Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු කැරොලිනාවේ භයානකම ඝාතකයා – ඩොනල්ඩ් ගැස්කින්ස්

ලෝකයේ සෑම අස්සකින් මුල්ලකින් ම වරින් වර විවිධාකාරයේ දාම ඝාතකයින් හමුවෙනවා. මොවුන් සමහරෙක් මිනිසෙකු හෝ ගැහැණියක ඝාතනය කිරීමේ දී ඉතා කෲර වධ බන්ධනවලට ලක් කිරීමට තරම් සැහැසි වෙනවා. ඉනුත් කොටසක් සිය ගොදුරුවල මාංශය පවා ආහාරයට ගත් අවස්ථා වාර්ථා වී තිබෙනවා. දකුණු කැරොලිනාව සිය නිජබිම කරගත් ඩොනල්ඩ් ගැස්කින්ස්, එවැන්නෙක්.

ඝාතකයෙකුගේ උපත හා මූලික අවධිය

1933 වසරේ මාර්තු මස 13 වන දා උතුරු කැරොලිනාවේ ෆ්ලෝරන්ස් කන්ට්‍රි හි දී ඩොනල්ඩ් ගැස්කින් උප්පත්තිය ලැබුවා. ඔහුගේ මව ඒ වන විට විවාහ වී නොසිටිය අතර, ඩොනල්ඩ්ගේ ළමා කාලය තුළ පුරුෂයින් කිහිපදෙනෙකු ම ඇය ආශ්‍රය කළා. මින් කිහිපදෙනෙකු ම ඉතා සැර පරුෂ අයවලුන් වූ අතර, කුඩා ඩොනල්ඩ්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන්නටත්, අඩත්තේට්ටම් කිරීමටත් ක්‍රියා කළා. මේවා වැළැක්වීමට ඔහුගේ මව ද එතරම් උත්සාහ නොකළ අතර, අවසානයේ සිදුවූයේ ඉතා නරක වටපිටාවක ‘රිසි සේ’ උස් මහත් වීමට ඩොනල්ඩ්ට ඉඩහසර ලැබීම යි.

සිය මුල් ළමා වියේ දී තමන් ලද ප්‍රචණ්ඩ අත්දැකීම් ඔහු සිය පාසලටත් ගෙන ගියා. ඔහු විසින් නිතර ම එහි වූ දරුවන් සමග දබරවලට පැටලුණු අතර, නිතර ම ගුරුවරුන්ගේ දඬුවම්වලට ලක් වුණා. මේ නිසා එකොළොස් වන වියේ දී සිය පාසල් ගමනට ආයුබෝවන් කියූ ඩොනල්ඩ් ගරාජයක හා ගොවිපළක සේවයට ගියා. එහි දී ද ඔහුට හොඳ සැලකිල්ලක් නොලැබුණු අතර, මේ නිසා නව යොවුන් වියට පත්වන විට ඔහුගේ සිතෙහි සමාජය කෙරෙහි මහත් වූ වෛරයක් මෝදු වෙමින් තිබුණා.

ඩොනල්ඩ් ගැස්කින් තුරුණු වියේ දී- pinterest.com

ඝාතනවලට පෙර සූදානම

තමන් සේවය කළ ගරාජයේ දී ඔහුට තවත් මිතුරන් දෙදෙනෙකු හමු වූ අතර, ඔවුන් තිදෙනා සුළු පරිමාණ නිවාස බිඳීම් හා ගණිකාවන් සමග ගණුදෙනු කිරීම ඇරඹුවා. ගෙවල් බිඳීමක දී හදිසියේ ඩොනල්ඩ් ඉදිරියට ගැහැණු ළමයෙකු පැමිණීම නිසා ඔහු සිය අතෙහි වූ පොරවෙන් ඇයගේ හිසට පහර දුන්නා. කෙසේ නමුත් අවසන ඇය සිය ජීවිතය බේරාගත්තා. මේ  නිසා ඩොනල්ඩ් අත්අඩංගුවට පත් වුණා. මේ වන විට ඔහු යාන්තම් 13 වන වියට පත් ව සිටි අතර, අත්අඩංගුවට පත් වූ ඩොනල්ඩ්, පුනරුත්ථාපනය සඳහා දකුණු කැරොලිනා කාර්මික විද්‍යාලයට යැවුණා. කෙසේ නමුත් පුනරුත්ථාපන විදුහලේ ජීවිතය ඔහුට ඒ තරම් පහසු එකක් වූයේ නැහැ. එහි දී ඔහුට ලිංගික අඩන්තේට්ටම් සිදු වී තිබුණා.

