රටේ කවුරුත් කතාවෙන ආවේණික ගසේ හැංගුණු තොරතුරු

ශ්‍රී මහා බෝධියටත් වඩා මේ දිනවල රටේ කතාවෙන ගසක් තමයි “කෲඩියා සිලනිකා” (Crudiya zeylanica) කියන්නේ. මේ වෙනකොට පණුකරඳ කියලා නමකුත් ඒකට දාලා. ලෝකයෙන්ම වඳවී ගිය බවට සැලකුණු මේ ගස පසුගිය අවුරුද්දේ හදිසියෙම හමුවන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයට යටවීමට නියමිත බිම්කඩකින්. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පවා මේ ගස ගැන විශාල හඩක් නැගුණා. එය ආරක්ෂා කර ගන්නැ යි ජනාධිපතිවරයාගෙන් සහ අදාළ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය සහ විද්‍යුත් සහ පුවත්පත් මාධ්‍ය ද සෙලනිකා ගස ගැන විශාල උනන්දුවක් දැක්වූවා.

විද්‍යාත්මක පර්යේෂණ

කෘඩියා සෙලනිකා ගස අවට පරිසරය පසුගිය දෙසැම්බරයේ- Jagath Gunawardhana FB page

මේ ශාකය ගැන පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන් වෙනවා. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නමින්. ඔහු මේ ශාකය හමුවුණ බව සඳහන් කරන්නේ කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශයෙන්. පසුව ගසේ නම වෙනස් වෙනවා. එහි උද්භිද විද්‍යාත්මක ලක්ෂණ අනුව Crudia zeylanica නම් අලුත් නමක් 1866 දී ජෝර්ජ් බෙන්තම් විසින් ලබා දෙනවා. එය පබාසියේ කුලයේ කෘඩියා ගණයට අයත්.

කිව් ශාකාගාරයේ ඇති සෙලනිකා ශාක නිදර්ශක- plant.jstor.org

1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් පවසන්නේ තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් බව යි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මෙහි නිදර්ශක ලන්ඩන්හි රාජකීය කිව් ශාකාගාරයේ සුරක්ෂිතව තිබෙනවා.

 වඳ වී ගිය ගසක්

ශාක පත්‍රවල චිත්‍රයක් සහ දාරළුවේ ශාකයේ පත්‍ර -bbc.com

19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සඳහන් කළ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී යි. රතු දත්ත ලැයිස්තුවේ 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස නම් කරනවා. 1999 දී IUCN Sri Lanka මඟින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර තිබෙනවා.

1998 දී අන්තර්ජාතික රතු ලයිස්තුවේ සඳහන් කරන්නේ කෘඩියා ශාකය වඳ වී ගිය ශාකයක් ලෙසින්.

2012 ජාතික රතු ලැයිස්තුවේ ද මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් විදිහට යි.

දාරළුවෙන් නැවත හමුවෙයි

ගස සොයාගත් අවස්ථාවේ ගත් සේයාරුවක් – Himesh Dilruwan- BBC

කළුතර ගල්පාතින් මුලින්ම හමුවූ කෘඩියා සෙලනිකා දෙවන වරට හමුවන්නේ ගම්පහට නුදුරු දාරළුව දුම්රිය ස්ථානය අසල ලැහැබකින්. ඒ 2020 නොවැම්බර් මාසයේ. මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටසේ 14 වන කිලෝ මීටර් කණුව අතර තමයි එය තිබෙන්නේ. 2020 දී එය දාරළුවෙන් නැවත සොයා ගන්නේ මධ්‍යම අධිවේගය සඳහා දෙවන වරට කරන ලද පරිසර අධ්‍යයනයේ දී පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ යි.

පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ- bbc.com

හිමේෂ් ඒ ගැන මෙසේ සඳහන් කරනවා:

මේ මාර්ගයට ඇතුළත් වන ප්‍රදේශය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට පරිසර ඇගැයීම් වාර්තාවක් ලබා දී තිබුණා. එයින් කියැවුණේ පාරිසරික හානියක් සිදුනොවන බව යි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය නැවතත් මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නා අදාළ ප්‍රදේශයේ පරිසර තත්ත්ව ගැන විස්තරාත්මක වාර්තාවක් සපයන්න කියලා. ඒ සඳහා අපි ප්‍රදේශය ගවේශනය කරමින් කළ අධ්‍යයනයේ දී තමයි එතෙක් දැක නොතිබුණු ආගන්තුක ශාක දෙකක් හමුවුණේ.

බලධාරීන්ගේ කර ඇරීම

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්- ft.lk

මාර්ග ඉදිකිරීම් කටයුතුවල නිරත චීන සමාගම පසුගිය පෙබරවාරි 7 ඉරිදා දිනයේ කෘඩියා සෙලනිකා ගස පැවති ස්ථානය හා අවට ඩෝසර් කරමින් එම භූමිය එළිකර තිබෙනවා. එහිදී එම ස්ථානයට ගිය ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම මත එම ගස ඉවත් කිරීම වළක්වා ගැනීමට හැකිව තිබුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර පවසා ඇත්තේ මෙම ශාකය විධිමත්ව ගලවා සුදුසු ස්ථානයක රෝපණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග එකඟතාවයකට පැමිණ ඇති බව යි.

