දෙවන ලෝක යුධ සමයේදී හිට්ලර් නම් ඒකාධිපති පාලකයා යුදෙව්වන් සංහාරය කරමින් ලොව පුරා භිෂණය පැතිරූ ආකාරය පිළිබඳව ප්‍රකාශ කෙරෙන ප්‍රධාන සාක්ෂියක් ලෙස ඈන් ෆ්‍රෑන්ක් නම් දහතුන් හැවිරිදි දැරියගේ දිනපොත හදුන්වා දිය හැකියි.

ඉතින්, ඈන් ෆ්‍රෑන්ක් පිළිබඳවත්, ඇය දිනපොත ලියූ ආකාරය හා එය ප්‍රකාශනයට පත් වීම පිළිබඳවත් විස්තර මෙම ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක්

ඈන් ෆ්‍රෑන්ක් (The Independent)

1929 වසරේ ජූනි මස 12 වනදා Frankfurtහි උපත ලබන ඈන් ෆ්‍රෑන්ක්ගේ පියා වන්නේ ව්‍යාපාරිකයෙක් වූ ඔටෝ ෆ්‍රෑන්ක්. මව එඩිත් හොලන්ඩර් නම් ගෘහනියක්. මාර්ගට් නමින් ඇයට වඩා අවුරුදු තුනක් වැඩිමහල් සොයුරියක්ද ඈන්ට විය. ෆ්‍රෑන්ක් පවුල ධනවත් යුදෙව් පරම්පරාවකින් පැවත ආ අතර පළමු ලෝක යුද්ධයත් සමඟ බංකොලොත් බවට පත්වෙනවා.

කුඩා කල සිටම ඉතා උද්‍යෝගිමත් දරුවෙක් වූ ඈන් තම පියා සමඟ නිරන්තරයෙන් කතාන්දර කීමට එකතුවෙනවා. තමන්ට ලේඛිකාවක් විය යුතු බවට පියාට පවසන්නේ මේ අතරයි.

හිට්ලර්ගේ ආගමනය සමඟ නෙදර්ලන්තයට බලාගිය ෆ්‍රෑන්ක් පවුල

ඈන් හා ඇගේ පවුල (innovia.wordpress.com)

පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය ලැබූ අමිහිරි පරාජයත් සමඟ එහි දේශපාලනික හා ආර්ථිකමය වටපිටාව ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ජාතික සමාජවාදය හෙවත් නාසිවාදයට බර වූ ජර්මනිය තුළ යුදෙව්වන්ට වන හිරිහැර හා අසාධාරණකම් ඉහළ යනවා. පළමු ලෝක යුද්ධය තුල දෙවරක්ම තුවාල ලැබූ සෙබලෙකු වූ හිට්ලර් මෙම සංකල්පයත් සමඟ ජර්මනිය තුළ ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට ක්‍රමක්‍රමයෙන් පත්වෙනවා.

පළමු ලෝක යුද්ධයේදී ජර්මනිය පරාජයට පත් වූයේ වර්සේල්ස් සාම ගිවිසුම හේතුවෙන් බව දිගින් දිගටම ප්‍රකාශ කරන හිට්ලර් “ඒ සඳහා ජර්මනියේ යුදෙව්වන් වගකිය යුතුයි” යන මතයේ එල්බගෙන සිටිනවා. මෙම සමයේ ජර්මනියේ තිබූ දේශපාලන අස්ථාවරත්වය හා තම ජනප්‍රියතාවය උපයෝගී කර ගන්නා හිට්ලර් 1993 වසරේ ජනවාරි 30 වනදා ජර්මනියේ අගමැතිවරයා බවට පත්වෙනවා.

හිට්ලර් බලයට පත්වන තුරු ජර්මනියේ සිටි ෆ්‍රෑන්ක් පවුල සිදුවන අසාධාරණකම් හා දුක් පීඩා වලින් ගැලවීම සඳහා 1933 වසරේදීම නෙදර්ලන්තය බලා පිටත් වෙනවා.