තරුණයෙකු ලෙස

ඩොනල්ඩ් 18 වැනි වියේ දී පුනරුත්ථාපන විදුහලෙන් නිදහස් වෙනවා. එනමුත් ඊට පෙර ඔහු මානසික තත්ත්වයන් මත කෙටි කලෙකට ඉන් නිදහස් ව හිඳ ඒ අතරතුර විවාහයකුත් කරගෙන තිබුණා. නිදහස් වූ පසුව ද ඔහුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවල අඩුවක් තිබුණේ නැහැ. මේ වන විට ඔහුට රැකියාවක් ලැබී තිබූ අතර නැවත වාරයක් වසර 5ක් ඔහුට සිරගත වීමට සිදුවූයේ සිය සේවා ස්ථානයේ හිමිකරුගේ දියණියගේ මිතුරියකට මත ගැටුමකින් අනතුරුව හිස්කබල පුපුරා යන පරිදි මිටියකින් පහර දීම නිසා යි. ඔහුට එහි දී ද ලිංගික අතවර සිදු වූ අතර, අවසානයේ ඔහු තීරණය කරන්නේ ඉන් ගැලවීමට නම් තමන් තවත් ‘භයානක’ ප්‍රතිරූපයක් ගොඩනඟාගත යුතු බව යි. මේ සඳහා ඔහු රැඳෙවියෙකුගේ ගෙල කපා දමනවා. මේ නිසා ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙනවා. 1955 වසරේ දී සිරෙන් පැන යන ඔහු, සිය විවාහයෙන් දික්කසාද වෙනවා. තවත් කාන්තාවක් විවාහ කරගත්ත ද පසුව අනාවරණය වන්නේ ඇය විවාහක අයෙකු බව යි. ඉක්මනින් ම නැවතත් ඔහු පොලිස් ග්‍රහණයට නතුවන අතර, නැවත බන්ධනාගාර ගත කරනවා. 1961 වසර වන තුරු ඔහුට සිරබත් කෑමට සිදුවෙනවා.

ඝාතන වල ඇරඹුම

1961 වසරේ සිරෙන් නිදහස් වීමෙන් පසු ඩොනල්ඩ් නැවතත් සිය නිජබිම වන දකුණු කැරොලිනාවට පැමිණෙනවා. එහි දී දුම්කොළ කර්මාන්තය හා සබැඳි රැකියාවක් සොයාගන්නට ඔහුට හැකියාව ලැබුණ ද, නැවතත් කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට හුරු වෙනවා. ඉක්මනින් ම එම රැකියාවෙන් ඉවත් වූ ඔහුට ප්‍රවාහන සේවා හා සම්බන්ධ රැකියාවක් ලැබෙනවා. මේ නිසා පහසුවෙන් විවිධ ස්ථානවල නිවෙස් බිඳින්නට ඔහුට හැකි වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ නැවත දෙවරක් ඩොනල්ඩ් විවාහ වෙනවා. මේ අතර නැවත වරක් කුඩා දැරියකට ලිංගික අඩන්තේට්ටම් කිරීම නිසා වසර 6කට බන්ධනාගාරගත වෙනවා.

1968 වසරේ සිරෙන් නිදහස් වූ පසු ඩොනල්ඩ් සිය පළමු මනුෂ්‍ය ඝාතනය සිදුකරනවා. ඒ ඔහුගේ දුර්වලතාවයකට සිනහා වූ තරුණියක වද දී, මඩ ගොහොරුවක ගිල්වා මරා දැමීමෙන්. මේ වන විට තමන් කුඩා කාලයේ වර්ධනය කරගත් ‘සමාජය කෙරෙහි වූ වෛරය’ ඔහුට ද පාලනය කරගත නොහැකි තරම් ඔහු ව වෙළාගෙන තිබූ අතර, තව තවත් මනුෂ්‍ය ඝාතන කිරීමට පෙළඹෙනවා. බොහෝ විට ඔහුට ගොදුරු වූයේ ආඩම්බරකාර, රූමත් කාන්තාවන් වූ අතර ඔවුන් දින ගණන් වද දී ඝාතනය කිරීම ඔහු විසින් සිදුකළා. මින් සමහරකගේ මාංශය පවා ඔහු ආහාරයට ගත්තා.