පසුව වනජීවී ඇමැතිවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා ද පවසා සිටියේ දේවානි ජයතිලක තම රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් අදාළ නැති ක්‍රියාවක් කර ඇති බවයි. ඒත් ඇය නොසිටියා නම් මේ වන විට එම ශාකය ඩෝසර් කර ඇති බවත් අමුතුවෙන් කිවයුතු නැහැ. ශාකය ඉවත් කිරීම වළකාලීම සඳහා ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලකගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි වෙනවා. ඊට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දා  පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා. මේ අතර දේවානි ජයතිලකට මාධ්‍යට අදහස් දැක්වීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. 

සෙලනිකා ගස -newsi.lk

නොවැම්බර් මාසයේ දී මේ ගස හමුවූ විට මධ්‍යම පරිසර අධිකාරිය මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන් අතර, මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිවූවා. එම ශාකය ගලවා වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා තිබෙනවා. නමුත් ඒ ලිපි හුවාමාරුවලින් කිසිම ක්‍රියාමාර්ගයක් නම් සිදුවි නැහැ. ඒ අතර තමයි චීන සමාගම ගස ඉවත්කරන්න ගොස් තිබෙන්නේ.

දේවානි නිවැරදියි

ගසෙහි ආරක්ෂාවට සිවුරු පෙරවීම – hirunews.lk  

මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප – ලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් බව පරිසරවේදී නීතිඥ, ආචාර්‍ය ජගත් ගුණවර්ධන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, එවැනි ශාකයක් විනාශ කිරීම හෝ එයට හානි කිරීම තහනම් බව ය.

නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන ෆෙස්බුක් සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබෙනවා: 

ගස කැපීම වැලැක්වීමට දේවානි ජයතිලකට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වා තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පළ කරමි.

වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ. ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ. වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ශක ආඥා පනතේ 67ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ. මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන අටවන උප ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ශිත ශාක විශේෂයකි. එසේ හෙයින්,මෙම අවස්ථාවේදී අදාල ගස් වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබුණි.

 මේ අනුව අපට පෙනෙන්නේ රටේ වන සංරක්ෂණ බලධාරින් සහ ඇමැතිවරයා පවා පනත ගැන දැනුමක් නැති අය බව යි.

ඒ ගස හැර වෙනත් ගස් තිබේ ද?

ශාකය අවට වටපිටාව ඩෝසර් කළ පසු-twitter.com

මෙම ශාකයේ ගස් 07ක් මෙරට විවිධ ප්‍රදේශවලින් මේ වනවිටත් සොයාගෙන ඇති බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක පවසා සිටිනවා. ඒවා පිහිටා ඇත්තේ ගම්පහ බෙම්මුල්ල, ගම්පහ උද්භිද උද්‍යානය, දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හැන්දිමහර, කඩුවෙල, සහ ගම්පහ දාරළුව යන ප්‍රදේශවල බවයි ඇය පවසන්නේ. නමුත් පරිසරවේදීන් පවසන්නේ මේ ගස් කුඩා පැළ බවත්, ඒවා කෘඩියා සෙලනිකාදැ යි නිශ්චිතව හඳුනාගෙන නැති බවත්. මේ අතර මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරන්නේ ගම්පහ උද්භිද උද්‍යානයේ අත්තනගලු ඔය අසල වැවී ඇති ශාක කිහිපයක් කෘඩියා සෙලනිකා බවට සැක කරන අතර මල් හටගත් විට එම ශාක කුමක්දැ යි නිවැරදිව  තහවුරු කරගත හැකි බව යි.

පරිසරවේදීන් පවසන්නේ ගම්පහ දාරළුවේ පිහිටි අදාළ ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීම නුසුදුසු බවත්, එම පරිසර තත්ත්වවලට ගස ඔරොත්තු දේදැ යි සැකසහිත බවත්. ඒ නිසා ගස මෙම ස්ථානයේ දීම සංරක්ෂණය කළ යුතු බව ඔවුන්ගේ අදහස යි. මේ අතර ආන්දෝලනයට ලක්ව ඇති වෘක්ෂය සිවුරු අන්දවා සාංඝික කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසක් කටයුතු කර තිබෙනවා. ගස එසේ සාංඝික කළ පසු එය ආරක්ෂා කර ගැනීමට රුකුලක් වනු ඇත යන විශ්වාසයෙන් තමයි එසේ කර තිබෙන්නේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මේ ශාකය සම්බන්ධව පරිසරවේදීන්ගේ අදහස් සියල්ල පෙබරවාරි 15 දා පැවැත්වෙන පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට වාර්තා කරන අතර  අනතුරුව කැබිනට් මණ්ඩලයේ තිරණය අනුව ක්‍රියා කරන බව යි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා.

Related Articles