Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාව වෙනුවෙන් ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කරන සුපිරි තරු

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය මේ වන රටවල් රැසක ජනතාව පීඩාවට පත්කරමින් සිටිනවා. එලෙස පීඩාවට පත්වුණු ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී ඇති අය අතුරින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. පසුගිය කාල සමයේ ලෝකයට බල පෑ විපත්වල දී ක්‍රිකට් ක්‍රීඩකයන් විපතට පත් ජනතාවට ආධාර කළේ පුණ්‍යාධාර වෙනුවෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගවලින් ලැබෙන මුදල් එකතු කිරීමෙනුයි. නමුත් කොරෝනා වසංගතයේ ස්වභාවය අනුව එවැනි ක්‍රිකට් තරග සංවිධානය කිරීමට අපහසු වනවා. එම නිසාම ක්‍රිකට් තරු රැසක් කොරෝනා සටනට ආධාර ලබාදීම සඳහා ඔවුන් සතුව තිබෙන ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කරනු ලැබුවා.

පැරණි සුපිරි වේගපන්දු යුගලයක් ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කරයි 

පාකිස්ථානයෙන් බිහිවුණු වසීම් අක්‍රම් ලෝක ක්‍රිකට් පිටිය තුළ දක්නට ලැබුණු සුපිරිම වේගපන්දු යවන්නෙකු වනවා. සාමාන්‍යයෙන් දානපතියෙකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන අක්‍රම් කොරෝනා සටන වෙනුවෙන් ද ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටිනවා. එහි දී වසීම් අක්‍රම් ඔහුගේ අත්සනින් යුත් පිත්තක් සහ පන්දුවක් වෙන්දේසියකට ඉදිරිපත් කර ඉන් ලැබෙන මුදල කොරෝනා අරමුදල වෙනුවෙන් ලබාදීමට සූදානමින් සිටිනවා. එසේම එංගලන්තයෙන් බිහිවුණු සුපිරිම වේග පන්දු යවන්නෙකු වුණු ඩැරන් ගෆ් ද සිය අත්සනින් යුත් පන්දුවක් වෙන්දේසියකට තබා ඇත්තේ කොරෝනා සටනට ආධාර ලබාදීමේ අරමුණෙන්.

වසීම් අක්‍රම් සහ ඩැරන් ගෆ් (gettyimages)

එංගලන්ත ක්‍රිකට් තරුවකගේ ලෝක කුසලාන ජර්සියට ඉහළ මිලක් ලැබෙයි 

එංගලන්ත කණ්ඩායම මුල්ම වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගනු ලැබුවේ 2019 වසරේ දී යි. එවර එංගලන්තයට ලෝක කුසලානය දිනාගැනීම සඳහා ජෝස් බට්ලර් නම් සුපිරි ක්‍රීඩකයා මනා සහායක් ලබාදුන්නා. එම ජයග්‍රහණය ලබාගැනීමෙන් මාස කිහිපයකට පසුව ලොව පුරා පැතිරුණු කොරෝනා වසංගත තත්ත්වය නිසා එංගලන්තයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී සිටිනවා. එම නිසාම බට්ලර් ලෝක කුසලාන අවසන් තරගයේ දී භාවිතා කළ ජර්සිය වෙන්දේසි කළේ කොරෝනා රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමේ අරමුණෙන්. එහි දී බට්ලර්ගේ ජර්සියට පවුම් 65,000ක් වැනි විශාල මුදලක් ලැබී තිබුණා. 

