Dhobi Ghat; ජීවිතය දිගු මඟකි, අහඹු නැවතුම් පිරුණ

සමහර බැඳීම් අපේ ජීවිත ඇතුළට රිංගලා, දේවල් බෙදා හදාගන්නෙ අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවෙන විදියට. ඒ වගේම තමයි, සමහර සම්බන්ධකම් අපි නොහිතන, නොපතන තැන්වල දි අපට මඟහැරිලා යන්නෙත් ඉතාම අනපේක්ෂිතව. සරලවම පැහැදිළි කළොත්, අපි ගෙවන මේ ජීවිතේ තනිකරම හමුවීම් සහ වෙන්වීම්වලින් පිරුණු අහම්බයක්.

ඒ වගේ හමුවීම්, වෙන්වීම්, සහ මඟහැරීම් අතරෙ හුදෙකලා වුණු ජීවිත කිහිපයක් ගැන කියන හින්දි චිත්‍රපටයක් තමයි Dhobi Ghat කියන්නෙ. විසිරුණු දිනසටහන් ගොන්නකින් අහඹු විදියට තෝරගත්ත පිටු කිහිපයක් කියවනවා වගේ හැඟීමක් හිතට දැනෙන Dhobi Ghat ගැනයි මේ සටහන.

තදබදයක හුදෙකලාව

චිත්‍රපටයේ පසුතලය තමයි, හුස්ම හිරවෙන තරම් තදබදයක් සහිත මුම්බායි නගරය. ඒක ඇතුළෙ ජීවත්වෙන එකිනෙකට වෙනස් සමාජ සහ සංස්කෘතික පසුබිම් සහිත ජීවිත කිහිපයක් එක්කයි චිත්‍රපටය පුරාම අපට ගනුදෙනු කරන්න වෙන්නෙ. ඒ හැම චරිතයක්ම එකිනෙකාට සම්බන්ධ යි, තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව. අරුන්, ෂායි, මුන්නා, සහ යස්මින් තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත. ඊට අමතරව චිත්‍රපටියේ අස්සක් මුල්ලක් නෑර බර අඩි තියමින් එහා මෙහා ඇවිදින අනෙක් ප්‍රධානම චරිතය තමයි කිටි කිටියේ තදවෙලා ඇහිරුණු මුම්බායි නගරය.

rottentomatoes.com

අරුන් කියන්නෙ හුදෙකලා, සංක්‍රමණික ජීවිතයක් ගෙවන, වැඩි කතාබහක් නැති චිත්‍ර ශිල්පියෙක්. තමන්ගෙ චිත්‍ර ප්‍රදර්ශනයක දි එයාට මුණගැහෙනවා ෂායි කියන තරුණියව. ෂායි බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්.  නිව්යෝර්ක්වල ඉඳලා බොම්බායට ඇවිත් තමන්ගෙ පර්යේෂණ ව්‍යාපෘතියක වැඩකරමින් ඉන්න අතරෙ යි එයාට අරුන්ව මුණගැහෙන්නෙ. දේවල් සිද්ධවෙන විදිය සහ ජීවිතේ ගලාගෙන යන රටාව වෙනස් කරගන්නයි ෂායිට ඕන. ඒ වෙනස් හුස්මක් ගැනීමේ අවශ්‍යතාව එයා පිරිමහගන්නෙ කැමරාවකුත් එල්ලගෙන මුම්බායි නගරය පුරා කරක්ගැහීමෙන්. මුන්නා කියන, නළු පිස්සුව ඉහට ගහපු තරුණයාව ෂායිට මුණගැහෙන්නෙත් ඔය අතරෙ.

මුන්නා; එහෙමත් නැත්නම් සොහයිබ්, දවල්ට රෙදි අපුල්ලන්නෙක්. රෑට නගර සභාවෙ මීයො මරන්නෙක්. ඊට අමතරව පොහොසත් ගෙවල්වල ජීවත්වෙන නෝනලාගෙ වෙන වෙන අවශ්‍යතා වෙනුවෙනුත් පාවිච්චි වෙන්න සිද්ධවෙන මුන්නා තමයි ෂායිගෙ මුම්බායි මඟ පෙන්වන්නා වෙන්නෙ. නළුවෙක් වීමේ හීනය පරිස්සම් කරගන්න අසීමිතව දුක් විඳින මුන්නාගෙ හිතේ ෂායි ගැන ආදරයක් ඇතිවුණත් එයා ඒක හෙළිදරව් කරන්නෙ නැහැ. මොකද එයා දන්නවා අරුන් ගැන ෂායිගෙ හිතේ තියෙන දේවල්.