දාම ඝාතකයෙකු ලෙස

ඝාතනයට ලක් වූ ඩොනල්ඩ්ගේ නෑණන්ඩිය ජැනිස්- lifedeathprizes.com

1975 වසර වන විට ඩොනල්ඩ් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය අවම වශයෙන් 80ක් පමණ වුණා. මීට කාන්තාවන් පමණක් නොව තරුණ පිරිමින් ද ඇතුළත්. මොවුන් සියලුදෙනා ඝාතනය කොට තිබුණේ වධ බන්ධනයන්ට ලක් කොට, ලිංගික අඩන්තේට්ටම් කිරීමෙන් අනතුරුව යි. මළසිරුරුවලට පවා ඔහු හානි කර තිබූ අතර, ඔහුගේ ගොදුරු ගොන්නට 15 හැවිරිදි ඔහුගේ නෑණන්ඩිය ද ඇතුළත් වුණා. කොටින්ම, ඝාතන සිදුකළ අවසාන කාලයේ ඔහු ඒවා සිදුකළේ ‘පුරුද්දට’ මෙනුයි.

හසුවීම

1975 වසර වන විට ඩොනල්ඩ් ගැස්කින්ස් ඇමෙරිකා එක්සත් ජනපදය එදා මෙදාතුර දුටු දරුණු ම ඝණයේ දාම ඝාතකයෙකු බවට පත් ව සිටියා. මේ හේතුවෙන් ඔහු ගැන දැන සිටි සමහරු ඔහු ලවා කුළියට මිනීමරවා ගැනීමත් සිදුකළා. මෙලෙස ඔහු සිදුකළ ඝාතන සිද්ධි කිහිපයකට ඔහු සහාය කරගත් වෝල්ටර් නීලි නම් තැනැත්තෙක් පොලිසියට හසුවන්නේ මේ අතර යි. ඔහුගෙන් හෙළි වූ තොරතුරු නිසා මිනිස් ඝාතන චෝදනා යටතේ නැවත වාරයක් ඩොනල්ඩ් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.

මරණයට පත් කිරීම

පොලිස් අත්අඩංගුවට පත් වූ ඩොනල්ඩ් ගැස්කින්ස් (දකුණේ)- AP

නඩු විභාගයකින් පසු ඩොනල්ඩ් ගැස්කින්ස්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීන්දු වුණා. කෙසේ නමුත් 1976 වසරේ නොවැම්බර් මස එය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට සීමා කෙරුණේ, ඇමෙරිකානු අධිකරණය මරණ දඬුවම අමානුෂික එකක් හැටියට තීන්දු කිරීමත් සමග යි.

මේ අවසරයෙන් අනෙකුත් සිරකරුවන් අතර වැජඹෙන්නට ඩොනල්ඩ් සමත් වුණා. විටින් විට තමන් කළ ඝාතන එකින් එක ප්‍රකාශ කරමින් ඔහු යම් කුරිරු ‘ආශ්වාදයක්’ ලැබුවා. මේ නිසා ඔහු සිරකරුවන් අතර පරසිදු වුණා.

1978 වසරේ දී නැවත දකුණු කැරොලිනාව තුළ මරණ දඬුවම ස්ථාපිත කළ අතර, එය ගැස්කින්ස්ට අදාළ නොවූයේ මේ වන විට ඔහුට එරෙහිව ‘තීන්දුවක්’ ලබා දී තිබූ නිසා යි. කෙසේ නමුත් ටික කලෙකින් ඔහු තමන් මෙන්ම මරණ දඬුවමට තීන්දු වී ගැලවුණු රුඩොල්ෆ් ටයිනර් නම් අයෙක් සිර මැදිරිය තුළ දී ම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඝාතනය කරනවා. මේ හේතුවෙන් ඔහු නැවතත් මරණ දඬුවමට තීන්දු වෙනවා.

සිය ජීවිතයේ අවසන් සමයේ විදුලි පුටුවෙන් බේරීමට ඔහු විවිධ උත්සාහයන් ගන්නවා. මේ සඳහා වැඩි වැඩියෙන් තමන් සිදුකළ ඝාතන සිද්ධි හෙළි කිරීම ඔහු විසින් යොදාගත් එක් උපක්‍රමයක්. කෙසේ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ වන අතර, 1991 වසරේ සැප්තැම්බර් මස 6 වන දා විදුලි පුටුවක් මත සිය අවසන් සුසුම වා තලයට මුසු කරන්නේ, අපරාධයක් කර කිසිදා බේරී සිටිය නොහැකිය යන කියමන සපථ කරමිනුයි.

Related Articles