Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඇති නීතිමය සහන

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන වදන ඇසෙන විටම සිහියට නැගෙන්නේ පවුල නම් ඒකකය තුළ ස්වාමියාගෙන් භාර්යාවට මුහුණ දීමට සිදුවන ශාරීරික හිංසනයන්ය. නමුත් මෙම සම්ප්‍රදායික මතයට ඔබ්බෙන් අර්ථකථනයක් සැපයීමට 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සමත් වී ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත හරහා දෙනු ලබන සහන රාශියකි. ඒ මගින් විවාහය යන බැදීමට සීමා නොවී විවිධ මට්ටම්හි සිටින පුද්ගලයන්ගේ ජීවිත හිංසාවෙන් තොරව ගෞරවණීය ලෙස ගත කිරීමට ප්‍රතිකර්ම සපයනු ලබයි.

මේ මගින් සහන ලබාගත හැකි පුද්ගලයන් කවුරුද?

Image Credit: azcapitoltimes.com

මෙම පනත හරහා ආරක්ෂාව ලබාගත හැකිවන්නේ කාන්තාවන්ට පමණක් නම් නොවේ. ගෘහය තුළ එනම් පවුල නමැති ආයතනය තුළ සිටින සියලුම පුද්ගලයන් සඳහා මෙම පනත හරහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාවක් පවතී. එපමණක් නොව විවාහයකින් පරිබාහිරව එකට වාසය කරනු ලබන සහකාරියට හෝ සහකරුට මෙම පනත හරහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව පවතී. එම පාර්ශවයන් ලෙස වෛවාහක සහකරු, වෛවාහක සහකාරිය, වෙන්ව සිටින වෛවාහක සහකරු හෝ සහකාරිය, ස්වාමියාගේ සහ භාර්යාවගේ මව, පියා, මිත්තනිය, මුත්තණුවන්, මවගේ දෙවන ස්වාමියා, පියාගේ දෙවන බිරිද, සහෝදරයන්, සහෝදරියන්, මවගේ පියාගේ වෙනත් විවාහයක දරුවන් (අර්ධ සහෝදර සහෝදරයින්) මවගේ හෝ පියාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්, සහෝදරයාගේ හෝ සහෝදරියගේ දරුවන්, මවගේ සහ පියාගේ සහෝදරයකුගේ දරුවෙක් යන පාර්ශවයන් මගින් ඉහතින් සඳහන් කළ පාර්ශවයකට හිංසනයක් සිදුවන විටදී මෙම පනත හරහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව පවතී.

ගෘහස්ථ හිංසනය යනු කුමක්ද?

මේ මගින් හුදු ශාරීරික පහරදීම, තුවාල කිරීම පමණක් අදහස් නොවේ. පනතට අනුව කායික මෙන්ම මානසික සහ ලිංගික වශයෙන් සිදුවන හිංසනයන් මෙයට අයත් වේ. මෙහිදී වැදගත් කරුණ වන්නේ වැඩිහිටි පුද්ගලයන්ට වන මානසික, ශාරීරික, ලිංගික හිංසනයන් පමණක් නොව දරුවන්ට සිදුවන හිංසනයන්   මේ අතරට ඇතුළත් වේ.ශාරීරික හිංසනයන් සඳහා දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව පැවතිය ද මානසික වශයෙන් සිදු කරනු ලබන හිංසනයන් සඳහා ප්‍රතිකර්ම ලබා ගැනීමට මේ හරහා හැකියාව ඇත.

මෙවැනි හිංසනයක දී උපකාර ලබාගත හැකි ආයතන මොනවාද?

Image Credit: s3.amazonaws.com

මෙම පනත යටතේ ප්‍රතිකර්ම ලබාගැනීම සඳහා සමීපම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමේ හැකියාව පවතී. එමෙන්ම නීති මඟට ප්‍රවේශවීමට මුල්‍යමය හැකියාව නොමැති පුද්ගලයන් සඳහා ප්‍රදේශයේ නීති ආධාර කොමිසම මගින් නොමිලේ නීති උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම වයස අවුරුදු දහ අටට අඩු දරුවන්ට ගෘහය තුළ සිදුවන හිංසන සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් උපකාර ලබා ගැනීමේ අවස්ථාව ඇත.

මෙම පනත යටතේ ලබාගත හැකි ප්‍රතිකර්ම මොනවාද?

හිංසනයට පත් පාර්ශවයට මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි අතර, පාර්ශවයන්ගේ ඉල්ලීම පිළිබඳව අධිකරණය සෑහීමට පත්වනු ලබන්නේ නම් ප්‍රථමයෙන් අතුරු ආරක්ෂක ආඥාවක් තාවකාලිකව ලබාදෙනු ලබයි. මේ හරහා පීඩාවට පත්වන පාර්ශවය නැවත නැවත පීඩාවට පත්වීම වළක්වයි. එමෙන්ම ඉන් අනතුරුව ක්‍රමවත් ලෙස පවත්වන නඩු විභාගයකින් අනතුරුව ආරක්ෂක නියෝගයක් ලබා ගැනීමේ හැකියාව පවතී.

අතුරු ආරක්ෂක නියෝගය ලබා ගැනීමට අනුගමනය කළ යුතු පියවර

Image Credit: gannett-cdn.com

  • වැඩිහිටි පුද්ගලයෙකු නම්, පීඩාවට පත් එම පාර්ශවය විසින්ම;
  • පීඩාවට පත් පාර්ශවය අවුරුදු දහ අටට අඩු නම් දෙමව්පියන් විසින් හෝ භාරකරු විසින් හෝ දරුවා සමඟ වාසය කරන පුද්ගලයෙකු හරහා;
  • ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ බලයලත් නිලධාරියෙකු විසින්;
  • පීඩාවට පත් පුද්ගලයා වෙනුවෙන් පොලිස් නිලධාරියෙකු විසින්;
  • මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම ඉල්ලීම සිදු කිරීමට හැකියාව ඇත.