හතරවෙනි චරිතය ඉන්නෙ නවාතැනක් මාරු කරපු වෙලාවක අරුන්ට අහම්බෙන් ලැබෙන පුංචි වීඩියෝ කැසට් තුනක් ඇතුළෙ. එයා තමයි යස්මින්. පළවෙනි, දෙවෙනි, සහ තුන්වෙනි ලියුම විදියට නම් කරපු ඒ කැසට් තුන හරහා තමන්ගෙ කාත් කවුරුවත් නැති හුදෙකලා ජීවිතය විදාරණය කරන යස්මින්ගෙ කතාවත් ඉතාම අනුවේදනීය එකක්. කවදා හරි දවසක, කවුරු හරි බලයි ද, නැද්ද කියලා හරියටම නොදැන වුණත් එයා ඒ දේ කරන්නෙ හැම දෙයක්ම තිත්ත වුණු හුදෙකලාව දරාගන්න බැරිකමට.

ජනාකීර්ණ මුම්බායි නගරය ඇතුළෙ මේ චරිත එකිනෙකාට මුණගැහීම, එකිනෙකාව මඟහැරගැනීම, සහ එකිනෙකාව බෙදාහදාගැනීම තමයි චිත්‍රපටය පුරාම අපට දකින්න ලැබෙන්නෙ. ආත්මාර්ථය සහ පරාර්ථය වගේම ආදරය සහ විරහවත් අඩුවක් නැතුව දැනෙන Dhobi Ghat චිත්‍රපටය කෙළවර වෙන්නෙ බැඳීම් සහ මිදීම්වලින් පිරුණු අපේම ජීවිත ගැනත් සියුම් වේදනාවක් හිතට එකතුකරමින්.

rottentomatoes.com

පිරිවර සහ මෙහෙවර

2011 නිර්මාණය වෙන වෙන Dhobi Ghat චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව කිරන් රාඕ. ජනප්‍රිය ඉන්දියානු වාණිජ සිනමාවෙන් මිදුණු, සීමිත පිටපත් ප්‍රමාණයක් තිරගත වෙන Art House චිත්‍රපටයක් විදියට යි එයා තමන්ගෙ චිත්‍රපටය නිදහස් කරන්නෙ කරන්නෙ. හැබැයි අමීර් ඛාන්, කිරන් රාඕ සම නිෂ්පාදනයක් විදියට තිරගත වුණු Dhobi Ghat සාපේක්ෂව සැලකිය යුතු ජනප්‍රියත්වයක් අත්පත් කරගන්න සමත් වුණා.

නැටුම්, ගැයුම්වලින් වගේම දුෂ්ටයො, වීරයො, සහ අහිංසකාවියන්ගෙන් පිරුණු සාම්ප්‍රදායික බොලිවුඩ් සිනමා ආකෘතිය වෙනුවට සැබෑ ජීවිතයේ සියුම් පුද්ගල මනෝභාවයන් එක්ක ඇත්ත ගනුදෙනුවක් සිද්ධකරන Dhobi Ghat වගේ චිත්‍රපට ගණනාවක් ගෙවුණු අවුරුදු කිහිපය පුරා අපට දකින්න ලැබුණා. ඉන්දියානු වාණිජ සිනමාවේ නිතර දෙවේලේ දකින අති රමණීය රූපරාමු වෙනුවට මුම්බායිවල කටුක, කලබලකාරී, අවලස්සන බව ඇට මිදුළුවලටම දැනෙන ආකාරයේ රූපරාමු පෙළක් තමයි අපට Dhobi Ghat චිත්‍රපටයේ හැම තැනකම වගේ දකින්න ලැබෙන්නෙ. ඒ කැමරාකරණය සහ රූප සංරචනය චිත්‍රපටයේ පිටපතට සහ කතා තේමාවට කරන සාධාරණය සුළුපටු නැහැ. Dhobi Ghat චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය තුෂර් කාන්ති රේ.

