පසුගිය කාලේ සිදු වුණු වගා සංග්‍රාම ගැන විමසුමක්

මේ දිනවල රටේ පාලකයන් නිතර කියන්නේ ළඟදී ම මහා සාගතයක් එන බවත් ඒ නිසා හැම බිම් අඟලක ම වගා කළ යුතු බවත් යන කතාව යි. එදා ගොවිතැනින් ස්වයංපෝෂිත වුණු ශ්‍රී ලංකාවට අද හාල් පවා පිටරටින් ගෙන එන්නට සිදුවෙලා. මේ නිසා ඩොලර් හිඟයෙන් බැටකන රටට සහල්වලටත් විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවෙලා. මේ අතර වගා සංග්‍රාමවලිනුත් රටට අඩුවක් නැහැ.

මේ පසුගිය කාලයේ සිදුවුණු වගා සංග්‍රාම ගැන කළ විපරමක්.

 කාබනික වගාවෙන් වැනසුණු මිරිස් වගාවක් – wsws.org

වැනසුණු ගොවිතැන

වත්මන් ජනාධිපතිවරයා පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ කාබනික වගා සංග්‍රාමය නිසා ගොවියන් මුහුණ දුන්නේ විශාල විපතකට යි. පොරොන්දු වූ කාබනික පොහොර නොමැතිවීම නිසාත්, ලබා දුන් පෙහොර බාල ඒවා නිසාත් වී ගොවිතැන විනාශ වුණා. රජරට ගොවීන් පවසන්නේ තම අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවූ බව යි. එළවළු සහ තේ වගාවටත් මේ ප්‍රතිඵලය ම අත් වුණා.

රටේ පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. ලංකාවේ මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත්, සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් ලැබුණු දත්ත මත එම කමිටුව ප්‍රකාශ කළා. කෘෂිකර්මය මූලික කර ගත් රටක් ව පැවති ශ්‍රී ලංකාව අද වන විට වෙනත් ආදායම් මාර්ගවලට යොමුව තිබෙනවා. මේ නිසා පාලකයන්ට කෘෂිකර්මයේ වැදගත්කම අමතක වෙලා. නමුත් අපට වගා සංග්‍රාම සංකල්පයෙන් නම් අඩුවක් නැහැ.

 ගමක ගොවීන් සමඟ අගමැති ඩඩ්ලි- dailynews.lk

 

ඩඩ්ලිගේ වගා සංග්‍රාමය

පළමු අගමැති මෙන් ම මෙරට වගා විප්ලවයක් කළ ඩී. එස්. සේනානායකගේ පුතා වූ ඩඩ්ලි සේනානායක 1965 මැතිවරණයෙන් ජයගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවූවා. ඔහුගේ ආණ්ඩුව 1970 මැයි 29 වැනිදා තෙක් පවත්වාගෙන ගියා. එවකට අඩපණ වී තිබූ ගොවිතැන නගා සිටුවීමට රට පුරා වගා සංග්‍රාමයක් ඇරඹීමට අගමැති ඩඩ්ලි කටයුතු කළා. ඔහු තම පියාගේ රජයේ කෘෂිකර්ම ඇමැති තනතුර දැරූ අතර පියාගෙන් ලද ආභාසයත් මේ වගා සංග්‍රාම සංකල්පයට බලපෑ බව පෙනෙනවා.

ඩඩ්ලිගේ කැබිනට් මණ්ඩලයේ සිටි පරිණත දේශපාලකයන් වූ ඇම්. බී. බණ්ඩා, ජේ. ආර්. ජයවර්ධන, සී. පී. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ඊ. එල්. බී. හුරුල්ලේ ආදීන් වගා සංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දුන්නා. ඇම්. බී. බණ්ඩා කෘෂිකර්ම හා ආහාර ඇමැති තනතුර දැරූ අතර සි. පී. ද සිල්වා ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැති තනතුරු දැරුවා.

රටපුරා ඇරඹු වගා සංග්‍රාමය ඉතා සාර්ථක බව රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඩඩ්ලි අගමැතිවරයාට වාර්තා කළා. එහෙත් සාර්ථක වූ වගා සංග්‍රාමයක් නැති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. ගොවි ජනතාවට ලබාදුන් වගා ණය, පොහොර, බිත්තර වී ආදීයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් ගසා කෑ අයුරු එකල වාර්තා වුණා. අගමැති ඩඩ්ලි රැටවීමට නිලධාරින් ව්‍යාජ වාර්තා සකස් කළ බව පැවසෙනවා. මව්බිම යළිත් පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත්කිරීමේ ඩඞ්ලිගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වුණේ නැහැ. 1970 මහ මැතිවරණයෙන් ඩඩ්ලි ප්‍රමඛ එජාපය අන්ත පරාජයකට ලක් වුණා.

