Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැමි නාටකවල දී හමුවන යක්ෂයෝ

සිංහල ගැමි නාටක දෙස බලන විට අපට බොහෝ අවස්ථාවල දී යක්ෂයන් හමුවේ. වස් දොස් දුරු කර ගැනීම සදහා, විවිධ ලෙඩ රෝග සදහා, සෞභාග්‍ය උදෙසා ආදී විවිධ වූ හේතු කාරණා නිසා මෙම ගැමි නාටක පවත්වයි. මෙම ලිපියෙන් කීමට යන්නේ එම නාටකවල දී හමුවන යක්ෂයන් ගැන ගැමි ජන විඥානය තුළ තිබෙන තොරතුරු කිහිපයකි.

රීරි යකා

යක්ෂයන් අතරින් වඩාත් ම බලසම්පන්න යක්ෂයා ලෙස සැලකෙන්නේ රීරි යකා ය. ඔහු විවිධ ලෙඩ රෝග බෝ කරන අතර, ශරීරය රතු පැහැතියි. මේ නිසා ම රතු පැහැති රෙද්දක් පොරවගෙන සිටියි. ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පීනස, ඔලුවේ කැක්කුම, ඇස් නොපෙනීම, හා කාන්තාවන්ට විශේෂයෙන් වැළදෙන සමහර ලෙඩ රෝගත් රීරි යකා විසින් ඇති කරන බව පිළිගැනේ. කිල්ලක් ඇති වූ විට, ස්ත්‍රීන් ඔසප් වූ විට, හා දරු උපතක දී රීරි යකාගේ බැල්ම වැටෙන බව කියයි. විශේෂයෙන් ගැවසෙන ස්ථාන ලෙස ඇළ දොළවල්, මං සන්දි, හා පාළු පිට්ටනි දැක්විය හැකියි.

බලි රූපවල රීරි යකා නිරූපණය සඳහාගිරවෙක්, කුකුළෙක්, කඩුවක්, හා මිනිස් හිසක් අත් දෙකක ඇති, අත් හතරක් ඇති, ඌරෙකු වාහනය කරගත් (විටෙක ඊරි යකාගේ වාහනය ගවයෙකු බව ද කියැවේ) වඳුරු මුහුණැත්තෙකු ලෙසින් ද දැක්වේ. රීරි යකාගේ වෙනත් අවතාර කිහිපයක් තිබෙන බව කියයි. ඒවා; අවමංගල රීරි යකා, තොටුපළ රීරි යකා, කඩවර රීරි යකා, සොහොන් රීරි යකා, හා ගොපලු යකා වේ.

රීරි යකා (facebook.com)

හූනියම් යකා

හූනියම් යක්ෂයා ඔඩ්ඩි කුමාරයා, හූනියම් දේවතාවා, ඔඩ්ඩි යක්ෂයා, හා ඔඩ්ඩිස වශයෙන් ද හඳුන්වයි. මොහු විසින් දෙනු ලබන දෝසවලට හූනියම් දෝසයැ යි කියති. මේවා දුරු කර ගැනීමට හූනියම් කැපීම නම් ශාන්තිකර්මය සිදුකරයි. හූනියම් යකා නිරූපණය සඳහා අශ්වයෙක් මත සිටින, නයි පෙන සහිත, එක් අතකින් පුස්කොළයක් ද, අනෙක් අතින් රත්තරන් මුගුරක් ද සහිත අයෙක් ව යොදා ගනියි. සමහර ස්ථානවල දී හූනියම් යක්ෂයාගේ මුහුණෙහි ලේ පොළගෙක්,එක් අතක මුගුරක්, හා අනෙක් අතෙහි ගිනි කබලක් ද ඇති ව සිටිනා ආකාරයට නිරූපණය වී තිබේ. හූනියම් යක්ෂණියත්, හූනියම් යක්ෂයාට නෑකම් කියන බවට පෙනෙන අතර, හූනියම් යක්ෂණියත් උපන්නේ හූනියම් යක්ෂයා සමග බව ද පවසයි. ඇය සොහොන්, ගංගා, මංසන්ධිවල සැරිසරන බව ද ගැමියන් විශ්වාස කරයි. ඇය නිරූපණය සඳහා රූමත් ස්ත්‍රියකගේ රූපයක් යොදා ගෙන තිබේ.