නෙදර්ලන්තයේ සැඟවී සිටීම

ඔවුන් සැඟවී සිටි නිවස ඉදිරිපිට වර්තමානයේදී ඉදිකර ඇති ඈන්ගේ ප්‍රතිමාවක් (The Times of Israel)

1939 වසරේදී හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟම දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. 1940 වසරේදී නාසි හමුදාව නෙදර්ලන්තයද ආක්‍රමණය කරන අතර හිට්ලර්ගේ යුදෙව් විරෝධී වැඩ පිළිවෙල නෙදර්ලන්තයේදීද ක්‍රියාත්මක වෙනවා.

යුදෙව් ජාතිකයන්ට වෙනම පාසල් හා සාප්පු වෙන් කෙරුණු අතර ඔවුන් අනෙකුත් ජනවර්ග වලින් වෙන් කර ගැනීමට කහ පැහැති තරු සලකුණක් පැළඳීම අනිවාර්ය විය. යුදෙව් විරෝධී ජර්මන් නීති රීති සියල්ලක්ම නෙදර්ලන්තයේද ක්‍රියාත්මක වූ අතර යුදෙව්වන් කුරිරු ලෙස වධකාගාර වල ඝාතනයට ලක් වෙනවා.

තවද ඈන්ගේ සහෝදරියට හිට්ලර්ගේ ගෙස්ටාපොවේ (නාසි ආරක්ෂක අංශය) නිලධාරීන් විසින් වරෙක කැඳවීමක් කරනවා. මෙලෙස ලැබෙන කැඳවීම්, අනිවාර්යෙන් මරණයේ පෙර නිමිත්තක් බව වටහා ගන්නා ඔටෝ ෆ්‍රෑන්ක් සිය පවුල සමඟ මරණයෙන් බේරී සිටීම සඳහා කාර්යාලයේ රහසිගත කාමරයක සැඟවෙනවා.

ඈන් ඇතුළු මුළු පවුලම අත්අඩංගුවට පත්වීම

නාසි හමුදාව (The Daily Beast)

ඈන්ගේ 13 වැනි උපන්දිනයේදී ඇයට ත්‍යාගයක් ලෙස ලැබුණු දිනපොත එදිනෙදා සිදුවීම් හා ජීවන තොරතුරු නිදහසේ ලියන්නට වෙන්නේ මාසයක් වැනි කාලයක් පමණයි. ඔවුන්ට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටීමට හේතු වූ බැවින් ඇය එහි හිට්ලර්ගේ යුදෙව් සංහාරය පිළිබඳව සිදුවීම් ලියා තබනවා.

සිය පියාගේ කාර්යාලයේ රහසිගත කාමරයේ රැදී සිටියදී පිටස්තර ලෝකයේ සිදු වන බොහෝ දෑ දන ගැනීමට ඔවුන් ගුවන් විදුලි යන්ත්‍රයක් භාවිතා කරනවා. එයින් විකාශය වූ බොහෝ තොරතුරු ඇය සිය දිනපොතේ සටහන් කරනවා.

කෙසේ හෝ 1944 වසරේ අගෝස්තු හතරවනදා ගෙස්ටාපෝ භටයන් විසින් ඈන් ඇතුළු පවුලේ සියළු දෙනා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගෙන වධකාගාර වලට රැගෙන ගිය පසු ඈන් හා ඇගේ සහෝදරිය බෙල්සන් වධකාගාරයේදී 1945 වසරේ මාර්තු මාසයේදී ටැයිෆස් උණ රෝගය වැළඳී මිය යනවා. මව කුසගින්නේ මියගිය අතර 1945 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත නිදහස්ව පැමිණීමට ඉතුරු වන්නේ ඈන්ගේ පියා පමණයි.

නිදහස්ව පැමිණි ඔටෝ ෆ්‍රෑන්ක් වෙත ඈන් විසින් ලියන ලද දිනපොත ඔහුගේ කාර්යාල සේවකයෙක් වන මීප් ගීස් විසින් භාර දෙනවා.

ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත

ඇයගේ දිනපොත (CNN.com)

ඈන්ගේ දිනපොත ඇරඹෙන්නේ ඇගේ 13 වන උපන් දිනය දවසේයි. එය අවසන් වන්නේ 15 වන උපන්දිනයෙන් ටික දවසකට පසුවයි. මුල් කාලයේදී යොවුන් වියේ තරුණියන්ට අවේණික විවිධ අත්දැකීම් ඉදිරිපත් කරන ඇය නාසින් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ තම දිනපොත යුද්ධය ආශ්‍රිත කරුණු වලින් පුරවනු ලබනවා.

වසර දෙකක් තිස්සේ තම පියාගේ කාර්යාලයේ රහසිගත කාමරයක සැඟවී සිටින අතරතුර බාහිර ලෝකයේ සිදුවන සෑම දෙයක් පිළිබඳව ඔවුන්ට සැඟවී සිටීමට ආධාර උපකාර කර පිරිස විසින් සැළකර සිටිනවා. ඈන් තම අවධානයට හසුවන සෑම දෙයක්ම තම දිනපොතේ සඳහන් කරනවා. යුද්ධය හමුවේ මිත්‍ර හමුදා පසු බසින බවත් ඈම්ස්ටඩෑම් නගරය විනාශ වී ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බවත් දක්වා තිබෙනවා. ඈන් ෆ්රෑන්ක් යම් දිනක ලේඛිකාවක් වීමේ අරමුණෙන් දිනපොතට උපමා කතා කිහිපයක් හා කෙටි කතා කිහිපයකුත් එකතු කරනවා.

දිනපොතේ විස්තර කෙරෙන වසර දෙකක කාලය තුළ නාසින්ගේ මහා මිනිස් සංහාරය පිළිබඳව භයානක හා සංකීර්ණ ලෙස විස්තර කර තිබෙනවා. 1944 වසරේ අගෝස්තු පළමු වෙනිදා කිසිදු විස්තරයක් නොමැතිව දිනපොත අවසන් වන අතර ඊට දින තුනකට පසුව ඇය අත්අඩංගුවට පත්වෙනවා.

දිනපොත සංශෝධනයට ලක්වීම හා ප්‍රකාශනය

ඈන් හා මාග්‍රට් සිහිවීමට නිර්මාණය කර ඇති ස්මාරකයක් (New Historian)

නිදහස් වී පැමිණි ඔටෝ ෆ්‍රෑන්ක් දිනපොත කියවා ඇතැම් ජේද කෙටිකර යොවුන් පරපුරට ගැලපෙන ලෙස සංශෝධනය කර තිබෙනවා. කාමරය පුරා විසිරී තිබූ අනෙකුත් සටහන් ආදිය මෙම පොතට ඔහු එකතු කරන්නේ නෑ. එලෙස සංශෝධනය කළ දිනපොත මුල්වරට ප්‍රකාශනයට පත් කරන්නේ 1947 වසරේදීයි. ලන්දේසි බසින් ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය පිළිබඳව ආරංචි වෙනත් රටවලටද පැතිරී යනවා.

ලොවපුරා අතිශය ජනප්‍රිය වූ මෙම කෘතිය විවිධ භාෂා වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය පැන නගිනවා. එහි පළමු පියවරක් ලෙස 1950 වසරේදී  එංගලන්තයේ වැලන්ටයින් මිචෙල් සමාගම විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. ඈන් ෆ්‍රෑන්ක්ගේ පියාගේ ඉල්ලීම මත මුල් කෘතියේ ඉවත් කරන ලද කොටස්ද නැවත ඉංග්‍රීසි කෘතියට ඇතුළත් කරනවා. නමුත් නව යොවුන් වියේදී පහළ වූ ලිංගික හැගීම් ඇයගේ අත් පිටපතේ සඳහන් වුවද ඉංග්‍රීසි පරිවර්තනයේදී ඒවා නුසුදුසු සේ සළකා ඉවත් කරනවා. එංගලන්තයේ හා ඇමරිකාවේදී ප්‍රකාශනය වීමත් සමඟම වැඩියෙන්ම අලෙවි වූ පොත් ලැයිස්තුවට මෙම ග්‍රන්ථය එකතු වෙනවා.