බට්ලර් ලෝක කුසලාන අවසන් තරගයේ දී (gettyimages)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙනුත් සිහිවටන වෙන්දේසියක් 

රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන සුපිරිම පිතිකරු යුගලයක් වන විරාත් කෝලි සහ බෙන්ජමින් ද විලියර්ස් කොරෝනා ආධාර වෙනුවෙන් ක්‍රිකට් සිහිවටන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා. එහි දී ඔවුන් දෙදෙනා වෙන්දේසි කරනු ලබන්නේ 2016 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ශතක වාර්තා කිරීම සඳහා භාවිතා කළ ක්‍රිකට් පිති දෙකයි. එසේම ඔවුන් දෙදෙනා එම තරගයේ දී භාවිතා කර අනිකුත් ක්‍රිකට් ආම්පන්න ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

කෝලි සහ විලියර්ස් දස්කම් දක්වමින් (The Hindu)

පාකිස්ථානු ක්‍රිකට් තරු දෙකක් ක්‍රිකට් පිති වෙන්දේසි කරයි

පාකිස්ථානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක අසාර් අලී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය වුණු ලකුණු 302ක ලබාගැනීමට භාවිතා කළ පිත්ත මෙන්ම ඇඳ සිටි ජර්සිය ද වෙන්දේසි කිරීමට තීරණය කළා. එසේම ඔහු 2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කළ පාකිස්ථානු කණ්ඩායමේ සාමාජිකයෙකු වුණා. ඒ අනුව ඔහු එම තරගාවලියේ දී භාවිතා කළ ජර්සියත් කොරෝනා ආධාර වෙනුවෙන් වෙන්දේසියට තබනු ලැබුවා. එසේම 2017 ශූරයන්ගේ කුසලානය දිනාගත් පාකිස්ථානු කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ද තරගාවලිය තුළ භාවිතා කළ පිත්ත වෙන්දේසියට තබනු ලැබුවා.

අසාර් සහ සෆ්රාස්  (gettyimages)

හර්ෂල් ගිබ්ස්ගේ වටිනා ක්‍රිකට් පිත්තක් කොරෝනා ආධාරවලට 

2006 වසරේ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයක දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 435ක දැවැන්ත ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කළා. එහි දී දකුණු අප්‍රිකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයේ නියමුවා වුණු හර්ෂල් ගිබ්ස් පන්දු 111කින් ලකුණු 175ක් ලබාගත්තා. එදා ගිබ්ස් ලකුණු 175ක් ලබාගත් වටිනා ක්‍රිකට් පිත්ත අද ඔහු වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් ආධාර ලබාදීමේ අරමුණෙන්.

ගිබ්ස්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)  

බංග්ලාදේශ සුපිරි තරු යුගලයකගේ ක්‍රිකට් පිතිත් වෙන්දේසියට 

බංග්ලාදේශයෙන් බිහිවුණු සුපිරිම ක්‍රිකට් තරු යුගලයක් වන ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් ද ඔවුන් සතුව තිබෙන වටිනා ක්‍රිකට් පිති දෙකක් කොරෝනා ආධාර ලබාදීම සඳහා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා. එහි දී මුෂ්ෆිකර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කළ පිත්ත වෙන්දේසි කරන විට ශකීබ් වෙන්දේසි කරනු ලැබුවේ ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දී භාවිතා කළ ක්‍රිකට් පිත්ත යි.

ශකීබ් සහ මුෂ්ෆිකර් (gettyimages)

තවත් ක්‍රිකට් තරු දෙකක් සිහිවටන වෙන්දේසි කරයි 

වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් වේගපන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණු එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් අවසන් වරට ක්‍රීඩා කළ කේප්ටවුන් ටෙස්ට් තරගයේ දී භාවිතා කළ ක්‍රිකට් ආම්පන්න කිහිපයක් වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා. එසේම ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක යොවුන් පිතිකරුවෙකු වන ලෝකේෂ් රාහුල් ද 2019 ලෝක කුසලාන තරගාවලිය තුළ දී යොදාගත් ක්‍රිකට් පිත්ත ඇතුළු සිහිවටන රැසක් වෙන්දේසි කිරීමට සූදානමින් සිටිනවා.

ඇන්ඩර්සන් වෙන්දේසි කිරීමට නියමිත සිහිවටන (twitter)

කවරයේ ඡායාරූපය- කෝලිගේ සහ විලියර්ස්ගේ සබඳතාවයේ අවස්ථාවක් (indiatimes)

මූලාශ්‍රයයන්- India Times, cricket addictor, Indian Express, ICC Cricket, Twitter

 

Related Articles