Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙඩ වවාගෙන කෑම

පොදුවේ හැදෙන සාමාන්‍ය ලෙඩ කෙසේ වෙතත් දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය ලෙඩවලට ලබා දෙන බොහෝ බෙහෙත් වර්ගවල සැබෑ වෙළඳපොළ මිල පවතින්නේ ඉතාම ඉහළ මට්ටමක. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු බොහොමයක් තිබුණත් සාපේක්ෂව බොහෝ ප්‍රතිකාර සහ බෙහෙත් වර්ග නොමිලේ හෝ දරාගත හැකි මිලකට ලබා ගන්න හැකියාව තිබෙන නිසා අපිට මෙය දැනෙන්නේ තරමක් කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් ඒවා සහන මිලකට ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෙනත් අන්තර්ජාතික ආයතන විශාල පිරිවැයක් දරනවා. ඉතින් නීරෝගීකම කෙනෙකුට ලැබිය හැකි උතුම්ම ධනය බව කාට කාටත් පසක් වෙනවා.

ලේවල රෝගයකට ලබා දෙන Soliris බෝතලයක මිල ඩොලර් 7000 ක් පමණ වෙනවා (nationalpost.com)

ඖෂධවල මිල ඉහළ වීමට එක් හේතුවක් වන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්වල (pharmaceutical companies) ආදායමෙන් විශාල කොටසක් ඔවුන් අලුත් බෙහෙත් නිෂ්පාදනය ගැන පර්යේෂණ කටයුතු සිදු කරන්න යෙදවීම යි. මේවා හැම විටම සාර්ථක වන්නේ නැති නිසාත්, රසායනික ශිල්පීන්ගේ අධික වැටුප් පරිමාණ නිසාත් වැය කළ යුතු මුදල් ඉතා ඉහළ යි. මේ නිසා සුවිශේෂකරණය වූ බෙහෙත් වර්ග නිෂ්පාදනයේ වට්ටෝරු ව්‍යාපාරික රහස් ලෙස තබා ගන්නත්, එයින් විශාල ලාභ ලබන්නත් ඔවුන් කටයුතු කරනවා. ලෙඩවලින් මේ විදිහට මුදල් ඉපයීමේ සදාචාරාත්මක පැත්ත ගැන අතීතයේ සිටම සංවාදයක් පවතිනවා.

කොහොම නමුත් මේ කියන්න යන්නේ එය තවත් පියවරකින් ඉහළට ගෙන ගිහින් බෙහෙත් හදන්නෙවත් නැතිව මුදල් උපයන කූට උපක්‍රමයක් භාවිත කරපු ආයතනයක් ගැනයි. ඒ තමයි කැනේඩියානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වූ Valeant.

2008 දක්වා සාමාන්‍ය ඖෂධ සමාගමක් ලෙස

හිටපු ප්‍රධානී මිලාන් පැනීච් (wikipedia.org)

1959 දී යුගොස්ලාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මිලාන් පැනීච් (Milan Panić) විසින් ICN නැමැති ඖෂධ සමාගමක් ආරම්භ කරනු ලැබුවා. ඔහුගේ මනා කළමනාකාරීත්වයත්, Ribavirin නැමැති හෙපටයිටීස් C ප්‍රතිකාරක ඖෂධය නිර්මාණය කිරීමත් එක්ක ICN සමාගම ඖෂධ වෙළඳපොළේ තරමක පිළිගැනීමක් ලබා ගන්න සමත් වුණා. කුඩා ඖෂධ සමාගම් කිහිපයක්ම  සමග එකතු වී තමන්ගේ ව්‍යාපාරය වඩාත් දියුණු කරගන්නත් ICN සමත් වුණා. කොහොම නමුත් 2002 දී පැනීච් මූල්‍ය වංචා පිළිබඳ චෝදනා ලැබීමත් එක්ක ICN එකෙන් ඔහුට ඉවත් වන්නට සිදු වුණා. ඒ සමග තමයි ICN තම නාමය Valeant ලෙස වෙනස් කර ගත්තේ.

