Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවෙන් පසු ඊළඟ පාරිසරික අභියෝගය: මුහුණ ආවරණ

කොරෝනාවෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝකයට නව අභියෝගයක් එල්ල වුණා. චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ඇරඹි වෛරසය මේ වන විට ලෝකය වටා රටවල් 212ක පමණ තවදුරටත් සක්‍රීයව පවතිනවා. මෙවැනි වටපිටාවක් තුළ වෛරස ව්‍යාප්තිය තවදුරටත් වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් එක් උපදෙසක් ලෙස, සෑම පුරවැසියෙක්ම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කාරණාවක් ලෙස ලොව පුරා බොහෝ රටවල් මේ වන විට සිය ප්‍රජාව දැනුවත් කර තිබෙනවා. මුහුණු ආවරණ පැළඳීම හරහා කොරෝනා වෛරසයෙන් මනුෂ්‍ය ප්‍රජාව ආරක්ෂා වූවත්, ඉන් සිදුවන පාරිසරික බලපෑම ඉතා ඉහළ අගයක් සනිටුහන් කරගෙන ඇති බව ලෝක පරිසර සංවිධාන මේ වන විට හෙළි කර තිබෙනවා.

කොවිඩ් ආරක්ෂණ උපක්‍රම freepik.com

සාගරයට අපද්‍රව්‍ය මුදාහැරීම වර්තමාන ලෝකය මුහුණපාන ප්‍රධාන පාරිසරික ගැටළුවක් වී අවසන්. කොරෝනා වසංගත තත්ත්වය සමග පැන නැඟී ඇති නවතම පාරිසරික ගැටළුවක්, සමුද්‍ර ආරක්ෂණ කාර්යයන්හී නිරත වන Opération Mer Propre නම් ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානය පෙනවා දී තිබෙනවා. ඒ, භාවිතා කළ මුහුණු ආවරණ සහ අත්වැසුම් සාගරයට බැහැර කිරීම යි. 

එකී සංවිධානය මඟින් ප්‍රංශයේ සිදුකළ මෙහෙයුමක දී ඉතා සීමිත සාගර භූමි වපසරියක් තුළ, මෑත කාලීනව බහුලව භාවිතයට ගැනුණු මුහුණු ආවරණ, අත්වැසුම්, සහ දෑත් පිරිසිදු කිරීමේ දියර බහාලීමට භාවිතා කළ බෝතල් දුසිම් ගණනින් සොයාගැනීමට හැකි වූ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ තත්ත්වය ප්‍රංශයට පමණක් සීමා වූ කාරණාවක් නොවන අතර, ලෝකය පුරා සමුදුරු පතුලෙහි මේ ආකාරයෙන් කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය තැන්පත් වී තිබෙනවා. මෙම මෙහෙයුමට සම්බන්ධ වූ සාමාජිකයින් ප්‍රකාශ කරනු ලබන්නේ “ජෙලිෆිෂ් මසුන්ටත් වඩා ඉතා විශාල, කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුදුරු පතුලෙහි එක් රැස් වී තිබෙනවා” යනුවෙනුයි.

සමුදුරු පතුලේ තැන්පත් වී ඇති කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය OperationMerPropre

OceansAsia සංවිධානය මඟින් හොංකොංහි සොකෝ දූපත් ආශ්‍රිතව සිදුකළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණ ආශ්‍රිත පර්යේෂණයක දී හෙළි වී තිබුණේ මනුෂ්‍ය ජනාවාසවලින් තොර එවැනි දූපත් ආශ්‍රිත වෙරළ භූමි තුළ පවා කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් ගොඩගැසී ඇති බව යි. මෙය හුදෙක් නොසළකා සිටීමට නොහැකි පාරිසරික ගැටළුවක් බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. සමුද්‍රීය මෙන්ම ගොඩබිම් ජීවීන්ගේ ජෛව ක්‍රියාවලීන්ට මෙය බරපතල ගැටළු ඇති කරන බව ද සඳහන් වෙනවා. බොහෝ අවස්ථාවල දී ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ජීවීන්, සාගරාශ්‍රිත පක්ෂීන්, සහ කැස්බෑවන්, ආහාර සහ මෙවැනි අපද්‍රව්‍ය වෙන්කොට හඳුනාගැනීමේ අපහසුතාවය නිසා මේවා ආහාරයට එක්කර ගනු ලැබීමෙන් බොහෝ වේදනාකාරී මරණයකට හිමිකම් කියන බවත් මේ පර්යේෂණ වාර්තා සඳහන් කරනවා. මීට අමතරව දියවැල් මාර්ග ඇහිරීම සිදුවන නිසා, ඒවායේ හැසිරීම කෙරෙහි ඉතා විශාල බලපෑමක් මෙවැනි අපද්‍රව්‍ය හරහා සිදුවිය හැකි බව ඔවුන් සඳහන් කර තිබෙනවා. දියවැල් සාගර ජීවීන්ගේ ජීවන චක්‍රය, ආහාර දාම, සහ ප්‍රජනන ක්‍රියා කෙරෙහි ඍජු බලපෑම් එල්ල කරනු ලබනවා.