අධ්‍යක්ෂිකා කිරන් රාඕ (facebook/dhobighatfilm)

රංගන දායකත්වය ගැන කතා කළොත්; විශේෂයෙන්ම අමීර් ඛාන් වගේ වාණිජ සිනමාවේ අති සාර්ථක දැවැන්තයෙක් Dhobi Ghat වෙනුවෙන් දක්වපු දායකත්වය අමතක කරන්න බැහැ. ජනප්‍රිය සිනමාව එක්ක වගේම Art House සිනමාව එක්කත් හරි හරියට හැප්පෙන්න පුළුවන් එහෙම රංගන ධාරිතාවයක් සහිත ශිල්පීන් හරි අඩුයි. ඊට අමතරව මොනිකා ඩෝග්‍රා (ෂායි), ප්‍රතීක් බබ්බර් (මුන්නා) සහ ක්‍රිතී මල්හෝත්‍රා (යස්මින්) කියන ශිල්පීනුත් Dhobi Ghat චිත්‍රපටයට උපරිම සාධාරණත්වයක් ඉටු කරනවා.

චිත්‍රපටයේ අමතක කරන්න බැරි අනිත් වැදගත්ම කාරණය තමයි සංගීතය. බටහිර සහ ඉන්දියානු සංගීත සම්ප්‍රදායන් එකිනෙක මුහු කරමින් Gustavo Santaolalla නිර්මාණය කරන ඒ සංගීතය වැඩ කරන්නෙ චිත්‍රපටය හරහා මුණගැහෙන ජීවිතවල සමාජ, සංස්කෘතික වටපිටාවන් වගේම තවත් ගොඩක් දේවල් කියන කැඩපතක් විදියට. වැස්ස කඩාගෙන වැටෙන හඬ, මුහුදේ රළ බිඳෙන හඬ වගේම තදබදයෙන් පිරුණු, කිටි කිටියේ ඇහිරුණු මුම්බායි නගරයේ කටහඬත් සමහර අවස්ථාවල ඒ සංගීතයේම කොටසක් ද කියලා අපට හිතෙනවා.

බැඳීම්, මිදීම් සහ හුදෙකලා සැමරුම්

මුළු Dhobi Ghat චිත්‍රපටයම අපිළිවෙලට ලියැවුණු, විසිරුණු දිනසටහන් ගොන්නක එකතුවක්. ඒ දිනසටහන් ගොන්න කෙළවර වෙන්නෙත් ඒ වගේම අවසානයක් නැති අවසානයකින්. හරියට ට්‍රැෆික් ලයිට් එකක නිවි නිවී දැල්වෙන කහ එළියක් වගේ. කිසිම අවසන් විනිශ්චයකින් තොරව ඒ චරිත මුම්බායි නගරයේ තදබදය මැද ගිලිලා නොපෙනී යන්නෙ එතනින් එහාට සිද්ධ වෙන්න නියමිත කිසිම දෙයක් ගැන අදහසක්, හැඟීමක් අපට ඉතුරු කරලා නෙමෙයි. ඉතුරු වෙන එකම දේ, දරාගන්න අමාරු හිස්කමක් විතර යි.

rottentomatoes.com

චිත්‍රපටයේ එක තැනක යස්මින් එයාගෙ සහෝදරයට කියනවා මෙහෙම;

‘‘පරක්කු වෙන එක හොඳයි, කවදාවත් නෑවිත්ම ඉන්නවට වැඩිය…’’

දවසින් දවසම හුදෙකලා වෙන අපේ ජීවිතවලත් අහඹු මුණගැසීම් සහ වෙන්වීම් අනන්ත යි, අප්‍රමාණ යි. අපි කැමති වුණත්, අකමැති වුණත් ටික කාලයක් ළඟ රැඳෙන සැමරුම් ගොන්නක් හැර වෙන කිසිම දෙයක් ඒ බැඳීම් සහ මිදීම් කෙළවරේ අපට ඉතුරු වෙන්නෙ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒත් අපට බැහැ කිසිම මොහොතක ඒ බැඳීම් හරහා හටගන්න බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න.

තොරතුරු: www.imdb.com

www.rottentomatoes.com

Cover Image: www.facebook.com/pg/dhobighatfilm/photos

Related Articles