Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හීලෑ කිරීමට අපහසු ඩින්ගෝ සුනඛයන්

සුරතල් සතුන් යනු අපි සෑම දෙනාගේම නිවසක ප්‍රධාන තැනක් ගන්නා කෙනෙකි. බොහෝ විට අප සුරතල් සතෙකු ලෙස තෝරා ගන්නේ බල්ලෙකු හෝ පූසෙකු වේ. බල්ලන් යනු අනෙක් සුරතල් සතුන්ට වඩා මිනිසාට සමීප හා ලෙන්ගතු සුරතලෙකි. අප කුමන සෙනඟක් මැද සිටියද බල්ලා තමාගේ ස්වාමියා ඉවෙන් හඳුනා ගනී. ගෙදර ආරක්ෂාව ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බල්ලා සොර සතුරෙකු හෝ නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණි විට බුරන්නට පටන් ගන්නේ ස්වාමියාට එය ඇඟවිමට යි.

ලෝකය පුරා බොහෝ සුනඛ වර්ග ජීවත් වන අතර සෑම සුනඛයෙකුම සුරතලුන් ලෙස ඇති කිරීමට සුදුසු නොවේ. මේ ලිපිය මඟින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රචණ්ඩ සුනඛ වර්ගයක් වන ඕස්ට්‍රේලියාවේ ඩින්ගෝ සුනඛයින් පිලිබඳ කරුණු කීපයක් ඔබට ගෙන ඒමට යි.

මොවුන් හැඳින්වෙන වෙනත් නම්

sciencemag.org

ඩින්ගෝ සුනඛයින් විවිධ නම් වලින් හැඳින්වේ. ඒවා පහත පරිදි දැක්විය හැක.

  • ඕස්ට්‍රේලියානු ඩින්ගෝ (Australian Dingo)
  • ඕස්ට්‍රේලියානු ස්වදේශික සුනඛයෝ(Australian Native Dog )
  • මලිකි(Maliki)
  • වරිගල් (Warrigal)
  • නොග්ගුම් (Noggum)
  • මිරිගුන්ග් (Mirigung)
  • බෝලොමෝ( Boolomo)

ඉතිහාසය හා ජීවත්වන ප්‍රදේශ

star2.com

ඩින්ගෝ කැලෑ බලු විශේෂයක් ලෙස හැඳින්විය හැක. මොවුන් අවුරුදු 3500ක පමණ සිට ඕස්ට්‍රේලියානු මනුෂ්‍ය වාසයක් නොමැති කැලෑ ප්‍රදේශ වල ජීවත් වී ඇත. මොවුන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට පටන් ගෙන ඇත්තේ සුදු ජාතිකයින් පැමිණීමට පෙර සිටි ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් විසිනි. පැරණිම ඩින්ගෝ පොසිලය ක්‍රිස්තු පුර්ව 1450ට පමණ අයත් බව සැලකේ.

සුනඛයන්ගේ මුතුන්මිත්තන් ලෙස ද ඩින්ගෝ සුනඛයින් හඳුන්වා ඇත. ඩින්ගෝ සුනඛයින් පිලිබඳ මුලින්ම නිසි හඳුනා ගැනීම කරනු  ලැබුවේ සුනඛයින් පිලිබඳ ලියු William Damphier නමැති කපිතාන් වරයා විසිනි. ඒ 1699 වර්ෂයේ දිය.

ශාරීරික ලක්ෂණ

a-z-animals.com

කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වෙනස් වන ඇස් ඇති මොවුන් ඉතා හොඳ පෙනිමකින් යුතු වේ. ඊට හේතුව මොවුන්ගේ ඇස් තීව්‍ර වීමයි. වටකුරු රවුම් හැඩයක් ගන්නා මොවුන්ගේ කන් ඉහලට එසවී සෘජුව පිහිටා ඇත. මොවුන්ගේ නැට්ට අනෙක් සුනඛයින්ට සාපේක්ෂව දිගින් වැඩි වේ. එය ලෝම වලින් හොඳින් වැසි ඇති නිසා පිරිපුන් බවක් පෙන්වයි. මොවුන්ගේ පසු පස පාද දෙක තරමක් පිරිපුන් බවින් අඩු වන අතර එය ශක්තිමත් පේශින්ගෙන් යුතු වේ. සමේ ලෝම වැස්ම, එහි ඝනත්වය, දිග ආදී කරුණු දේශගුණය සමඟ වෙනස් වේ. සාමාන්‍යයෙන් එය කහ පැහැයට හුරු දුඹුරු පැහැයක්( Yellow Ginger) ගනී. සෑම ඩින්ගෝ කෙනෙකුගේම පාද වල හා වලිගයේ උඩ කොටසේ සුදු පැහැති ලෝම දැකිය හැක.

අනෙක් සුනඛයන්ට සාපේක්ෂව බැලීමේදී ඩින්ගෝ සුනඛයන්ට දිගැති රදනක දත් පිහිටයි. ඔවුන්ගේ සාමාන්‍ය බර රාත්තල් 50 සිට 70 අතර වේ. මොවුන් අඟල් 19 සිට 23 දක්වා උස මට්ටම් වලින් දැකිය හැක.