ඔඩ්ඩි කුමාරයා නොහොත් හූනියම් යකා (pinterest.com)

රට යක්කු

කාන්තාවන්ට හා ළමයින්ට දිෂ්ටි හෙළා ලෙඩ පමුණුවන යක්ෂ කොට්ටාසයකි රට යක්කු. මොවුන් ගැහැණුන් වඳ කරවන බව කියයි. රට යක්කුන්ගේ නායිකාව වන්නේ රිද්දි බිසව යි. ඇයට වඳ දියණියන් හත් දෙනෙක් සිටියි. එම හත් දෙනා නම් නාමල් කුමාරි, සෝමල් කුමාරි, ඉද්දමල් කුමාරි, පිච්චමල් කුමාරි, සපුමල් කුමාරි, වදමල් කුමාරි, හා සිද්දිමල් කුමාරි වේ. රිද්දි බිසව හා රට යකුන් උපන්නේ මහා මේරු පර්වතයෙ හි ඇති වූ ගින්නකිනි. මෙසේ උපත ලබා රටින් රට සංචාරය කරන අතරතුර මෙය දුටු මහා බ්‍රහ්මයා ඇය ව තම බිරිඳ කොට ගනියි. රිද්දි බිසවට දූවරු හත් දෙනෙක් ලැබුණ පසු මහා බ්‍රහ්මයා තම නිවහන වූ බ්‍රහ්ම ලෝකයට යයි.

වෙසමුණු රජු (pinterest.com)

ඉන්පසු, රිද්දි බිසව තම දූවරුන් සමග නැවත මහා මේරු පර්වතයට වාසය සඳහා යයි. එහි ඇය දැන් සිටින්නේ සෙසු රට යක්කු හා වෙසමුණු රජු (යක්ෂයින්ගේ නායකයා වේ. එමෙන්ම සතරවරම් දෙවිවරුන්ගෙන් අයෙකි. වෙසමුණු රජුගෙන් අවසර රැගෙන මිස යක්ෂයින්ට කිසිවක් කළ නොහැකි යි) ඇතුළු ඔහුගේ පිරිස සමග යි. ඇයට කළු කුමාරයා හා එක්ව කාන්තාවන්ට කරදර කර, දොළ පිදේනි ලබා ගැනීමට වෙසමුණු රජුගෙන් අවසර ලැබුණි. නමුත් මොවුන් වෙසමුණි රජුගේ අණට පිටින් කටයුතු කිරීම නිසා ඔවුන් ව අසුරගිරි කොටුවට යැව්වෝ ය. අසුරගිරි කොටුවේ වසර දොළහක් සිටි අතර, ඉන් නිදහස් වූ පසු දීපංකර බුදුන්ට වස්ත්‍රයක් වියා උන්වහන්සේගෙන් වරමක් ලබාගත්තේ ය. එසේ ඔවුන්ට ලැබූ වරම වූයේ ගැහැණුන් වඳ කිරීමට වන අතර, දොළ පිදේනි ලැබූ පසු එම දෝසය නැති කිරීමට ද උන්වහන්සේ අණ කරන ලදී.

රටයකුම යාගයක අවස්ථාවක් (nisansalamaduwanthi.wordpress.com)

කළු කුමාරයා

අලුතින් වැඩිවියට පත් වන තරුණියන්ට, මාර්ගවල දී හෝ සිහිනෙන් පෙනී ලෙඩ රෝග පමුණුවන හා බොහෝ විට ස්ත්‍රීන් කෙරේ විවිධ රෝග පමුණුවන යක්ෂයා, කළු කුමාරයා ලෙස හඳුන්වයි. කළු කුමාරයාට කළු පැහැති සිරුරක් ඇති බව කියන අතර, කළුවන් ස්ත්‍රීන් කෙරේ ඔහු වැඩි ඇල්මක් දක්වයි. කළු කුමාරයා නිරූපණය සහිත අත් හතරක් ඇත්තෙක්ව දක්වයි. අත් දෙකක ඇතුන් දෙදෙනෙකු සිටින අතර අනෙක් අත් දෙකේ කඩු දෙකක් තිබේ. සමහර ස්ථානවල මෙම අත් හතරෙහි මුගුරක්, කඩුවක්, කුකුළෙක්, හා නා අත්තක් ඇති ආකාරයට නිරූපණය කරයි. මීට අමතර ව කළු කුමාරයාගේ ඇඟ වටා නයෙක් එතී සිටින අතර ඔහු මීමෙකු පිට නැගී සිටියි.

