Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්ලුරා ඛේදවාචකය

“ප්ලුරා” නොර්වේ රාජ්‍යයේ ඇති සුන්දර නදියක්. “ප්ලුරා” යන්නෙහි අර්ථය “උණුසුම් හෝ කැකෑරෙන” යන්න යි. එහි අර්ථය මෙන් ඇත්තෙන්ම මේ නදිය ද අතිශය භයංකාර යි. කැකෑරී විනාශයක් සිදුකරන සුළු යි. දිගින් කි.මී. 27ක් පමණ වන මේ නදිය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 19ක් ඉහළින් ය.

ප්ලුරා නදියේ මීටර 500ක් පමණ ගැඹුරට කිමිදෙන විට අපුර්ව දෙයකි හමුවන්නේ. එනම් නදිය තුළ සැඟවුණු ගුහාවක්. උතුරු යුරෝපයේ දීර්ඝතම ගුහාව වන එහි පිවිසීම නම් එතරම් පහසු කාර්යයක් නොවෙයි. මනා පළපුරුද්දක් සහිත කිමිදුම්කරුවෙකුට පමණයි මේ “ප්ලුරාග්‍රෝටා” ගුහාව තුළින් පිහිනා ගොස් නිරුපද්‍රිතව පැමිණිය හැකි වන්නේ.

bbc.com (ගුහා ගවේෂණ ගමන් මඟ)

ප්ලුරා නදියේ කිමිදෙන්නට ගොස් බොහෝමයක් අනතුරු සිදුවන අතර ඒ අතරින් සිදු වූ විශාලතම ඛේදවාචකය වාර්තා වන්නේ 2014 වසරේ දී.

පින්ලන්ත කිමිඳුම්කරුවන්ගේ ගවේෂණය

ඒ 2014 වර්ෂයේ පෙබරවාරි 6 වන දින යි. පින්ලන්ත කිමිඳුම්කරුවන් පිරිසක් ප්ලුරාග්‍රෝටා ගුහාවේ ගවේෂණයක් සිදුකිරීමේ අරමුණින් පැමිණ සිටි අතර ඒ කණ්ඩායමේ සගයින් 5 දෙනෙකු විය. හෙල්සිංකි නුවර ඔජමෝ පතලේ ගවේෂණයක යෙදුණු අවස්ථාවක එකිනෙකාට හමු වූ මේ සගයින් නමින් පැට්‍රික් ග්‍රෝන්ක්විස්ට්, ජාරි හුවෝටාරිනන්, කායි කන්කානෙන්, ජාරි උසිමාකි, සහ වෙසා  රත්නනන් ය.

පින්ලන්ත ජාතික මොවුන් 5 දෙනාටම තිබුණේ එකම අරමුණක්. එනම්, ගංගාවේ ගැඹුරට කිමිඳී ගොස් ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා යාම යි. මේ ස්ථානය ඇත්තේ ගුහාවේ අන්තයේ යි. දිය යට ගමන් කළ හැකි ස්කුටරයක නැඟී ගියත් ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා ළඟා වීමට පැය 5කට ආසන්න කාලයක් ගත වන අතර, එසේ ද ගොස් මීටර් 130කට අධික ගැඹුරට ගමන් කොට යළි ඉහළට පිහිනා යා යුතු යි.

ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා ළඟා වීමට පෙර ගුහාවක් හමුවෙයි. වායු කුටිය නමින් හැඳින්වෙන මෙහි ඉතා හොඳින් වාතාශ්‍රය පවතින නිසා මෙහි මඳක් විවේක ගෙන නැවත කිමිඳීම ආරම්භ කළ හැකි යි. පින්ලන්ත සගයන් සිතා සිටියේ ද මෙසේ කිරීමට යි.

ගුහා අන්තය කරා යාමට පෙර හමුවන ගුහාවේ ගැඹුරුම ස්ථානය පොළොව මට්ටමේ සිට මීටර් 132ක් පමණ පහළින් පිහිටා තිබෙන අතර ගුහාවේ පටුම ස්ථානය වන්නේ ද මෙය යි.

