දෙගල්දොරුව බිතු සිතුවම් ගැලරිය

මහනුවර සිට  කි. මී. 7ක් දුරින් පිහිටි දෙගල්දොරුව රජමහා විහාරය උඩරට සම්ප්‍රදායේ විශිෂ්ට බිතු සිතුවම් නැරඹීමට හැකි කලාගාරයක් ලෙස සැලකෙනවා. මෙය පිහිටා ඇත්තේ දුම්බර අමුණුගම නම් ගමෙයි. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා ඉතා පහසුවෙන් දෙගල්දොරුවට ළඟා වීමට පුලුවන්.  විදේශීය සංචාරකයන් ගෙන එන සංචාරක සමාගම් තම මහනුවර චාරිකා සිතියමට දෙගල්දොරුවත් ඇතුළත් කර තිබෙනවා. විදේශීය සංචාරකයන් ද බහුලව මෙම පුද බිමට ඇදී එන්නේ ඒ නිසයි. උඩරට බිතු සිතුවම් ගැන හදාරන සිසුන් නම් මේ විහාර සිතුවම් ගැන ඉගෙනගෙන ඇති. ඒත් වැඩි දෙනෙක් මේ විහාරයේ ඉතිහාසය ගැන නම් දන්නේ නැහැ .

තිහාසය අවුස්සා බලමු

(විහාර මන්දිරය ඉදිරිපසින්) – රචකයා

මහනුවර ගල්මඩුව විහාරය ඉදි කරමින් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජු(1747 – 1782)ට එයට නුදුරින් පිහිටි විහාරයකට කදිම ලෙනක් ගැන දැනගන්න ලැබුණාලු. රජු ගල්මඩුව කරවීම පැත්තක තියලා අලුත් ලෙනේ විහාරය කරවීමට නියෝග කර තිබෙනවා. ඒ විහාරය තමයි දෙගල්දොරුව කියලා කියන්නේ. ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී කරවන ලද පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ බව සැලකෙනවා. පිටියේ දෙවියන් යනු දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්.

(ලෙන් විහාරය පර්වතය සමඟ) – රචකයා

කීර්ති ශ්‍රී රාජසිංහ රජු මේ විහාරය කරවීම ඇරඹුවත් එහි නිමාව දැකගැනීමට රජුට වාසනාවක් තිබුණේ නැහැ. ඒ අසු පිටින් ඇද වැටී  ඔහු මරණයට පත් වූ නිසයි. ඊට පසු රජවූ ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු (1782 – 1798) විහාරය නිම කරලා මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ඒ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කරලා තිබෙනවා. ඒ බව හෙළි වන්නේ රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙන්. විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී යි. විහාරයෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල ලෙන් විහාරය නැරඹූ බවත් ජනප්‍රවාදවලින් පැවසෙනවා.

තඹ සන්නස

(සඳකඩ පහණ) – රචකයා

තඹ සන්නස දෙගල්දොරුවේ ඉතිහාසය හෙළි කරන වැදගත් සාධකයක්. එයට අනුව මෙම ලෙන ගැන දැන ගැනීමට ලැබී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පියාටයි. විහාරයක්‌ කරවීමට අවශ්‍ය වන අයුරින් ලෙන විශාල කරවීමට භාණ්‌ඩාගාරයෙන් අවශ්‍ය අලවංගු, යවුල්, කටු, මිටි ආදිය සපයන ලදුව, දිගින් රියන් දොළහක්‌ද, පළලින් රියන් අටක්‌ද, උසින් රියන් තුනක්‌ ද වන සේ ලෙන විශාල කර තිබෙනවා. අනතුරුව සඳකඩපහණ හා ගල්පඩි සකස්‌ කර ගල්ටැම් දොළහක්‌ සිටුවා විහාර ගොඩනැගිල්ල නිමා කර තිබෙනවා. ඊට පසු විහාර බිතු සිතුවම් හා ප්‍රතිමා කරවා අගුල් යතුරු අල්ලා විහාරගෙය නිමා කළ බවත් සන්නසේ  අපූරුවට විස්තර වෙනවා. විහාර නඩත්තුවට ගොඩමඩ ඉඩම් අමුණු පනහක් පූජා කර තිබෙනවා.  ඒ විතරක් නෙවෙයි. විහාරස්‌ථානයට අවශ්‍ය තිර, වියන්, කුඩ කොඩි, බෙර, දවුල්, පඩික්‌කම්, බුලත් හෙප්පු, පහන් ආදියත් රජු පූජා කර තිබෙනවා. දෙවරගම්පල සිල්වත්තැන, නීලගම පටබැන්දා, කොස්‌වත්තේ හිත්තර නයිදේ යන ඒ කාලයේ සිටි විශිෂ්ටතමයන් මෙම විහාර කර්මාන්තයට දායක වූ බවයි, පැවසෙන්නේ.

