Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදය ලබාගත හැකි ආකාර මොනවාද?

කසාදයක් සිදු කළ පසු, විවිධාකාර හේතු මත ඔවුන්ට එකට ජීවත් විය නොහැකි  නම්, උසාවියකින් දික්කසාදයක් ඉල්ලීමට පුළුවනි. උඩරට නීතිය හා මුස්ලිම් නීතිය යටතේ ඉක්මනින් හා පහසුවෙන් දික්කසාදය ලබා ගත හැක. උඩරට නීතිය යටතේ දෙදෙනාගේම කැමැත්ත තිබේ නම් හෝ ඔවුන්ට සතුටින් එකට ජීවත් විය නොහැකි නම් දික්කසාදයක් ලබාගත හැක. මේ සදහා උසාවියේ නඩුවක් පැවරිමට උවමනා නොවේ. පාලක නිලධාරියෙකු ඉදිරිපිට දික්කසාද වීමට හේතු ඉදිරිපත් කොට දික්කසාදය ලබාගත හැක. මුස්ලිම් නීතියේ පිරිමියාට “තලක්” යන වචනය කියා භාර්යාව දික්කසාද කළ හැක. මෙහිදීද උසාවියේ නඩුවක් පැවරීමට උවමනා නැත.

එහෙත් සාමාන්‍ය නීතියට අනුව විවාහගත කෙනෙක්ට දික්කසාදය ලබා ගැනීම එතරම් ලේසි නැත. ඒ සදහා උසාවියේ නඩුවක් පවරා “වරද” ඔප්පු කළ යුතුය. සාමාන්‍ය නීතිය යටතේ  ප්‍රධාන වැරදි තුනක් මත දික්කසාද නඩුවක් ගොනුකළ හැක. ඒවා නම්,

  • අනාචාරය,
  • ද්වේශ සහගත අතහැර යාම, සහ
  • විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය.

අනාචාරය

කසාද යුවළගෙන් කෙනෙකු හා පිට පුද්ගලයෙක් අතර කැමැත්තෙන් සිදු වෙන ලිංගික සේවනය අනාචාරය ලෙස හඳුන්වයි. මෙම අනාචාරය එක් වරක් පමණක් සිදු වුවත් එය දික්කසාදය ලබා ගැනීමට වරදක් ලෙස යොදාගත හැක. මෙහිදී අනාචාරය යන කරුණ “සාධාරණ සැකයකින් තොරව” ඔප්පු කර යුතුය. ජෝන්ස් එදිරිව ප්‍රෙස්ටන් ජෝන්ස්  යන නඩුවේදී විනිසුරුවන් කියාසිටියේ අනාචාරය බරපතල වැරද්දක් ලෙස සලකන නිසා ඒ චෝදනාව සෑහෙන සැකයකින් තොරව ඔප්පු කළ යුතු බවයි. මෙහිදී එම පුද්ගලයා අනාචාරය සිදු කල බවට උසාවිය සෑහීමට පත්වෙන තරමට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

එහෙත් වර්තමානයේ විනිසුරුවරුන් බොහෝදෙනෙක් කියාසිටින්නේ අපරාධ නඩුවක් ඔප්පු කිරීමේදී තරම් බරපතල ලෙස අනාචාරය ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය නැති බවයි.වරක් වීරමන්ත්‍රී විනිසුරුතුමා කියා සිටියේ අපරාධ නඩුවක තරම් බරපතල ලෙස අනාචාරය ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවයි. අනාචාරය පැහැදිලි සාක්ෂි යොදාගෙන ඔප්පු කිරීම ප්‍රමාණවත් බව විනිසුරුතුමාගේ මතය විය.

සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුව අනාචාරය නිසා දික්කසාද නඩුවක් පවරන ස්වාමි පුරුෂයාට, තම බිරිද සමග අනාචාරයේ යෙදුන පුද්ගලයා නඩුවේ පාර්ශවයක් (සම විත්තිකරු) කිරීම අවශ්‍ය විය. නමුත් විශේෂ හේතු දක්වමින් කෙනෙකුට මෙම වගකීමෙන් නිදහස් විය හැකි විය. උදාහරණයක් ලෙස බිරිඳ ගණිකාවක් නම් ඇය සමග අනාචාරයේ යෙදුන කෙනෙක් ස්වාමි පුරුෂයාට සොයාගැනීමට අපහසු විය හැක. එවැනි අවස්ථාවලදී තම බිරිඳ සමඟ අනාචාරයේ යෙදුන පුද්ගලයා නඩුවේ පාර්ශවයක් කිරීම අවශ්‍ය නොවීය. පෙර පැවති සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ අනාචාරයේ යෙදුනු පුරුෂයෙක් සමවිත්තිකරු කර හැකි වුවද කාන්තාවක් නඩුවක සම විත්ති කරු කිරීමට නොහැකි විය. නමුත් නීතයේ වූ සංශෝධන කීපයකට පසු වර්තමාන නීතිය අනුව අනාචාර නඩුවකදී කාන්තාවක් ද  සමවිත්තිකරු කිරීමට හැකියාවක් තිබේ.

ද්වේශ සහගත අතහැර යාම

Expresstory.com

ද්වේශ සහගත අතහැර යාම කොටස් දෙකකි. එනම්,

1.සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම

2.අනුමිත ද්වේශ සහගත අතහැර යාම වේ.

සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම යනුවෙන් අදහස් කරන්නේ “ අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාමයි.

ඒ වගේම අනුමිත ද්වේශ සහගත අතහැර යාම යනු “ අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර යන කලත්‍රයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.

