මරණීය දණ්ඩනය නැවත ස්ථාපනය කළ යුතු ද?

සමාධිගෙන් (24) ඇසූ බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයට ඇය එකවරම නිරුත්තර වූ අතර පසුව මඳක් කල්පනා කළ ඇය, අපට පිළිතුරු දීම ආරම්භ කළා. 

අවසානයේ ඇය සිය කඩහඬ මෙසේ අවදි කළා. “මිනිස්සු අතින් වැරදි වෙනවා, නමුත් වැරදි කළ මිනිසුන් මරා දැමිය යුතුයි කියලා ඉන් අදහස් වෙන්නේ නෑ”. 

සමාධිගේ මව කුමුදුනි මේ වන විට පසුවන්නේ බන්ධනාගරගතව යි. කුමුදුනී අත්අඩංගුවට පත්වෙන්නේ 1999 වසරේ දී යි. ඒ හෙරෝයින් මිලිග්‍රෑම් 150ක් තමා සන්තකයේ තබා ගැනීමේ වරදට යි. නමුත් තම මව කෙදිනකවත් හෙරෝයින් පානය නොකළ බව යි සමාධිගේ අදහස වෙන්නේ. Roar වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කරන්නේ ඒ සඳහා වගකිව යුතු වන්නේ තම පියා බවත්, පියා විසින් මවව මේ වරදට හසු කෙරුණු බවත්.

කුමුදුනිට මෙම චෝදනාව හේතුවෙන් 2011 වසරේ දී මරණ දණ්ඩනය ලැබෙන අතර ඇය එම සමයේ ගර්භනී අවධියේ සිටි හේතුවෙන් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙකක් බවට ලිහිල් වෙනවා. “නමුත් අම්මට දුන්න ඒ දඬුවම මට දරා ගන්න බැරි වුණා. මම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා” යි සමාධි පවසනවා.

සමාධිගේ බාල සොයුරා බන්ධනාගාරයේ දී උපත ලබන අතර මේ වන විට ඔහුට වයස අවුරුදු 7ක්. සමාධි තම ඥාතින්ගේ සහාය මත තම බාල සොයුර සොයුරියන් රැකබලා ගැනීමේ නිරතව සිටිනවා. ගිය වසරේ දී ඔවුන්ගේ පියා විසින් සමාධි ඇතුළු සියලු  දරුවන්ව නිවසින් පන්නා දමා තිබෙනවා.

තම මව අහිමිවීම හා පියා විසින් කෲර ලෙස නිවසින් එළවා දැමීම හේතුවෙන් දැඩිව පීඩාවට පත් වී සිටි ඔවුන්ට පසුගිය දා තවත් ඉතා අසුභ ආරංචියක් අසන්නට ලැබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මරණ දඬුවම නැවත බලාත්මක කිරීමට සැරසෙන ප්‍රවෘත්තිය යි.

චැපැල් වාට්ටුව – මරණ දඬුවම හිමි වූ රැදවියන් මෙහි රඳවා සිටී. (Photo credits: Nirasha Piyawadani/ GPJ Sri Lanka)

මරණ දඬුවම 

ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණීය දණ්ඩනය නියම කරන්නේ 1976 වසරේ දී යි. ඉන් පසුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වී තිබෙනවා. නමුත් වත්මන් ජනාධිපතිවරයා නැවත ගෙන ඒමට සැරසෙන මරණීය දණ්ඩනය සදාචාරාත්මක හා යුක්තිසහගත වශයෙන් විය යුතු දෙයක් ද යන්න පිළිබඳ මේ වන විට සමාජය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ගෙන ඒමට සැරසුණ පළමු අවස්ථාව මෙය නොවූ අතර මීට වසර කිහිපයකට ප්‍රථමව සිදු වූ සේයා සදෙව්මි දැරියගේ අමානුෂික ඝාතන සිදුවීමත් සමග මරණ දඬුවම නැවත බලාත්මක කරන බව ජනාධිපතිවරයා විසින් පැවසුව ද එය ප්‍රකාශයකට පමණක් සීමා වෙනවා 

ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරමින් සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ගෙන එන්නට යි. 

මේ අනුව අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී ඇති වරදකරුවන් අතරින් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ වැරදිකරුවන් 30 දෙනෙකු තෝරා මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කරනවා. ඒ අතරින් පුරුෂයන් තිදෙනෙක් හා එක් කාන්තාවක් සඳහා නුදුරු දිනක දී මරණ දඬුවම ලබා දීමට තමා නිර්දේශ කළ බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කෙරෙනවා. ඒ සඳහා තමන් අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

පසුව මරණ දඬුවමට ලක්වූවන්, සිවිල් සංවිධානයන් හා මාධ්‍යවේදීන් විසින් ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරෙනවා. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරන්නේ එය සළකා බැලීමෙන් අනතුරුව යි. මෙහිදී පෙත්සම්කරුවන් කියා සිටින්නේ මරණ දඬුවමට ලක් වූ විශාල පිරිසක් අතරින් මත්ද්‍රව්‍ය චෝදනාකරුවන් තෝරාගෙන ඔවුන්ට පමණක් මරණ දඬුවම ලබා දීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන සැමට නීතිය ඉදිරියේ සම සේ සැලකිය යුතු ය යන වගන්තිය කඩ වෙන බව යි.

