තිබුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රමාණය යි.

දකුණු අප්‍රිකාව – 59,974

ඊජිප්තුව – 16,338

ඝානාව – 11,431

කැමරූන් – 10,100

ඇල්ජීරියාව – 8,920

අප්‍රිකා මහද්වීපයට කොරෝනාවේ බලපෑම සාපේක්ෂව අඩුයි

අප්‍රිකාව ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් පිහිටා තිබෙන මහද්වීපය යි. එසේම ආසියානු මහද්වීපයට පසුව වැඩිම ජනගහනයක් සිටින්නේ අප්‍රිකානු මහද්වීපයේ යි. පහත දක්වා ඇත්තේ ලෝකයේ ඉහළම ජනගහනයක් සිටින මහද්වීප 5ට කොරෝනා වසංගතය බලපෑම් කර ඇති ආකාරය යි.

ආසියා මහද්වීපය 

1) ජනගහනය – 4,641,054,775

2) කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය – 2,076,139

3) කොරෝනා මරණ ප්‍රමාණය – 52,078

අප්‍රිකා මහද්වීපය 

1) ජනගහනය – 1,340,598,147

2) කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය – 350,860

3) කොරෝනා මරණ ප්‍රමාණය – 9,104

යුරෝපා මහද්වීපය 

1) ජනගහනය – 747,636,026

2) කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය – 2,372,079

3) කොරෝනා මරණ ප්‍රමාණය – 189,493

දකුණු ඇමරිකා මහද්වීපය 

1) ජනගහනය – 430,759,766

2) කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය – 1,986,201

3) කොරෝනා මරණ ප්‍රමාණය – 77,888

උතුරු ඇමරිකා මහද්වීපය 

1) ජනගහනය – 368,869,647

2) කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය – 2,919,637

3) කොරෝනා මරණ ප්‍රමාණය – 163,152

අවසන් මාසය තුළ අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහළට 

ජූනි 26 වැනිදා වන විට අප්‍රිකානු මහද්වීපයෙන් කොරෝනා ආසාදිතයින් 350,860ක් වාර්තා වී තිබුණා. එම ආසාදිතයින්ගෙන් 180,000ක් පමණ වාර්තා වුණේ මැයි 26 වැනිදා සිට ජූනි 26 වැනිදා දක්වා ගෙවුණු මාසය තුළ යි. ඒ අනුව අප්‍රිකා මහද්වීපය තුළත් කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරයාමේ පෙර නිමිති පහළ වී තිබෙනවා. එලෙස අප්‍රිකානු මහද්වීපය තුළ ඉදිරි මාස කිහිපය තුළත් කොරෝනා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වුණොත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් තිබෙන බව අමතක කළ නොහැකියි. 

 

කවරයේ ඡායාරූපය- දකුණු අප්‍රිකාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

සැලකිය යුතුයි - මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ ජූනි 26 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගතය පිළිබඳව දත්ත යි.

මූලාශ්‍රයයන්- worldometer

Related Articles