ද්වේශ සහගත අතහැර යාම පෙන්වීමේදී කරුණු දෙකක් ඔප්පු කල යුතුය.

  1. කායික වශයෙන් දෙපක්ෂය වෙන්වීම.
  2. අතහැර දැමීමේ චේතනාව.

මෙම කරුණු දෙකෙන් එකක් පමණක් ඔප්පු වන විට ද්වේශ සහගත අතහැර යාම සිදුවන්නේ නැත. දෙදෙනාම එක නිවසක ජීවත් උනත් වෙන්වීමේ කරුණු ඔප්පු කර හැක. මෙහිදී නිවස අතහැර නොදැමුවත් එකට ජීවත් වීම (ලිංගික සංවාසය) අතහැර දමා තිබිය යුතුය. මෙසේ එකට ජීවත් වීම අතහරින පුද්ගලයා “පලායන්නා” ලෙස හැදින්වේ. ශාරීරික වශයෙන් දෙපක්ෂය වෙන්වීම හා අතහැර දැමීමේ චේතනාව යන දෙකම ඔප්පු විය යුතු නිසා ලිංගික සංවාසය අතහැර දැමීමේ කරුණ මත පමණක් ද්වේශ සහගත අතහැර යාම ඔප්පු කර නොහැක.

විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය

සාමාන්‍ය ආකාරයට සම්පුර්ණ ලෙස ලිංගික සේවනයේ යෙදීමට බැරි කම අසාධ්‍ය බෙලහීනත්වය ලෙස නීතියේ හැදින්වේ. විවාහක අයෙකුට මේ කරුණ මත දික්කසාදයක් ඉල්ලාසිටිය හැක. දරුවන් බිහිකිරීමට බැරිකම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් ඒවා ලිංගික බෙලහීනත්වය ඔප්පු කිරීමට යොදාගත හැක. මෙහිදී වෛද්‍ය පරීක්ෂණයක් යොදාගෙන ලිංගික බෙලහීනත්වය ඔප්පු කිරීමට පුළුවනි.

විවාහ ලියාපදිංචි කිරීමේ අාඥා පනතට අනුව කසාදයෙන් පසුව ඇති වන අසාධ්‍ය ලිංගික බෙලහීනතාවය මත දික්කසාදයක් ලබාගැනීමට නොහැක. එය විවාහය වෙන අවස්ථාවේ පැවතිය යුතුය.

අධිකරණය මගින් ලබාදෙන වෙන්වීමේ නියෝගය

Floridalicenseexpress.com

දික්කසාදයක් ලබාගැනීමට පෙර කලින් විවාහක දෙදෙනෙකුට අධිකරණයෙන් වෙන්වීමේ නියෝගයක් ලබා ගත හැක. මෙම නියෝගය නිකුත් කරන්නේ අවුරුදු දෙකක් සදහාය. උසාවියෙන් වෙන්වීමේ නියෝගයක් ලබා ගත් පිරිමියෙකුට හෝ ගැහැණියකට, අවුරුදු දෙකකට පසු උසාවියට ඉල්ලීමක් කරමින් තමා අනෙක් කෙනා සමග එකට ජීවත්වීම පටන් නොගන්නා බව ඔප්පු කරමින් වෙන්වීමේ තීන්දු ප්‍රකාශය දික්කසාදයකට මාරු කර ගත හැක.

අධිකරණය මගින් ලබාදෙන වෙන්වීමේ නියෝගයේ ඇති අවාසිය වන්නේ එම නියෝගය ලබා ගැනීමට හැකි වන්නේ දික්කසාදයක් ලබාගැනීමට අදාල සීමිත හේතුන් ඔප්පු කිරීමෙන් පමණි. එනම් මේ සදහා අනාචාරය, ද්වේශ සහගත අතහැර යාම, විවාහ වන විට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය ඔප්පු කිරීමෙන් පමණි. මේ නිසා වෙන්වීමේ නියෝගය ඉබේම දික්කසාදයකට මාරු කර ගත හැකි නමුත්, එයින් ඇත්ත වශයෙන්ම පාර්ශවයන්ට යහපතක් සිදුවී නැත. මෙයට හේතුව වන්නේ වෙන්වීමේ නියෝගයක් හා දික්කසාදයක් ලබාගැනීම යන කරනා දෙකේදීම එකම හේතුන් ඔප්පු කිරීමට සිදුවීමයි.

ලංකාව තුළ අනාචාරය වැනි වැරදි වර්ධනය වීමට ඒක හේතුවක් ලෙස දික්කසාදය ලබාගැනීමේ ක්‍රමයේ අසීරුකම දැක්විය හැක. දික්කසාදය ලබාගැනීමේ ක්‍රමය සරල කිරීමෙන් සමාජය තුල පවතින විවාහය සම්බන්ධ බොහෝ ගැටළු මග හරවා ගත හැකිවන බව අපේ අදහසයි.

කවරයේ පින්තුරය:  muslimmarriageguide.com

මුලාශ්‍ර:

1 http://www.helplinelaw.com/article/sri%20lanka/167- FAMILY LAWS SRI LANKA

2 http://ijbel.com/wp-content/uploads/2016/09/K10_45.pdf- RETHINKING THE GROUNDS FOR DIVORCE IN GENERAL LAW OF SRI LANKA: A COMPARATIVE ANALYSIS

3 Block II, Family law, Open University Sri Lanka.

4 Ponnambalam, Shirani. Law and the Marriage Relationship (Stamford Lake Press:1987)

Related Articles