 අගමැතිනි සිරිමා රැස්වීමක් අමතමින්-twitter.com

සමගි පෙරමුණු ආණ්ඩුව

1970 මැතිවරණයේදී සමඟි පෙරමුණ ආසන 105ක් ජය ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉතිහාසයේ ප්‍රථමවරට තහවුරු කර ගත්තා. පාලක එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි වූයේ ආසන 17ක් පමණයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත්වූණා. හාල් සේරු දෙක ම නොමිලේ දෙන බවට 1970 ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ පොරාන්දුවක් ද වුණා. ඔවුන්ගේ ඊළඟ පොරාන්දුව වුණේ දුප්පතුන්ට විශාල සහන ලැබෙන “සමාජවාදය” කරා රට ගෙන යන බව යි.

 සහල් ලබාදීමට නිකුත් කළ සලාක පොත් – mawratanews.lk

 

සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයත්, පීටර් කේනමන්ගේ කොමියුනිස්ට් පක්‍ෂයත්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ සම සමාජ පක්‍ෂයත් හවුල් වූ නිසා එම කණ්ඩායම “තුන් හවුල” ලෙසින් හැඳින්වූවා. තුන් හවුලේ බලවන්තයන් වූ ගලගෙදර මන්ත්‍රී ටී.බී. ඉලංගරත්න, ගම්පොළ දී.මූ. ජයරත්න සහ මිණිපේ නවරත්නත්, පී.බී.ජී. කළුගල්ල, ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක, ආර්.ඇස්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ආදීන් ප්‍රමුඛ කොටගත් කණ්ඩායම ජනතාව අතරට ගියේ “අපෙ අම්මා ළඟ එනවා – ආපු ගමන් දෙක දෙනවා” යැයි නොමිලේ හාල් සේරු දෙක ම දෙන බවට පෙරොන්දු දෙමින්.

මැතිවරණයට තරග වැදුණූ එජාපය කිව්වේ හාල් සේරු දෙකක් හැම ගෙදරකට ම නොමිලේ දීම කළ නොහැක්කක් බවයි. සමගි පෙරමුණේ නොමිලේ හාල් කතාව විශ්වාස කළ වැඩිදෙනෙක් 1970 මැයි 27 පැවැති මහ මැතිවරණයෙන් ඩඩ්ලිගේ ආණ්ඩුව ආසන අටකට බැස්සුවා.

රජයේ මුදල් ඇමැති වුණේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යි. ඇමති පදවිය අතට ගත්විට ඔහුට වැටහුණේ හාල් පොරොන්දුව ඉටු කිරීම අපහසු බව යි.

“ආණ්ඩුවට විදේශ ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට ඇති බව ජනතාවට පැවසූ ඔහු ටික කලක් පටි තදකර ගන්න වන බව කිව්වා.

 පුරන් කුඹුරු අස්වද්දමින්- pinterest.com

සිරිමාවෝගේ වගා සංග්‍රාමය

අගමැතිනි සිරිමාවෝගේ සංකල්යපය වුණේ සමාජවාදී මූලධර්ම අනුගමනය කරමින් රට ස්වයං පෝෂණය කරා රැගෙන යාම යි. එය විගසින් කළ හැකි පොරොන්දුවක් වුණේ නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව රටේ වගාව  ප්‍රවර්ධනය කිරීම පිණිස 1971 න් පසු වගා සංග්‍රාමයක් පටන් ගත්තා. රට පුරා ම හිස් ඉඩම්වල වගා කිරීම අනිවාර්ය කළා. පිටරටින් සහල් ගෙන්වීම තහනම් වුණා. රටේ සහල් ප්‍රමාණය ප්‍රමාණවත් නැති නිසා සහල් අස්වැන්න වැඩිවන තුරු ඇතැම් දිනවල බත් ඉවීම හෝටල්වලට තහනම් කෙරුණා.

