වවුල් රුහිරු බී සහාරාවේ දිවි රැක ගත් මිනිසෙක්

සහාරා කාන්තාරය යනු ලෝකයේ දෙවැනියට විශාලතම කාන්තාරය යි. වර්ග කි. මී. 9,200,000 පුරාවට විහිදී පවතින සහාරා ව තුළ ඇත්තේ වෙනස් ම වූ පරිසර පද්ධතියකි. මේ නිසා ම ත්‍රාසයට ආසා කරන බොහෝ දෙනෙකු සහාරා ව වෙත යන්නේ ජීවිතයේ කිසිදාක අත් නොවිඳි අත්දැකීම් ලබා ගැනීමට යි. වර්ෂ 1984 පැට්‍රික් බුවෙර් නම් 28 හැවිරිදි තරුණයෙකු එකදු ගම්මානයක්, දිය පොදක්, හෝ සෙවණට ගසක් නැති සහාරා ව මැදින් චාරිකාවක් යාමට තීරණය කරනවා. කි. මී. 350ක් මේ චාරිකාව තනිව ම පා ගමනින් යාමට තීරණය කරන ඔහු ඒ සඳහා ම කි. ග්‍රෑ. 35ක ආහාර සහ ජලය සහිත ගමන් මල්ලක් ද රැගෙන යනවා. සම්පුර්ණ දුර නිමා කරන්නට ඔහුට දින 12ක් ගත වූ බව සඳහන් වෙනවා. ප්‍රැටික් බුවෙර්ගේ මේ ත්‍රාසයජනක චාරිකාව 1986න් ඇරඹි, ඩෙස් සෙබලස් මැරැතන් තරගයේ ආරම්භය බවට ද පත් වූ බව සඳහන්. එය දැන් සෑම වසරකට ම සැරයක් සහාරා ව කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබනවා.

ඩෙස් සෙබලස් මැරැතන් තරගයේ ගමන් මාර්ගය (BBC)

1994 දී පැවැති ඩෙස් සෙබලස් මැරැතන් තරගය සඳහා ප්‍රවීණ තරගකරුවන් පවා සහභාගී වන්නේ සෑම වසරක ම උණුසුම් වෙන මේ ත්‍රාසයජනක මැරැතන් ධාවන තරගයේ ත්‍රාසය ලබා ගැනීමේ අරමුණ ඇති ව යි. මේ ධාවන තරගයට සහභාගී වීම සඳහා ඉතාලි ජාතික පොලිස් නිලධාරීයෙකු වු මව්රෝ ප්‍රෝස්පෙරී හට ද තිබුණේ දැඩි කැමැත්තක්. මැරැතන් තරගවලින් විශ්‍රාම ගොස් සිටියත්, මිතුරෙක් හරහා ඩෙස් සෙබලස් දැනගන්නට ලැබුණු ධාවන ප්‍රවීණයා තුළ තරගය ගැන ඇති වූයේ දැඩි ආකර්ෂණයක්. කිසිම දවසක කාන්තාරයක් මැදින් ධාවන තරගයකට සහභාගී නොවුණු ඔහු, එහි ඇති අභියෝගී බව ලබා ගන්නට පුරුදු පුහුණු වෙන්නට පටන් ගත්තා. දිනකට සැතැපුම් 25ක දුරක් දුවන්නට පටන් ගත්තේ අභියෝගය සඳහා ශරීරය පුහුණු කර ගැනීමේ අධිෂ්ඨානයෙන්. 39 වන වියේ පසු වූ මව්රෝ හට ඔහුගේ බිරිඳ සින්සියා ගෙන් මේ තරගයට සහභාගී වීම ගැන එල්ල වුයේ දැඩි වීරෝධයක්. ඒ අවුරුදු 8ට අඩු දරුවන් තිදෙනෙකු සිටි නිසාත්, තරගයේ ඇති අවදානම් බව නිසාත්, ඔහුට කරදරයක් වෙයි යන බිය නිසාත් ය. නමුත් මව්රෝගේ සම්පුර්ණ අවධානය ම යොමු වී තිබුණේ ධාවන තරගය සඳහා පමණි.

