Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබත් සිග්නල් දාන්නේ වැරදියටද?

NO Hand Signal කියලා හරි ආඩම්බරයෙන් වාහනේ පසුපස ස්ටිකර් අලවාගෙන ගියාට අපේ රියදුරන් සිග්නල් ලයිට් දාද්දී එහෙම නැත්නම් විදුලි සංඥා ලාම්පු ක්‍රියාත්මක කිරීමේදී නොදැන හෝ හිතා මතාම කරන වැරදි වගේම ලංකාවේ සම්මතයක් ලෙස වැරදි කළත් අන්තර්ජාතිකව නිවැරදිව විදුලි සංඥා ලාම්පු ක්‍රියාත්මක කරන පිළිගත් ආකාරය ගැන කතා කරන එක කාලීනයි කියලා අපට හිතුණා .

ඉතින් ශ්‍රී ලංකාවේ රියදුරන් සංඥා ලාම්පු භාවිතයේදී කරන වැරදි කිහිපයක් පිළිබඳවයි අද ලිපියෙන් අපි විස්තර ගෙන එන්නට හිතුවේ. තවත් එකතු වෙන්න දේවල් තියනවනම් comment එකකින් ඒ බව සටහන් කරන්නත් ඔබට පුළුවන්.

ඇයි මෙතරම් සංඥා ලාම්පු වැදගත්

ඔබ දන්නවාද ලෝකයේ අඩු වයසින් මිනිසුන් මියයෑමට ප්‍රධාමන හේතුව රථ වාහන අනතුරු බව? (The JMH Law Firm)

ඔබ දන්නවාද ලෝකයේ අඩු වයසින් මිනිසුන් මියයෑමට ප්‍රධාමන හේතුව රථ වාහන අනතුරු බව? (The JMH Law Firm)

රියදුරන්ට තම වාහනය ක්‍රමානුකූලව, නිවැරදිව ධාවනය කිරීම උදෙසා විශාල සාධක ප්‍රමාණයක් බලපානවා. ඒ අතරින් මහා මාර්ග පද්ධතිය ක්‍රමානුකූලව තිබීම, රියදුරන්ගේ හා පදිකයන්ගේ නීති ගරුක බව හා මනා හික්මීම මෙන්ම අපි මෙහිදී ඉදිරිපත් කරන්නට යන රියදුරන් අනෙකුත් රියදුරන් වෙත නිවැරදිව ලබා දෙන සංඥා අනතුරු අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා.

මිනිසෙක් රියදුරෙකු ලෙස ක්‍රියා කිරීම එදිනෙදා ජීවිතයේ සංකීරණ අවස්ථාවක් ලෙස සළකන්නට පුළුවන්. ඉතින් මේ සංකීරණ අවස්ථාවේදී අන් රියදුරන් හට තමන් කිරීමට සැරසෙන දෙය සංඥා මගින් ලබා දී දැනුවත් කිරීම අනෙක් රියදුරන්ගේ, පදිකයන්ගේ, මගීන්ගේ හා තමන්ගේම ආරක්ෂාවට හේතු වෙනවා.

ඉතින් සංඥා ලාම්පු ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් නීතින් කිහිපයකුත් තිබෙනවා. ඉන් සමහරක් ශ්‍රී ලංකාවේ හොදින් භාවිතා කළත් සමහරක් සංඥා ලාම්පු දල්වා ශ්‍රී ලාංකික රියදුරන් අනෙකාට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන අදහස ජාත්‍යන්තර නීතින් වලට සම්පුර්ණයෙන්ම පටහැනි බව කියන්නට පුළුවන්.

දකුණට හා වමට හැරවීමේ සංඥා ලාම්පු භාවිතයේ වැරදි

ඔබ දන්නවාද රථ වාහන අනතුරු වලින් 80%ක් සිදු වන්නේ රියදුරාගේ වරදින් බව? (AS Auto Parts Blog)

ඔබ දන්නවාද රථ වාහන අනතුරු වලින් 80%ක් සිදු වන්නේ රියදුරාගේ වරදින් බව? (AS Auto Parts Blog)

රථයක් දකුණට හා වමට හැරවීමට සඳහා දකුණුපස ඇති සංඥා ලාම්පු දල්වා දකුණුපසටත් වම්පස සංඥා ලාම්පු දල්වා වම්පසටත් හැරවීම අපි හැමෝම හොදින් දන්නා කරුණක්. ජාත්‍යන්තර නීතීන්ට අනුකූලව මේ සඳහා කහ පාටින් දැල්වෙන විදුලි ලාම්පු ඉදිරිපස හා පසුපස සවි කර තිබෙනවා. වාහනයේ නවීනත්වය හා දිග අනුව එහි ඉදිරි හා පසුපසට  අමතරව පැති වලත් මෙම ලාම්පු දැක ගන්නට පුළුවන්.