ලෙන් විහාර මන්දිරය

(මකර තොරණ සහිත ලෙන් විහාර දොරටුව)- Wikipedia.org

ලෙන් විහාරය පිහිටා ඇත්තේ කුඩා කඳුගැටයක් පාමුලයි. එයට නුදුරින් පැරණි සංඝාවාසයත් අපට දැකගත හැකියි.  ලෙන් විහාර ගොඩනැගිල්ලට සම්බන්ධව මුලින්ම පිහිටා ඇත්තේ හේවිසි මණ්ඩපයයි. හේවිසිකරුවන් හේවිසි වාදනය කරන්නේ එහි සිටයි. එය  ගල් කණු 20 ක් යොදා සාදන ලද බරාඳයක්. බරාඳයේ වියන ලෑලිවලින් නිම කර රෙදිවල අඳින ලද සිතුවම් අලවා අලංකාර කර තිබෙනවා. වියනෙහි බහුලවම දක්නට ලැබෙන්නේ නෙළුම් පෙති මෝස්තර සහ ජ්‍යාමිතික රටා ඇසුරින් නිර්මාණය කරන ලද මෝස්තරයි. මහනුවර යුගයට අයත් සඳකඩ පහණ දෙකක් ද මෙහි දැක ගැනීමට පුලුවන්. විහාරයට ඇතුළුවිය යුත්තේ මකර තොරණින් අලංකාර කළ දොරටුවකින්. දොර පියනද අලංකාර මෝස්තරවලින් පරිපූර්ණයි. පිට මාලයේ සහ ඇතුළු මාලයේ බිත්තිවල සහ ලෙන් වියනේ ද අගනා බිතු සිතුවම් ඇඳ තිබෙනවා. ජාතක කතා හයක් දෙගල්දොරුවේ සිත්තම් කර තිබෙනවා. ඒවා නම් මහා සීලව, වෙස්සන්තර, සත්තුභත්ත,ක්ෂාන්තිවාදී සහ අයෝධර යන ජාතක කතායි. ආලවක දමනය, සූවිසි විවරණය, තව්තිසා දෙව්ලොව, සොළොස්මස්ථානය ආදියත් මෙහි බිත්තිවල හා වියනේ ඇඳ තිබෙනවා.

බිතු සිතුවම්

(වියනේ නෙලුම් මල් රටා)- රචකයා

ආනන්ද කුමාරස්වාමි ප්‍රකාශ කර ඇති පරිදි ඒවායේ අගය රඳා පවතින්නේ ශෝභනත්වය හා සිත්කළු බව නිසාම පමණක්‌ නොව රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඒවා මගින් ප්‍රකාශ වන නිසයි.  මේ චිත‍්‍ර නැරඹීම තුළින් එකල ජීවත් වූ විවිධ තරාතිරමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ සහ පොදු සමාජ සිරිත් ගැනද කිසියම් අවබෝධයක් ලබාගත හැකිය.  රූප සම්පිණ්ඩනය, වර්ණ සංයෝජනය සහ රේඛා භාවිතය අතින් මෙම සිතුවම් ඉහළ තැනක වැජඹෙනවා.