මව්රෝ ප්‍රෝස්පෙරී පොලිස් නිලධාරීයෙකු ලෙස සේවය කරමින් (Zedie.Wordpress)

පුහුණු වීම්වලින් පසු තරගයට සහභාගී වීම සඳහා මව්රෝ, මොරොක්කෝ ව බලා පිටත් වී යනවා. මොරොක්කෝවේ දී ද ඩෙස් සෙබලස් මැරැතන් තරගය ගැන මව්රෝ හට අහන්නට ලැබුණේ ත්‍රාසය උපදවන සුළු කතා යි. වර්තමානයේ වන විට ඩෙස් සෙබලස් සඳහා දහසකට අධික පිරිසක් සහභාගී වූව ද, 1984 දී පැවැති තරගය සඳහා සහභාගී වී සිටියේ අසූ දෙනෙක් පමණි. ඩෙස් සෙබලස් තරගය ආරම්භ විය. තවත් ඉතාලි ජාතිකයන් කිහිපදෙනෙකු සමග කණ්ඩායමක් සාදා ගත් මව්රෝ, තරගයේ ඉදිරියෙන් ගමන් කරන්නට පටන් ගත්තා.

මව්රෝ තවත් ඉතාලි ජාතික තරගකරුවෙකු වූ මාරියෝ මලේර්බා සමගින් (BBC)

 

තරගය මුල් දින 3 දී සියලු දෙනා විනෝදයෙන් තරගයේ යෙදෙන්නට වුණත්, හතරවන දිනය සියලු දෙනාට නොසිතූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවුණා. දැවැන්ත වැලි කුණාටුවක් සහාරාවේ ඇති වී තිබුණේ ඩෙස් සෙබලස් හී අවදානම් බව ක්‍රීඩකයන්ට පෙන්වමින්. මව්රෝ කිසිම දිනක එවැනි අත්දැකීමකට මුහුණ දී නැති නිසා, ඔහු ව වැලි කුණාටුවට හසු වෙනවා. වේගයෙන් ගමන් කරන සුළං පහර සමග මව්රෝගේ පෙනීමට බදා ඇති වුණා. හුස්ම ගැනීමට පවා නොහැකි වුණු ඔහු බිම දිගා වී සිටියේ වැලි කුණාටුව අවසන් වන තුරු යි. වේගයෙන් ගමන් කරන වැලි පහර ඔහුට ඉඳි කටු තුඩුවල්වලින් අනිනවා හා සමාන වේදනාවක් දුන් බව මව්රෝ කියලා තිබුණා. මව්රෝට ඔහුගේ කණ්ඩායමේ ඉතිරි සගයන් ව මඟ හැරී ගියා.

මව්රෝ ඔහුගේ සගයන් සමග තරගය අතරතුර (BBC)

ඔහු කුණාටුවට පෙර තරගයේ හතරවන ස්ථානයේ රැඳී සිටියා. තමන්ගේ තැන අහිමි වී යැ යි සිතමින් ඔහු කාන්තාරයේ වැලිමත ම රාත්‍රීය ගත කරන්නට තීරණය කරන්නේ පස්වැනි දිනය හෝ ඉක්මනින් අවසන් කර තරගයේ තවත් රැඳී සිටිමේ අධිෂ්ඨානය ඇති ව යි. පැය අටකට ආසන්න කාලයක් පැවැති කුණාටුව සහාරාවේ මව්රෝ රැඳී සිටි භූමිය සම්පුර්ණයෙන් ම උඩුයටිකුරු කරන්නට සමත් වී තිබුණා. ඔහුට සිදු වූ විපර්යාසය ගැනවත් අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු මාලිමාව සහ සිතියම සමග ගලපමින් ඔහු සිටින තැන සොයා ගන්නට උත්සාහයක යෙදුණත්, එයින් ද පලක් සිදුවුණේ නැහැ. ඔහුට දුවන්නට අවශ්‍ය වුණත් දුව යා යුතු තැනක් ගැන ඔහුට සිතා ගන්නට නොහැකි වෙනවා.