පවතින නීතින් අනුව වාහනය හරවන පසට ලාම්පු සංඥා ක්‍රියා නොකිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. නමුත් මෙය වැරදි ලෙස භාවිතාවන අවස්ථාවක් ලෙස ඉදිරියෙන් වාහන පැමිණෙන බවක් හෝ ඉස්සර කිරීම නොකළ යුතු බවක් දැක්වීම සඳහා රියදුරන් දකුණු පස සංඥා ලාම්පු දැල්වීම සිදු කිරීම හදුනාගත හැකියි. ඒ වගේම තම වාහනය පසු කර දැන් ඔබට යා හැකිය යන්න හැඟවීම සඳහා වම්පස ලාම්පු දැල්වීමෙන් වර්ථමාන රියදුරන් සිදු කරන්නේ තවත් වැරදි ක්‍රියාවක්.

ජාත්‍යන්තර නීතින් හා  සලකන විට පැති ලාම්පු භාවිතයේ තවත් වැරදි ක්‍රියාවලියක් වන්නේ වට රවුමකදී හෝ හතරමං හන්දියකදී තමන් කෙලින්ම ඉදිරියට යන බව දැන්වීම සඳහා මෙම කහ පාට සංඥා ලාම්පු දෙකම එකවර දැල්විමයි. මෙය ශ්‍රී ලංකාවේ ඉතාමත් සුලභව දකින්නට ලැබෙන වැරදි ලෙස පැති සංඥා ලාම්පු භාවිතා කරන අවස්ථාවක්. නමුත් මෙය නිවැරදි යැයි බොහෝ දෙනෙක් අදහස් කරනවා. රථ වාහන පොලිසියෙන් පවා ඔබ මෙසේ නොකළහොත් දෝෂදර්ශනයට ලක් කරනවා. නමුත් නිවැරදි ලෙස මෙම ලාම්පු දෙකම දල්වන්නේ රියදුරා හදීසි අවස්ථාවකට හෝ අනතුරකට පත් වූ විටයි. එසේ නොමැතිනම් තමන් හදීසි ගමනක් යන බව දැන්වීම සඳහායි. ඒ වගේම ධාවනය වන අවස්ථාවේදී හදීසි ආපදාවකට ලක් වූ විට මාර්ගය අසළ නවතා තැබීමේදී තමන් රථය නවතා තබන්නේ සුළු වේලාවකට පමණක් යන්න අනෙක් රියදුරන්ට අදහස් කිරීම සඳහා දෙපස ලාම්පු දෙකම එකවර දල්වා තැබීම නිවැරදි අවස්ථාවක් ලෙස හදුන්වන්නට පුළුවන්.

Headlight Flash කිරීම

HeadLight Flash කර ඉදිරියෙන් ට්‍රැෆික් පොලිසියෙන් ඇති බව දැන්වීම අපේ රියදුරන්ටම ආවේණික ක්‍රමයක් (TheBlaze)

HeadLight Flash කර ඉදිරියෙන් ට්‍රැෆික් පොලිසියෙන් ඇති බව දැන්වීම අපේ රියදුරන්ටම ආවේණික ක්‍රමයක් (TheBlaze)

මේකනම් නිතර දෙවේලේ මහමගදී දකින්නට පුළුවන් අවස්ථාවක්. අපේ රටේනම් HeadLight Flash කිරීම නොහොත් තමන්ගේ රථයේ ප්‍රධාන ලාම්පුව හෝ ලාම්පු දෙක මොහොතකට දල්වා පෙන්වීම ඉතාමත් ජනප්‍රියයි. නමුත් රියදුරන් එසේ කර අදහස් කරන දෙය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බව ජාත්‍යන්තර නීතිය අනුව අපිට පැහැදිලි වෙනවා.

මෙම ක්‍රියාව සිදුකරන අවස්ථා දෙකක් හදුනා ගන්න පුළුවන්. වඩාත්ම ජනප්‍රිය අවස්ථාව වන්නේ ඉදිරියෙන් ට්‍රැෆික් පොලිසියෙන් ඇති බව තමන් දෙසට එන වාහන වලට දැන්වීම සදහා රියදුරන් බොහොමයක් තම HeadLight Flash කිරීම සිදු කිරීමයි. නීතින් අනුව බලන කළ අදහස් කරන දෙය වැරදි දෙයක් වුවත් රියදුරන් අතර පවතින සහෝදරත්වය පෙන්වන හොද අවස්ථාවක් ලෙසට මෙය නම් කරන්නට පුළුවන්.

අනෙක් අවස්ථාව ලෙස මහා මාර්ගයේ අයිතිය තමන් බලෙන් ලබා ගන්නා බවත් මේ මොහොතේ මට ගමන් කිරීම සඳහා ඉඩ ලබා දෙන්න ලෙස අනෙක් රියදුරන්ට දැන්වීම සඳහා HeadLight Flash කර පෙන්වනවා. නමුත් මෙහි නිවැරදි යෙදීම වන්නේ මහා මාර්ගයේ ගමන් කිරීමේ අයිතිය තමන් සතු වූවත් දැන් එය ඔබට මම විසින් පවරනවා යන්න අනෙක් රියදුරාට දැන්වීම සඳහා HeadLight Flash කර පෙන්වීමයි.