නිවෙස්වලත් දිනයක් බත් වෙනුවට බතල, මයියොක්කා, කොස් වැනි ආහාරයක් ගන්නා ලෙසට නීතියක් පනවා තිබුණා. රට වැසියන් බත් කෑම සීමා කරනු පිණිසත් මඤ්ඤොක්කා, බතල සහ එළවළු වර්ග වවාගෙන කෑමට දිරිදෙනු පිණිසත් සහල් සලාක ක්‍රමය ඇති කෙරුණා. දුප්පත් පවුල්වලට සලාක කූපන් ක්‍රමයකට සහල්, පිටි, භූමිතෙල් ආදිය ලබා දුන්නා.

 උතුරේ ලූනූ අස්වැන්නක් පිරික්සන අගමැතිනි සිරිමා- dinamina.lk

සිරිලක දේ සිරිසැප දේ

සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට “පස් අවුරුදු සැලැස්ම” නම් සැලැස්මක් ආරම්භ කළා. ”සිරිලක දේ – සිරිසැප දේ” යන සංකල්පය මත පදනම් ව මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. එකල පාසල් අභ්‍යාස පොත්වල පවා මේ වාක්‍ය සහිත චිත්‍ර දැක ගත හැකි වුණා. ස්වයංපෝෂිත “ශ්‍රී ලංකාවක්” බිහිකිරීමේ අරමුණ සඵල කර ගැනීමට නම් පිටරටට ණය නොවී අපේ දේ අපිම වවාගත යුතුය යන සංකල්පය රට පුරා ප්‍රචලිත කිරීම ආරම්භ වුණා.

එවකට පැවති එකම විද්‍යුත් මාධ්‍යය වුණු රාජ්‍ය ගුවන් විදුලියෙන් උදේ සවස “අල්ලක් වපුරා මල්ලක් ගෙට ගන්න” යන උපදේශය ප්‍රචාරය කෙරුණා. ඒ සම්බන්ධ නාට්‍ය, ගීත ආදිය බහුලව ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. සියලු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය වහාම නැවැත්වූවා. සූඛෝපභෝගී නොවන භාණ්ඩ රාශියක් ද ගෙන්වීම අත්හිටවූයේ විදේශ විනිමය හිඟය නිසා යි.

 සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබලයෝ-lankadeepa.lk

සමූහ ගොවිපොළ

එවකට මහ බලවතෙක් වුණු සමාජවාදී සෝවියට් දේශයේ කෘෂිකර්මික සංකල්ප මේ රටට ආදේශ කිරීම දැක ගත හැකි වුණා. සමුහ ගොවිපොළ ක්‍රමය එවැනි ගොවිතැන් ක්‍රමයක්. මේවා ආරම්භ වුණේ ගම්වල රැකියා විරහිත තරුණ පිරිස්වල සහභාගිත්වයෙන්. මේවායේ කටයුතු අධීක්‍ෂණය කළේ ගමේ පදිංචිකරුවන්ගෙන් සමන්විත “ජනතා කොමිටි” මගිනුයි කිසියම් කෙනකුට ලොකු ඉඩමක් තිබුණේ නම් එය අනිවාර්යයෙන්ම වගා කළ යුතු වුණා.

නැත්නම් එය රජයට පවරා ගත්තා. පසුව අසන්නට ලැබුණේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ඉඩකඩම් ජනසතු කිරීමටත් රජයේ එම වැඩසටහන ඇතැමුන් දඩමිමා කරගත් බවයි. ගොවින් තම කුඹුරු අනිවාර්යයෙන්ම වගා කළ යුතු වූ අතර වගා නොකරන කුඹුරු පවරාගෙන කුඹුරු නැති තරුණයන්ට වගා කිරීමට පවරා දීම සිදුවුණා.

 වගාවෙන් වැඩි අස්වැන්නක්- dailynews.lk

 

කිසියම් කෙනකුට වෙනත් පළාතකට රැගෙන යා හැකි උපරිම සහල් ප්‍රමාණය හාල් සේරු දෙකක් ලෙසටත් ආණ්ඩුවෙන් නීතියක් පනවා තිබුණා. ඊට වැඩියෙන් ගෙන ගියහොත් ඒ තැනැත්තා පොලිසියෙන් හා ජනතා කමිටු මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුවුණා. නීතිවිරෝධී ලෙස සහල්, මිරිස් ආදිය ප්‍රවාහනය වන්නේ දැයි පරික්ෂා කිරීමට සෑම නගරයකම, මංසන්ධිවල මාර්ග බාධක දමා තිබුණා. ජනතාව ඒවා හැඳින්වූයේ හාල් පොලු ලෙස යි.