මව්රෝ ළඟ වතුර ඉතිරි ව තිබුණේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් පමණි. ඔහු දිගින් දිගට ම ගමන් කළේ සංවිධායකයන් ඔහු ව සොයා ගෙන පැමිණේ යැ යි සිතමින්. දිගින් දිගට ම ගමන් ගත්තත් ඔහුට කිසිවක් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ජලය පරිස්සම් කර ගන්නටත්, විජලනය වළක්වා ගැනීමටත් ඔහු ගමන් කළේ උණුසුම අඩු පාන්දර කාලයෙත්, සවස් කාලයෙත් පමණයි. දින දෙකක් තිස්සේ එක දිගට ගමන් ගත් මව්රෝ සතුව තිබූ ජලය ද අවසන් වුණා. දෙවැනි දිනයේ ඔහුගේ බලාපොරොත්තු ඉහළ නංවමින් හෙලිකොප්ටරයක් පැමිණියත් එහි නියුමවන්ට මව්රෝව දැක ගන්නට ලැබෙන්නේ නෑ. නැවතත් දිගට ම ගමන් ආරම්භ කළේ පසු ව හෝ ඔහු ව සොයා ගැනීමට සංවිධායකයන් පැමිණෙයි යැ යි අපේක්ෂාවෙන්.

මව්රෝ කාන්තාරයේ නැවතී සිටි ඉස්ලාම් සොහොන් ගෙය (BBC)

නොකඩවා ගමන් කළ මව්රෝ හට මුල්ම වතාවට නවාතැනක් හමුවුණා. ඒ ඉස්ලාම් සොහොන් ගෙයක්. මව්රෝ කවුරුන් හෝ එහි ඇති බව සිතා එයට ඇතුල් වුණත්, මියගිය පුද්ගලයාගේ සොහොන් කොත හැර වෙන කිසිවක් එහි තිබුණේ නැහැ. මව්රෝ එය තුළට වී ගිමන් හරින්නට සැරසුණා. ඔහු සතු ව ජලය ඉතිරි වී තිබුණේ නෑ. ඒ නිසා ම ඔහුට අකැමත්තෙන් හෝ ඔහුගේ ම සුළු දිය පානය කරන්නට සිදුවුණා. ඔහු ඉදිරි දිනවලට අවශ්‍ය වේ යැයි සිතා තවත් සුළු දිය හිස් ව තිබූ වතුර බෝතලයට පුරවා ගත්තා. සොහොන් ගෙය තුළ වැලි සහ මකුළු දැල් හැර වෙන දෙයක් ඇත්දැ යි සොයා බැලූ ඔහුට දැක ගන්නට ලැබුණේ, එහි කුලුනක් මත අඳුරේ සිටින වවුලන් ය. ඔහු වවුලන් අල්ලා ඔහු සතු ව තිබුණු සාක්කු පිහියකින් වවුල් කිහිප දෙනෙකුගේ හිස කපා දමා, හිස තිබූ ස්ථානය හිල් කර වවුල් රුධිරය පානය කිරීමට පටන් ගත්තා. දැඩි කුස ගින්න නිසා ම වවුලන් විසි දෙනෙකු පමණ ඔහු විසින් ආහාරයට ද ගත්තා.