(වෙස්සන්තර ජාතකයේ  අවස්ථාවක්)- travelwithkamal.com

මෙහි බිතු සිතුවම් අතර සුවිශේෂී චිත්‍ර කිහිපයක්ම හමු වෙනවා. ඒවා උඩරට බිතුසිතුවම් කලාවේ විශිෂ්ට ලක්ෂණ පළ කරනවා. වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන් දීම, භාණ්ඩ දන් දීම, ළිඳ ළඟ කළහය, ජූජක බමුණා සැඟ වී සිටීම සුවිශේෂී වෙනවා. ඒ වගේම‍ මාර පරාජය සිතුවමේ පංච මහා බෝධි වෘක්ෂය, පංච මාර රූපය, මාර පරාජයේ තුවක්කු අතින් ගත් මාර සෙබළු, මහී කාන්තාවගේ රූපය, ක්ෂාන්තිවාදී ජාතකයේ මදුරුදැල් ආදී සිතුවම් ඒ අතර ප්‍රධානයි. වෙස්සන්තර ජාතක චිත‍්‍රාවලියේ ඇති විශේෂ ලක්ෂණය නම් එවකට පැවති නුවර පෙරහැරේ ගති ලක්ෂණ මෙම සිතුවමේ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා මැනවින් යොදා ගෙන තිබීමයි.

(තුවක්කු අතැතිව සිටින මාර සෙබළු)- flickr.com, Thilak Indika Senevirathna

සෑම සිතුවමක් ම සියුම් රේඛා මගින් මතු කර පෙන්වනවා. මේ රේඛා නිර්මාණයේ දක්ෂතාවය මහී කාන්තාව සිතුවමේ කදිමට නිරූපණය කෙරෙනවා. මාර පරාජයේ සුවිශේෂිත්වය වන්නේ භයංකාර මාරයාට විසුළු ස්වරූපයක් ලබා දී තිබීමත්, මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද යොදා තිබීමත්. මාර පරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් සුදු අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමට යොදාගෙන ඇති බවට සිතිය හැකි යයි සමහර විචාරකයන් පවසනවා. මාර පරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත පංච මාරයාගේ ද සෙසු මාරයින්ගේද ජුගුප්සාජනක බව හොඳින් නිරූපිතයි.

මේ සිතුවම් කලාකරුවන් අමන්දානන්දයට පත් කළ, විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ ඒවායි.

බුද්ධ ප්‍රතිමා

(සැතපෙන බුද්ධ ප්‍රතිමාව) -රචකයා

දොළොස්‌ රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව හා එහි දෙපැත්තෙන් තැන්පත් කිරීම සඳහා හිඳි පිළිම හයක්‌ කර වූ බව සන්නසේ සඳහන්. අපට අද විහාරය තුළ  සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහ හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද දැකගත හැකියි. මේවා උඩරට මූර්ති ශිල්පයට උදාහරණ සපයනවා.

අවසාන සිංහල රජු

දෙගල්දොරුව පිළිබඳ කතාබහ නැවත වරක්‌ රට පුරා පැතිරී යන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (1798-1815) වකවාණුවේ දී යි. ඒ මෙම විහාරස්‌ථානයේ නායක ධුරය ඉසිලූ පරණාතල අනුනායක හිමියන් 1814 දී රජු විසින් හිස ගසා මරණයට පත් කරන ලද නිසයි. එහිමියන් රජුගේ අප්‍රසාදයට ලක්‌වීම නිසා මෙසේ ඝාතනය කරන ලද බව පැවසෙනවා.

(දාගැබ)- රචකයා

පියගැට නැග විහාරයේ ඉහළ මළුවට පැමිණි විට කඳුගැටය මත පිහිටි දාගැබ සහ බෝධි වෘක්ෂය වන්දනා කිරීමටත් ඔබට පුලුවන්.

ආශ්‍රිත මූලාශ්‍ර:

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

සිංහල වෙහෙර විහාර- ජේ. බී. දිසානායක

කන්ද උඩරට මහනුවර- අනුරාධ සෙනෙවිරත්න

දිවයින- 2009  ඔක්. 21 – පද්මිනි සෙනෙවිරත්නගේ ලිපිය

කවරය- රචකයා

Related Articles