මේ අතර ටික කලකින් හිස් ඉඩම් වගාබිම් බවට පත්ව හොඳ අස්වැන්නක් ලැබෙන්නට වුණා. පුරන් කුඹුරු වගාවලින් ද රටේ අස්වැන්නට සෑහෙන දායකත්වයක් ලැබුණා. සෑම ගමක ම ආහාර නිෂ්පාදනය ඉහළ ගි‍යා. ‍ජනතාව අතර උනන්දුව වර්ධනය කිරීමට ගෙවතු අතර වගා තරග පැවැත්වුණා. ගමක ‍හොඳ ම ‍ගෙවත්ත හිමි තැනැත්තාට ත්‍යාග හා සහතික හිමි වුණා. පාසල් දරුවන් පවා වගාවට ‍යොමු කෙරුණා. ඒ ක්‍රමය අඛණ්ඩ ව ඉදිරියට ‍ගෙන ගි‍යේ නම් රට ආහාර අතින් ස්වයං‍පෝෂිත තත්ත්වයකට යා හැකිව තිබුණු බව ආර්ථික විද්‍යාඥයන් මත පළ කළා.

ජනතා පීඩනය

වගා සංග්‍රාමයට මුලදී රටේ ජනයා කැමැත්තෙන් සහයෝගය ලබා දුන්නා. ඒත් හාල් පොලු වැනි කටයුතු නිසාත්, ගම්වල ශ්‍රීලංනිප බලවතුන්ට ඒ නීති බලනොපැවැත්වූ නිසාත් ජනතාව අතර අප්‍රසාදයක් වර්ධනය වුණා. වැඩි කාලයක් පටි තද කර ගෙන දුෂ්කර ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ගේ කුසගින්න ඉඩදුන්නේ නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් එක් වේලක් බත් තහනම් නීති බලපැවැත්වුණේ නැහැ.

 1977 සමගි පෙරමුණූ මැයි රැළියෙන්- Mahendra Rathnaweera- twitter.com

වගා සංග්‍රාම ජනතාවට තිත්ත වෙයි

මේ අතර අතර තුන් හවුල් ආණ්ඩුවේ මුල් පෙළේ සිටි සමසමාජ නායකයන් වුණු ඇන්.ඇම්.ගේ සමසමාජ පක්‍ෂයත්, පීටර් කේනමන්ගේ කොමියුනිස්ට් පක්‍ෂයත් සමග පැවති ගැටුම උග්‍රවන්නට වුණා. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීම සිදු වුණා. මේ කාලය වන විට සිරිමාගේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබුණා. දේශපාලනඥයන්ගේ වැරදි සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නිසි කළමනාකරණයක් සිදු නොවිම නිසා ජනතාව විශාල පීඩනයකට මුහුණ දුන්නා.

ජනතාව තුළ වූ පිඩනය පිට කෙරුණේ 1977 ඡන්දයෙන්. වගා සංග්‍රාම ප්‍රතික්ෂේප කළ ජනතාව රටින් හාල් ගෙනත් හෝ කන්න දෙන බව කියූ එජාපයේ ජේ. ආර්. ජයවර්ධනට හයෙන් පහක ජනවරමක් ලබා දුන්නා. ශ්‍රිලනිපයට හිමිවුණේ ආසන 8ක් පමණයි. ඒත් එදා අපට සමකාලීනව වගා සංග්‍රාම පටන්ගත් වියට්නාමය සහ තායිලන්තය අද ස්වයං පෝෂණය වී තිබෙන අතර සහල් අපනයනය ද සිදු කරනවා.

1978 අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර විවෘත ආර්ථික ක්‍රමය ඇති කළ ජනාධිපති ජේ ආර් ජයවර්ධන පෑන්, පැන්සල් පවා පිටරටින් ගෙන්වමින් පිටරටට ගැති ආර්ථික ක්‍රමයක් ඇති කළා. ඒ සමඟ ම සමූහ ගොවිපොළ කැලෑ වැදී විනාශ වුණා. කුඹුරු යළිත් පුරන් වුණා.

කවරයේ ඡායාරූපය- වගා සංග්‍රාමවලින් වගාවට වැඩක් වුණාද? - amayaresorts.com

මූලාශ්‍ර:
dinamina.lk
divaina.lk

Related Articles