දින 5ක පමණ කාලයක් ඔහු එය තුළ ම රැඳි සිටියා. කිහිපවරක් ම ගුවන් යානාවල සහ හෙලිකොප්ටර්වල ශබ්දයන් ඔහුට ඇසුණත් ඒවා ඔහු වෙත ආවා නැහැ. මව්රෝ ඔහු සතු ව තිබු ඉතාලි ධජය සොහොන් ගෙය එළියේ රැදෙව්වා. ඔහුට සොයා ගත හැකි සෑම දෙයක් ම දමා ගිනි ගොඩක් පවා ගැසුවේ කාගෙ හෝ අවධානයට ලක් වේයැ යි සිතමින්. ඔහු බලාපොරොත්තු විරහිතභාවයට පත් වුණා. කාන්තාරයේ නොහඳුනන පුද්ගලයෙකුගේ සොහොන් ගැබක් තුළ මිය යනු ඇතැ යි ඔහු සිතුවා. ඔහුගේ මරණයෙන් පසු ව බිරිඳට පොලිස් විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට හැකියාවක් ලැබෙනු ඇතැ යි ද ඔහු සිතමින් කාලය ගත කළා. ඔහුගේ සාක්කු පිහියෙන් අත කපා මිය යනතුරු බලා සිටියත් ඔහුගේ රුධිර මට්ටම අඩු වී තිබුණු නිසා තුවාලයෙන් ලේ පිටතට පැමිණියේ නැහැ.

මව්රෝගේ බලාපොරොත්තු ඉහළ නැංවු දෙයක් පිටත වැලි පොළොව මත රැඳි තිබුණා. ඒ අඩි පාරවල් කිහිපයකි. අඩිපාරවල් පසුපස ගිය ඔහුට එළු රංචුවක් හා කුඩා දැරියක දකින්න ලැබුණා. දැරියට ඔහු කතා කළත් විජලනයට පත් කෙට්ටු වී ඇති මව්රෝ ව දුටු ඇය පැන ගියා. දැරිය පසුපස ගිය ඔහුට විශාල කුඩාරමක් දකින්නට ලැබුණු අතර, එහි සිටි කාන්තාවන් පිරිසක් මව්රෝ හට උදව් කරන්නට ඉදිරිපත් වුණා. පසු ව ඔවුන් ඒ ආසන්නයේ තිබූ හමුදා කඳවුරකට කතා කර මව්රෝ ව ඔවුන්ට බාර දෙනවා. එතනින් මව්රෝ ව පොලිසියට බාර දුන් අතර, ඔහු දින 10ක් තිස්සේ සැතැපුම් 181 ගමන් කර තිබුණා. අවසානයට ඔහු නතර වී තිබුණේ ඇල්ජීරියානු දේශ සීමාව අසල යි.

මව්රෝ දැරිය පසුපස ගිය කුඩාරම සහිත වූ බිම් පෙදෙස (Flicker.com)
මව්රෝ ව ගලවා ගැනීමෙන් පසු ව සංවිධායකයන් සමග (BBC)

පොලීසිය ඔහු ව තරග සංවිධායකයන්ට බාර දුන් අතර, මව්රෝගේ බර කි. ග්‍රෑ. 16කින් අඩු වී තිබුණා. ප්‍රතිකාරවලින් පසු ව මව්රෝ ව, ඔහුගේ රට බලා පිටත් කර හරිනවා. සහාරාවේ දින 10ක කාලයක් ආහාර හෝ ජලය නොමැති ව ගත කළ මේ අපුරු මිනිසාගේ කතාව ඇසූ බොහෝ දෙනාට එය සිතා ගැනීමට පවා නොහැකි අන්දමේ එකක් වුණා. මව්රෝ නැවතත් වසර 4කට පසු ව ඩෙස් සෙබලස් සඳහා තරග වැදීමට පැමිණි නමුත්, ඔහුට එය අවසන් කිරීමට නොහැකි වන්නේ ඔහුට ඇති වූ රෝගී තත්ත්වයක් නිසා යි. නැවතත් 2012 දී ඔහු තරග වදින අතර, පැය 34 මිනිත්තු 30 කාලයක් ගත කළ 131 වැනියා ලෙස ඔහු ඩෙස් සෙබලස් අවසන් කරා.

 

Related Articles