ජනාධිපතිවරයා විසින් එල්ලා මැරීමට අත්සන් තබන ලද සිරකරුවන් කවුරුන් ද යන්න නිශ්චිතවම හෙළිකර නොමැති බැවින් සමාධිගේ මව ඒ අතර නොසිටින බවට සහතික කර දැන ගැනීමට හැකියාවක් නෑ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දී එය ළමයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුකළවුන්ට එරෙහිව පළමුව ක්‍රියාත්මක විය යුතු බව සේයා සදෙව්මිගේ පියා පවසා සිටිනවා. 2016 වසරේ දී වැරදිකරුවාට මරණ දඬුවම නියම කළත් එය සාම්ප්‍රදායික ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බව ඇයගේ පියා පවසන අතර වැරදිකරු බන්ධනාගාරගතව මහජන මුදලින් නඩත්තු වෙන බවට ඔහු චෝදනා කරනවා.

මරණිය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට විරෝධතාවය පළ කරන විරෝධතාකරුවන් පිරිසක් (Ceylon Today / Tharaka Basnayaka)

මරණ දඬුවම වැළැක්වීමට 

අපරාධයකට දඬුවම මරණය නොවන බවත්, එය දඬුවමක් ලෙස ඵලදායි බවෙන් අඩු බවත් ඇතැමුන්ගේ මතය යි. “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ලිපියක් ලියමින් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට වඩා මරණ දඬුවම ලබා දීම අපරාධ අඩු කිරීමෙහි ලා කිසිදු ආකාරයකට බලපාන්නේ නොමැති බව යි.

එක්සත් ජාතීන්ගේ රටවල් 193න් දැනට මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ රටවල් 53ක පමණක් වන අතර මැඩගස්කර්, ගිනීයාව ඇතුළු රටවල් කිහිපයකම මෑත කාලයේ දී මරණීය දණ්ඩනය අහෝසි කර තිබෙනවා.

මරණ දඬුවම ක්‍රියාත්මක වුවොත් 

මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ගේ පවුල්වලට කුමක් සිදුවේ ද? මරණයට පත්කරන වරදකරුවන්ගේ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ස්ථිර සුභසාධන වැඩපිළිවෙලක් නොමැති බව සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව (Committee for Protecting the Rights of Prisoners) ප්‍රකාශ කරනවා.

ඒ හේතුවෙන් පවුල නඩත්තු කරන්නෙක් මරණයට පත් වුවහොත් ඔහු අහිමි වීම මත උග්‍ර ආර්ථික හා සමාජීය ගැටළුවලට දිගු කාලීනව මුහුණ දීමට ඔහුගේ යැපෙන්නන්ට සිදුවෙනවා. ඒ බව අවධාරණය කරන්නේ ඉහත කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නීතිඥ සේනක පෙරේරා යි.

මේ වන විටත් තම පවුලේ ආර්ථික බර දරා සිටින සමාධි සම්බන්ධයෙන් ගත් කල, මෙම ගැටළු තදබල ලෙස ඇගේ තරුණ ජීවිතයට බලපා තිබෙන බව පෙනී යනවා.

මම උසස් පෙළ විභාගයට සුදානම් වන විට මගේ පාසලේ ගුරුවරියක් මගේ මව මරණීය දණ්ඩනය නියමව සිටින බව දැනගත්තා”යි සමාධි සඳහන් කරනවා. “ගුරුවරිය එම තොරතුරු මුළු පාසලටම පතුරුවා හැරියා. ඇය මගේ මිතුරන්ට කිව්වා මාත් එක්ක ඇසුරු කරන්න එපා කියලා. ඒ වගේම මගේ හොඳම මිතුරිය මාත් එක්ක තිබුණු සියලු සම්බන්ධතා අත්හැරියා. ඒ හින්දා විභාගයට මාස හයක් ඉතිරිව තියෙද්දී උසස් පෙළ කරන එක මම අතහැරියා”.

අප විසින් දැක්වූ සමාධිගේ කතාවෙන් නිරූපණය වන්නේ මුළු සිද්ධි දාමයේ කුඩා පැතිකඩ කිහිපයක් පමණ යි. වත්මන වන විටත් මරණ දඬුවම අවශ්‍ය ද නැද්ද යන්න හරියටම තීන්දුවක් ලැබිලා නෑ. නමුත් එය මැතිවරණයක දී හුදෙක් ජන්ද ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කිරීම උදා වී තිබෙන අවාසනාවන්තම සිදුවීම යි.

Related Articles