කළු කුමාරයාට අවතාර හතක් ඇති බව කියයි. එම අවතාර හත නම්; හඳුන් කුමාර, අඳුන් කුමාර, මල් කුමාර, ගිරි කුමාර, දළ කුමාර, සොහොන් කුමාර, හා වාත කුමාර වේ. කළු කුමාරයාට රට යකුම් යාගය නම් යාගයේ දී ආරාධනා කරයි. රට යකුම් යාගය පවත්වන්නේ ගර්භණියකගේ දරු ප්‍රසූතිය කිසිම කරදරයක් නොවී සිදුවේවා කියා ප්‍රාර්ථනා කිරීමට, උපන් දරුවාගේ ආරක්ෂාව පතා, හෝ වඳ ස්ත්‍රීන්ට දරු සම්පත් ලබාදීම උදෙසා ය. මේ ශාන්තිකර්මයෙහි දී කළු කුමාරයාගේ රූපයක් අඹා කළු කුමාර පිදේනියක් දෙයි. මෙසේ සිදුකරන්නේ ඉහත දී සඳහන් කළ රට යක්කු හා කළු කුමාරයා අතර සබඳකමක් පැවතීම නිසා ය.

කළු කුමාරයා (pinterest.com)

මහසොහොන් යකා

සොහොනෙහි ඉපිද, මිනී මස් කා, සොහොනෙහි ම ජීවත් වන යක්ෂයා මහසොහොන් යකා ලෙස හැඳින්වේ. මොහුගේ උස රියන් අසූ එකක් බව පැවසෙන අතර යක්ෂයින් ලක්ෂ හතකට අධිපතිකම් කරන බව ද කියයි. මහසොහොන් යකා ව නිරූපණය කිරීම සඳහා වළස් මුහුණක් සහිත එක් අතකින් හෙල්ලයක් ද අනික් අතින් ඇතෙකුගේ ලේ උරා බොන ආකාරයේ රූපයක් යොදා ගනියි. මෙසේ මහසොහොන් යකාට වළස් මුහුණ ඇති වූ ආකාරය ගැන ජනකතාවක් තිබේ.

දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් කෙනෙක් වූ ගෝඨයිම්බර යෝධයා තම බිරිඳ සමග උත්සවයකට ගියේ ය. එහි දී ජයසේන නම් වූ යක්ෂයා ගෝඨයිම්බරගේ බිරිඳගේ රූපශ්‍රීයට වශී වී ඇයට ආරූඪ විය. මෙය දැනගත් ගෝඨයිම්බර ජයසේන හට සටනකට පැමිණෙන ලෙස කීවේ ය. ඒ අනුව සටන සිදු වූ අතර ගෝඨයිම්බර අතින් ජයසේනගේ හිස කඳින් වෙන් විය. මෙය දුටු සෙනසුරු දෙවියන් වළහෙකුගේ හිසක් ගෙන ජයසේනගේ හිසට සම්බන්ධ කර ඔහුට පණ දුන්නේ ය. එතැන් පටන් ජයසේන යක්ෂයා මහසොහොන් යක්ෂයා ලෙස හඳුන්වන්නට ගත්තේ ය.

මහ සොහොන් යකා (pinterest.com)

 

මූලාශ්‍රයයන්:

  1. Demonology and witchcraft in ceylon - Dandrius de silva gunaratna
  2. සිංහල ගැමි නාටකය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

කවරයේ පින්තූරය: lankapura.lk

Related Articles