අපරික්ෂාකාරී ලෙස බැහැර කරන ලද කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය www.arabnews.jp

භාවිතයෙන් පසු ඉවතලන බොහෝ මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉතා සැහැල්ලු බැවින් සුලඟ සහ වර්ෂා ජලය සමග ජල පෝෂක ප්‍රදේශ සහ ජල මූලාශ්‍ර වෙත ළඟා වීම ඉතා පහසුවෙන් සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය ඉතාම භයානක අතුරු ප්‍රතිඵල ඇති කළ හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි අපද්‍රව්‍ය තුළ ප්ලාස්ටික් අඩංගු වීම නිසා ජල දූෂණය ඉතා ඉහළ අගයක් ගත හැකි වන බව යි. වර්තමානය වන විට ද පානීය ජලයට ප්ලාස්ටික් අංශු එකතුවීම හා දීර්ඝ කාලයක් පුරා ඒවා ශරීරයේ තැන්පත් වීමෙන් පිළිකා ආදී වූ ඉතා දරුණු රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවතින සඳහන්. මෙවැනි වටපිටාවක කොරෝනා වෛරසය ආශ්‍රිතව භාවිතයට ගැනෙන මුහුණු ආවරණ, සනීපාරක්ෂක දියර බහාලුම් බෝතල් සහ අත්වැසුම් ජලය හා මිශ්‍ර වීම හරහා තත්ත්වය වඩා භයානක විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. 

එසේම මෙලෙස අපරික්ෂාකාරී ලෙස කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති විය හැකි ඉතාම භයානක තත්ත්වය නම් වෛරසය පාලනය සහ සීමා කිරීමට ඇති ඉඩකඩ තවදුරත් පටුවීම යි. ඊට හේතුව රෝග වාහකයෙකු මෙලෙස ප්‍රජා මූලයක අපරික්ෂාකාරී ලෙස කොවිඩ් ආරක්ෂණ මුහුණු ආවරණයක් හෝ අත්වැස්මක් බැහැර කළහොත් ඉන් වෛරසය බාහිර සමාජයට නිරාවරණය වීමට ඉහළ ඉඩකඩක් පැවතීම යි.

කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම www.paulsrubbish.com.au

කොවිඩ් වසංගත තත්ත්වය මනුෂ්‍ය ප්‍රජාවට නව කෝණයකින් ලෝකය දෙස බැලීමට ඉඩ ලබා දී තිබෙනවා. මූල්‍යය සහ ධනය පදනම් වූ ආර්ථික ක්‍රමවේදය වෙනුවට පරිසරය හා එකාත්මික වූ නව හරිත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ලෝකය නැඹුරු කරවන්නට මෙම වසංගත තත්ත්වය ඉවහල් වී තිබෙනවා. ඊට අමතරව ඉතා ඉහළ අගයක පැවති වායු දූෂණය අවම කිරීම, කාබන් විමෝචනය අවම කිරීම, සහ වන ජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා විරාමයක් ලබා දී තිබෙනවා. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ලෝකය පුරා නවෝත්පාදන ඇති වෙමින් පවතිනවා. ඉදින් කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඔබේ ආරක්ෂාව සාක්ෂාත් කර ගන්නා අතරතුර, වගකිවයුතු පුරවැසියෙකු වශයෙන් ඔබ නිවැරදි ලෙස කොවිඩ් ආරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමට වගබලා ගනු ඇතැ යි අපේක්ෂා කරනවා.

Related Articles