අතුරු ආරක්ෂක නියෝගය යනු කුමක්ද?

Image Credit: media.apnarm.net.au

පීඩාවට පත් පාර්ශවයන්ගේ සාක්ෂි මගින් අධිකරණය සෑහීමට පත් වේ නම් අතුරු ආරක්ෂක නියෝගයක් ලබා දිය යුතු යැයි අධිකරණයට වැටහී යන විට මෙම තාවකාලික ප්‍රතිකර්මය ලබා දෙනු ලබයි.

නඩු විභාගයක් පැවත්වීමට පෙර ඉල්ලීම කළ දින සිට දින දා හතරක් ඉක්ම යාමට පෙර අතුරු ආරක්ෂක නියෝගය ලබා දෙනු ලබයි. අතුරු ආරක්ෂණ නියෝගයක් ලබා නොදීමට හේතු පවතී නම් එම හේතු දක්වමින් අධිකරණයේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුට අධිකරණය දන්වනු ලබයි. මෙම නියෝගය බල පැවැත්වෙන්නේ ආරක්ෂක නියෝගයක් ලබා දෙන තෙක් හෝ අතුරු ආරක්ෂණ නියෝගය ඉවත් කරන තුරු පමණි. අතුරු ආරක්ෂක නියෝගයක් ලබා නොදිය යුතු යැයි අධිකරණයට පසක්වන විටදී ඒ පිළිබදව පරීක්ෂණයක් කිරීමට නියම කරනු ලබයි.එය ද දින දාහතරක් ඇතුළත සිදුකළ යුතුය.

ඒ හරහා පිඩාවට පත් පාර්ශවයට ලැබෙන ප්‍රතිකර්ම මොනවාද?

මෙම නියෝගය ආරක්ෂක පියවරක් ලෙස ඉතාම ඉක්මනින් ලබාදෙනු ලබන අතර ඒ හරහා පිඩාවට පත් පාර්ශවය නැවත නැවත පිඩාවට පත්වීම වළක්වමින් ආරක්ෂා කරනු ලබයි. මෙම අතුරු ආරක්ෂක නියෝගය හරහා වග උත්තරකරුට යම් යම් තහනම් පනවනු ලබයි.

ඒ අතර; හිංසනයට පත් තැනැත්තා හෝ තැනැත්තියගේ පාසලට සහ රැකියා ස්ථානයට පැමිණීම, ජීවත්වන නිවසට හෝ වගඋත්තරකරු සමඟ හවුලේ ජීවත් වූ නිවසට පැමිණීම, හිංසනයට පත් තැනැත්තාගේ හෝ තැනැත්තිය පසුපස හඹායාම හෝ සබඳතා ඇති කරගැනීමට උත්සහ කිරීම, පීඩාවට පත් තැනැත්තාට හෝ තැනැත්තියට විවිධ අයුරින් උපකාර කරනු ලබන විවිධ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට සහ අනෙකුත් නිලධාරීන්ට සහ නෑ හිත මිතුරන්ට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සහ වෛවාහක නිවස විකිණීම තහනම් කරනු ලැබේ.

මෙම නියෝගය තාවකාලික නියෝගයක් වුවද මෙම හිංසනයට පත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා සමාජ සේවකයෙකු, ළමා ආරක්ෂණ අධිකාරිය මගින් පත්කරන නිලධාරියෙකු, පරිවාස නිලධාරියෙකු,පවුල් උපදේශකවරයෙකු පත් කිරීමේ හැකියාව පවතී.

ආරක්ෂක නියෝගය

නිසි ලෙස සිදුකරනු ලබන නඩු විභාගයකින් අනතුරුව අධිකරණය සෑහීමට පත්වේ නම් ඉන්පසුව මෙම ආරක්ෂක නියෝගය නිකුත් කරනු ලබයි. ඉහතින් සඳහන් කරනු ලැබූ තහනම් කිරීම් තවදුරටත් මේ මගින් තහනම් කරනු ලබයි. එමෙන්ම වගඋත්තරකරු හෝ වෙනත් අයෙකු විසින් පීඩාවට පත් පාර්ශවයට ප්‍රචණ්ඩත්වයෙන් ක්‍රියා කිරීම තහනම් වන අතර මෙම නියෝගය මගින් පෙර ලබාගත් අතුරු ආරක්ෂක නියෝගය අහෝසි වන අතර, ආරක්ෂක නියෝගය මාස දොළහක් පුරා බල පැවැත්වේ.

එමෙන්ම පුරා වසරක් පුරාවට ක්‍රියාත්මක වන මෙම නියෝගය පිඩාවට පත් පාර්ශවයේ ඉල්ලීම මත වෙනස් කර ගැනීමට, ඉල්ලා අස්කර ගැනීමට  හැකියාව පවතින අතර එහිදී පැවති ගැටලුව පිළිබඳව ස්වභාවය මේ වන විට වෙනස් වී ඇති බවට හේතු දැක්විය යුතුය.

Cover: allchristiannews.com

මූලාශ්‍ර

  1.  www.actnowsrilanka.org
  2.   neethiya.wordpress.com
  3.   2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය  වැළක්වීමේ පනත.

Related Articles