තවත් නිවැරදි අවස්ථාවක් වන්නේ අතුරු මාර්ගයට හරවන රියදුරෙක් ඉදිරියෙන් හමුවූ විට ඔහු වාහනය හරවා ගන්නා තුරු තමන් ආරක්ෂිතව නවතා සිටින බව දැන්වීමටත්ය. ජාත්‍යන්තර වශයෙන් සංඥාවේ තේරුම වන්නේ මෙය වන අතර බොහෝ යුරෝපියානු රටවල මෙම ක්‍රමය දකින්නට පුළුවන්.

නීති විරෝධීව වහළයේ සවි කර ඇති ලාම්පු

අවසර නොමැතිව මෙවැනි ලාම්පු රථයේ වහළේ සවි කිරීම නීතිවිරෝධී වේ (eBay)

අවසර නොමැතිව මෙවැනි ලාම්පු රථයේ වහළේ සවි කිරීම නීතිවිරෝධී වේ (eBay)

මේ ගැනනම් කතා නොකරම බෑ. හදීසි හා අන්තරාදායක ගමන් වලදී ගිලන් රථ, ගිනි නිවන රථ හා අසාමාන්‍ය ලෙස විශාල රථ වලට පමණක් අවසර දී තිබෙන වහළයේ සවි කරන මාර්ගයේ ඉඩ ලබා ගැනීමට භාවිත කරන ලාම්පු අද වන විට බස් රථ, වෑන් හා ත්‍රීවීලර වලත් සුලභව දකින්නට පුළුවන්. නීතියට අනුව එවැනි ලාම්පුවක් සවි කිරීමට විශේෂ අවසරපතක් ලබා ගත යුතු වූවත් ශ්‍රී ලංකාවේ නම් ඒ බවක් දකින්නට ලැබෙන්නේ නෑ. වෙනත් රටවලනම් විශේෂ වෘත්තිකයන්ට මේ අවසරය ලැබෙනවා. නමුත් අවසර ලැබෙන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවන් වලදී පමණයි. අපේ රටේනම් බොහෝ රියදුරන් අන් රියදුරන්ව නොමඟ යවමින් වැරදි තත්වයක් මවාදී තමන්ගේ ගමන පහසුවෙන් යාමට උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.

තොරණක් පාරේ යයි

පාරේ යන තොරණක් (Algae Trends)

පාරේ යන තොරණක් (Algae Trends)

වර්තමානයේ  ත්‍රීවීලර හා බස් රථ දුටු සැනින්ම අපට මතක් වන්නේ වෙසක් කාලයට ඉදි වන තොරන්ය. ඒ තරමටම මාර්ගයේ ගමන් කරන මේ රථ වර්ග නොයෙකුත් විදුලි ලාම්පු වලින් අලංකාර කර තිබෙනවා. අනෙකුත් රියදුරන්ගේ අවධානය නොයෙක් වර්ගයෙන් දැල්වෙන මෙම ලාම්පු කරා යොමු වීම අනතුරු වලට අත වැනීමක් ලෙස හදුන්වන්නටත් පුළුවන්.

විවිධ රටා වලින්, විවිධ වර්ණයන්ගෙන් මෙසේ විදුලි ලාම්පු සවි කිරීම නීති විරෝධී වන අතර නිත්‍යානුකූලව ඉදිරිපස තිබිය යුත්තේ සුදු හා කහ වර්ණ ලාම්පු පමණක් විය යුතු අතර පසුපස සවි කළ යුත්තේ සුදු, රතු හා කහ වර්ණ ලාම්පු පමණයි. වෙනත් කිසිදු වර්ගයක ලාම්පු සවි කිරීම නීතියෙන් තහනම් වෙනවා.

ඉතින් අද ලිපිය තුළින් අපි ඔබට ගෙන ආවේ ශ්‍රී ලාංකික රියදුරන් දැන හෝ නොදැන සංඥා ලාම්පු භාවිතය වැරදි ලෙස සිදු කරන අවස්ථාවන් කිහිපයක් පමණයි. නිවැරදිව සංඥා ලාම්පු භාවිතය අදාළ අංශ විසින් මීට වඩා අවධානය යොමු කල යුතු කාලීන මාතෘකාවක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඉතින් අප සියළු දෙනා නිවැරදිව සංඥා ලාම්පු භාවිතය පිළිබඳව මිට වඩා උනන්දු වෙනවානම් මාර්ග අනතුරු සංඛ්‍යාව උනත් බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් වේවි, එහෙම නේද?

Related Articles