ආයු කාලය

මොවුන් සාමාන්‍යයෙන් වසර 20 කට වඩා කාලයක් ජීවත් වේ. මොවුන් වරකට පැටවුන් 1- 10ත් ප්‍රමාණයක් අතර බිහි කරයි.

හැසිරීම

australian-wildlife.com

ඩින්ගෝ සුනඛයින් සාමාන්‍යයෙන් මිනිසුන්ට බයක් දක්වයි. නමුත් මොවුන් මිනිසුන් ගැවසෙන පාරවල්, උද්‍යාන, අර්ධ නගරාසන්න ප්‍රදේශ වල ගැවසී ඇති බවට වාර්තා පවතී. මොවුන් මනුෂ්‍යයින් සමඟ ඇසුරට වැටුණු පසු හීලෑ සතුන් කොට්ටාශයක් බවට පත් වේ. පැටවුන් ඉපදුන දවසේ සිට මිනිසුන් විසින් ඇතිදැඩි කර ගතහොත් නිරන්තරයෙන් බිරීම හැරුණු විට ඔවුන් අනෙකුත් ගෘහාශ්‍රිත සුනඛයන්ට සමාන වේ.

ඩින්ගෝ සුනඛයින් නිසා ඉදි වූ වැට  

ඩින්ගෝ සුනඛයින් පැමිණීම වැලක්වීමට අග්නිදිග ඕස්ට්‍රේලියාවේ වැටක් ඉදි කිරීමට තීරණය කරන ලදී. මෙම වැට ලෝකයේ දිගම ඉදිකිරීම් වලින් එකක් ලෙස සැළකේ. මෙය මුලින්ම 1880 කාලයේ දී හාවන්ගෙන් ඇති වූ කරදර වැලැක්වීම සඳහා ඉදි කළ වැටවල් සමූහයකි. 1900 මුල කාලයේදී මේවා අලුත්වැඩියා කර ඩින්ගෝ සුනඛයින් සඳහා භාවිත කරන ලදී. 1940 දි මෙම සියලු ඉදි කිරීම් එකතු කර විශාල එක වැටක් සකස් කර ඇත. මෙය වරක් කිලෝමීටර් 8614ක් දක්වා දික් කළ අතර පසුව එය කිලෝමීටර් 5614ක් දක්වා අඩු කරන ලදී. මෙය පවත්වාගෙන යාමට වසරකට ඕස්ට්‍රේලියානු රජයට ඔස්ට්‍ර්ලියානු ඩොලර් මිලියන 10ක් පමණ වැය වේ.

ඩින්ගෝ සුනඛයන් සුරතලුන් ලෙස තබාගත හැකිද?

rebrn.com

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල වන සතුන් ඔවුන්ගේ නිජ භුමි වලින් ඉවත් කර සුරතලුන් ලෙස නිවෙස් වල ඇති කිරීම තහනම්ය. ඒ නිසා එම ප්‍රාන්ත වල ඩින්ගෝ සුනඛයින් නිවෙස් වල ඇති කිරීමට විශේෂ අවසර ලබා ගැනීමක් හා යම් යම් අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමක් කළ යුතු වේ. ඇතැම් ප්‍රාන්ත වල අවසරයක් මත වුවද මෙම සුනඛයින් සුරතලුන් ලෙස ඇති කළ නොහැක. අවසරයක් නැතිව ඩින්ගෝ සුනඛයින් නිවෙස් වල ඇති කළ හැකි එකම ප්‍රදේශය වන්නේ New South Wales ය.

New South Wales ප්‍රාන්තයේ ඩින්ගෝ සුනඛයින් සුරතලුන් ලෙස ඇති කිරීමට ඉඩ දීමට පදනම වන්නේ අනෙක් සුනඛයන්ට ඇති වරප්‍රසාද ඩින්ගෝ සුනඛයින්ට ද ලබා දිය යුතුය යන්නයි. නමුත් New South Wales ප්‍රාන්ත රජයට අනුව ඩින්ගෝ සුනඛයෙකු ඇති කිරීමට අවශ්‍යතා කීපයක් සපුරා තිබිය යුතුය. උදාහරණ ලෙස මීටර් 220 හෝ ඊට වැඩි බිම් ප්‍රමාණයක් තිබීම, දැළක් සහිත වැටක්, වැට සකසා ඇති කම්බි මිලිමීටර් 3.15 ක ඝනත්වයෙන් පැවතිය යුතු වීම, මෙම වැට සෙන්ටිමීටර් 30ක් පොළව අභ්‍යන්තරට සවි වී තිබිය යුතු වීම, වැටෙන් ආවරණය වී ඇති කොටස තුළ සුනඛයින්ට නැගීම සඳහා විශාල ගල්, සුනඛයින්ට නිදා ගැනීමට ප්‍රදේශයක් පැවතීම  ආදිය ඉන් කීපයක් වේ.

කවරයේ පින්තුරය – euanritchie.org

Related Articles