වායු කුටිය දක්වා

2014 වර්ෂයේ නියමිත දින ඔවුන් 5 දෙනා ප්ලුරා නදිය වෙත පැමිණ කණ්ඩායම් දෙකකට බෙදුණු අතර පැට්‍රික් ග්‍රෝන්ක්විස්ට්, සහ ජාරි හුවෝටාරිනන් පළමු කණ්ඩායමටත්, කායි කන්කානෙන්, ජාරි උසිමාකි, සහ වෙසා රත්නනන් දෙවන කණ්ඩායමටත් බෙදී ගියහ. දෙවැනි කණ්ඩායමේ කාර්යයභාරය වුයේ පළමු කණ්ඩායමේ අයට අවශ්‍යය සහය ලබා දීම යි.

අධික සීත කාලයක් වූ නිසා නදියේ උඩින් හිම තට්ටුවක් ද මිදී තිබිණි. එනිසා ඔවුන් සීතලට ඔරොත්තු දෙන ඇඳුම් කට්ටලයකින් ද සැරසී හිම තට්ටුවේ එක් ස්ථානයක් සිදුරු කර ගමන ආරම්භ කළේ ය. මුලින්ම පැට්‍රික් ද, දෙවනුව ජාරි ද අධික සීතල වූ ජලය දෙබෑ කරගෙන දැඩි සේ අඳුරු ගුහා මාර්ගය ඔස්සේ ගමන් කළේ දැඩි අවදානමක් ද දෝතින් රැගෙන යි.

youtube.com

අවසානයේ ඔවුන් දෙදෙනා මිනිත්තු 50ක පමණ ගමනකින් පසු ගමනේ පළමු කඩඉම සම්පුර්ණ කරමින් වායු කුටිය වෙත ළඟා විය.

ජාරිගේ අතුරුදන් වීම

වායු කුටිය තුළ මඳ වේලාවක් විවේක ගත් මිතුරන් දෙදෙනා නැවතත් ගමන ආරම්භ කළ අතර සියල්ල සිදු වුයේ සැලසුම් කළ අයුරින්ම යි.

මේ වන විට පැට්‍රික් හා ජාරි පොලොව මට්ටමේ සිට මීටර් 132ක් පහළින් පිහිටි පතුල වෙත ළඟා වී සිටි අතර මීළඟට ඔවුන් පසු කර යා යුතු වුයේ අතිශය පටු වූ මාර්ගයක්.

මඳ දුරක් ගොස් පසුපස බැලූ පැට්‍රික් වික්ෂිප්ත වුයේ තම මිතුරා තමා පසුපස දැකගත නොහැකි වූ නිසයි. ජාරි ගුහාවේ වූ පටු මාර්ගයක සිර වී සිටි අතර ඔහුගේ ඔක්සිජන් නළය ද කිසිවක පැටලී තිබුණි. ජාරි සිර වී සිටි ස්ථානයෙන් ගලවා ගැනීමට මිනිත්තු 20ක පමණ කාලයක් පැට්‍රික් මහත් වෙහෙසක් දැරූ නමුත් එය සාර්ථක වුයේ නම් නැත.

තම මිතුරා තමා ඉදිරියේම අවසන් හුස්ම හෙලනු දුටු පැට්‍රික් මහත් වෙහෙසට හා කැළඹීමට පත්ව සිටියේ ය. තම මිතුරාගේ මළ සිරුර පටු මාර්ගයෙන් ගලවා ගැනීමට ඔහු කොතෙකුත් උත්සාහ කළත් ඔහු එයින් ද අසාර්ථක විය.

අවසානයේ ඔහු තීරණය කළේ උත්සාහය අත්නොහැර කෙසේ හෝ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා තනිවම ගමන් කිරීමට යි.

ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා

කෙසේ හෝ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දක්වා ගමන් කිරීමට සිතුවත් පැට්‍රික් හට අසම්පීඩන තත්ත්වය හේතුවෙන් තවදුරටත් ජලයේ සිටීමේ හැකියාවක් නොතිබුණි. ඒ වන විට ඔහු ජලය තුළ ගත කර තිබූ කාලය පැය 7ක්.

bbc.co.uk

පළමු කණ්ඩායම කිමිදීම ආරම්භ කර පැය දෙකකට පසුව කිමිදීම ආරම්භ කළ දෙවන කණ්ඩායම ද මේ වන විට පැට්‍රික් දෙසට පැමිණෙමින් ය, සිටියේ. මඳ වේලාවකින් දෙවන කණ්ඩායමේ නායකයා වන වෙසා රන්තනන් පැට්‍රික් දෙසට පිහිනා ආ අතර ඔහු මේ වන විට පටු මාර්ගයේ සිර වී තිබුණු ජාරිගේ සිරුර ද දැක තිබුණි. ජාරිගේ සිරුර සිර වී තිබුණු ස්ථානයෙන් ඉතා අපහසුවෙන් ඉඩ සලසාගෙන යි, ඔහු පැමිණ තිබුණේ.

ජාරිගේ සිරුර සිර වී තිබුණු ස්ථානයේ වැඩි වේලාවක් ගත කර තිබුණු නිසා වෙසා රත්නනන් හට ද ජලයේ වැඩි වෙලාවක් රැඳී සිටීමේ හැකියාවක් නොතිබුණි. ඒ වන විට ඔහු ද අසම්පීඩන තත්ත්වයට ද ගොදුරු වී සිටියේ ය. නමුත් අවසානයේ පැට්‍රික් හා වෙසා රත්නනන් ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් වෙත ළඟා විය.

කන්කානෙන්ගේ හමුවීම සහ උසීමකීගේ වියෝව

ගුහාවෙන් පිටතට පැමිණි පැට්‍රික් හා රත්නනන් තම අනෙක් සගයන් පැමිණෙන තෙක් දෑස් දල්වා බලා සිටියහ. කෙසේ හෝ අවසන ඔවුන් දැකගත්තේ ජලය පතුලේ දැල්වෙන එළියක්. පතුලේ සිට කන්කානෙන් ඉතා අසීරුවෙන් පිහිනා ආ අතර, දෙවන කණ්ඩායමේ අනෙක් සගයා වූ උසිමකී පෙනෙන්නට සිටියේ නැත. උසීමකී මුහුණ දී තිබුනේ ද අවාසනාවන්ත සිද්ධියකට යි.

කන්කානෙන් සමග කිමිදෙමින් සිටි කන්කානෙන් හා උසීමකී හට ජාරිගේ මළ සිරුර හමු වී ඇති අතර එය දුටු උසීමකී අතිශයින් බියට හා කම්පනයට පත්ව සිහිසුන්ව ඇත. ඒ හේතුවෙන් ඔහු දියේ ගිලී ගොස් ඇති අතර තම මිතුරා බේරාගැනීම සඳහා කන්කානෙන් ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වී ඇත.

yle.fi

දිවි ගලවාගත් පැට්‍රික් ග්‍රෝන්ක්විස්ට්, කායි කන්කානෙන් සහ වෙසා රත්නනන් පසුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටියත් ඔවුන්ගේ සිත්වල තිබුණේ වෙනත් අදහසක්. ඒ කෙසේ හෝ මියගිය තම මිතුරන් ගොඩගෙන ඔවුන් ගෞරවනීය ලෙස භූමදාන කිරීම යි.

නමුත් ඒ වන විට ප්ලුරා නදියේ කිමිදීම නොර්වේ රජය විසින් තහනම් කර තිබුණු නිසා කිමිඳුම්කරුවන් ද මේ සඳහා ඉදිරිපත් වුයේ නැත. නමුත් කෙසේ හෝ පින්ලන්ත කිමිඳුම්කරුවන් පිරිසක් ප්ලුරා නදියේ කිමිඳී මළ සිරුරු ගොඩගැනීමට ඉදිරිපත් වූ අතර අවසානයේ දින 5ක මෙහෙයුමකින් පසු මළ සිරුරු ගොඩ ගැනුණි.

කවරයේ කතාව- vg.no

මූලාශ්‍රයයන්:

divingintotheunknown.com/en

bbc.com

vg.no/spesial/2014/dodsdykket/index_eng.php

worldvision.org

yle.fi › Uutiset

rebreatherworld.com

Related Articles