ජර්මන්, ඉතාලි, රුසියානු, ජපන්, ස්පාඤ්ඤ හා ග්‍රීක භාෂා වලට ඉතා ඉක්මණින් පරිවර්තනය වූ අතර මෙම පොත ඇසුරෙන් නිෂ්පාදනය වූ නාට්‍යට 1955 වසරේදී පුලිස්ටර් සම්මානය හිමිවෙනවා. කෘතිය ආශ්‍රයෙන් චිත්‍රපටයටක්ද බිහි වෙනවා. මෙහිදී ඈන්ගේ චරිතය නිරුපණය කළ ෂෙලී වින්ටර්ට ඔස්කාර් සම්මානය පිරිනැමෙනවා.

ඈන්ගේ දිනපොතට එල්ල වූ චෝදනා

ඈන්ගේ දිනපොත ක්‍රමයෙන් ජනප්‍රිය වන විට, දෙවැනි ලෝක සංග්‍රාමයේදී නාසිවාදීන් විසින් කරන ලද මහා පරිමාණ මිනිස් ඝාතනයන් පිළිබඳව ප්‍රබල සාක්ෂියක් විය. මෙම ග්‍රන්ථය තුළින් ඝාතනයට ලක්වූ යුදෙව් ජාතිකයන් මෙන්ම යුරෝපියානු ජාතිකයන් පිළිබඳවද කියැවෙනවා.

මෙම ග්‍රන්ථය මගින් මෙතෙක් සමාජයේ උද්දීපනය වී තිබූ නාසි විරෝධය හා ෆැසිස්ට්වාදය ප්‍රතික්ෂේප කිරීම තවදුරටත් වර්ධනය වෙනවා. මේ හේතුවෙන් ජාතිවාදී හා නව නාසිවාදී පිරිස් හුදෙක් මෙය ප්‍රබන්ධයක් බවත්, ඈන් ෆ්‍රෑන්ක් නමින් කෙනෙකු නොසිටි බවටත් මෙය විශාල ප්‍රෝඩාවක් යැයි ප්‍රචාරයක් ගෙන යන්නට වුණා. තවද එම පුද්ගලයන් විසින් ඒ බව සටහන් කර පත්‍රිකා බෙදා හරින්නට පටන් ගන්නවා.

නමුත් 1963දී අත්අඩංගුවට ගත් කාර්ල් සිල්බරල් නම් නාසි හමුදාවේ නිළධාරියා තමන් ඇතුළු භට කණ්ඩායමක් විසින් ඈන් ෆ්‍රෑන්ක් පවුල අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කිරීමත් සමඟ එම ප්‍රචාර බොරු බව තහවුරු වෙනවා.

තවද ඔටෝ ෆ්‍රෑන්ක් විසින් මුද්‍රණය සඳහා භාර නොදුන් ඈන්ගේ සටහන් සහිත කඩදාසි නෙදර්ලන්තයේ යුද්ධ ලියකියවිලි පිළිබඳ ආයතනයට බාරදෙනවා. ඒවා ෆොරෙන්සික් විශ්ලේෂණයට ලක් කෙරුණු අතර 1986දී නිකුත් වූ එහි ප්‍රතිඵල වලට අනුව එම අත් අකුරු ඈන්ගේ බවත් කඩදාසි, මැලියම් හා තීන්ත ඈන් ජීවත් වූ කාලයේ ඒවා බවත් සනාථ කෙරෙනවා.

කවරයේ ජායාරූපය – World’s Children’s Prize

මුලාශ්‍ර – හිට්ලර් නම් පොත් ගුල්ලා සහ වෙනත් අය – උබේසේකර හෙන්නායක

              ISBN 978-955-671-205-6