ඉන් පසුව 2008 දක්වා කාලයේ ඔවුන් ඉහළ මට්ටමේ ඖෂධ සමාගමක් විදිහට කටයුතු කරමින් පර්යේෂණ කටයුතු කරගෙන ගියා. 2006 දී Valeant සමාගම Cesamet කියන කෘත්‍රීම කංසා ආදේශකය නිෂ්පාදනය කරන්න සමත් වුණා. ඉතා සාර්ථක වූ මේ බෙහෙත විවිධ කංසා වර්ග පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්න තිබුණු සීමාවලින් වැළකෙන්න සාර්ථක ආදේශකයක් වුණා. ඔවුන් ඩොලර් මිලියන 14 ක් ගෙවා මෙය යුරෝපයේ අලෙවි කිරීමේ තනි අයිතිය ලබා ගත්තේ ඉන් පසුව යි.

මයික් පියර්සන් මුල් පුටුවට පත්වීම

මයික් පියර්සන් (businessinsider.sg)

සාමාන්‍ය ඖෂධ සමාගමක් විදිහට නව ඖෂධ ගැන පර්යේෂණ කරමින්, සාර්ථක වෙන ඒවා නිෂ්පාදනය කර වෙළඳපොළ වෙත නිකුත් කරමින් ඖෂධ අලෙවියේ යෙදී සිටි Valeant සමාගමේ ගමන් මඟ වෙනස් වුණේ 2008 දී මයික් පියර්සන් මුල් පුටුවට පැමිණීමත් එක්ක යි. වසරක පමණ කාලයක් උපදේශකවරයෙක් ලෙස සේවය කළ ඔහු Valeant සමාගම භාර ගැනීමත් එක්ක එය ලාභ ලබන ව්‍යාපාරයක් කරන හැටි ගැන පුළුල් අධ්‍යයනයක යෙදුණා. ඔහුගේ තීරණය වුණේ වියදම් අධික කටයුතු ඉවත් කර ලාභ වැඩි අංශ වඩා දියුණු කිරීම යි.

ඒ අනුව පියර්සන් Valeant හි ලාභ අඩුවෙන් තිබූ නැගෙනහිර සහ බටහිර යුරෝපීය ශාඛා ස්වීඩන් ජාතික ඖෂධ සමාගමක් වූ Meda AB වෙත විකුණා දමන්න කටයුතු කළා. මේ ගණුදෙනුව හරහා ඩොලර් මිලියන 392 ක දැවැන්ත මුදල් ප්‍රමාණයක් සමාගමට ගෙන එන්න පියර්සන්ට හැකි වුණා.

සාමාන්‍යයෙන් මේ වගේ දැවැන්ත මුදල් ප්‍රමාණයක් හිමි වීමෙන් පසුව සාමාන්‍ය ඖෂධ සමාගමක් උත්සාහ ගන්නේ ඒ මුදල් යොදවා විවිධ ලෙඩ රෝග සඳහා ගත හැකි නව බෙහෙත් වර්ග පිළිබඳව පර්යේෂණ සිදු කිරීම යි. කොහොම වුණත් හැම දෙයක්ම ව්‍යාපාරික ඇසකින් දුටු මයික් පියර්සන් මේ ක්‍රමය කාර්යයක්ෂමතාව සහ ප්‍රතිලාභ අතින් අඩු ක්‍රමයක් ලෙස දැක්කා. ඔහුගේ අදහස වුණේ ඒ වන විටත් සාර්ථකව අලෙවි වෙමින් තිබූ තනි අයිතීන් සහිත බෙහෙත් වර්ග නිපදවන සමාගම් මිලට ගැනීම වඩා ලාභදායී බව යි.

මුල් කාලයේ දිගටම වෙනත් සමාගම් මිලට ගැනීම

Meda AB වෙත Valeant හි යුරෝපීය අංශ විකුණා ලද මුදල්වලින් පියර්සන් මුලින්ම ඉහළ සාර්ථකත්වයක් සහිත ඖෂධ පර්යේෂණාගාරයක් වූ Coria Laboratories මිල දී ගන්න කටයුතු කළා. 2008 සැප්තැම්බර් මාසයේ සිදු වූ මේ ගණුදෙනුවට වැය වූ මුදල ඩොලර් මිලියන 95ක්. ඊට මාස දෙකක් යන්නටත් පෙර පියර්සන් චර්ම රෝග ආශ්‍රිත බෙහෙත් ගණනාවක් නිපදවන DermaTech සමාගම ඩොලර් මිලියන 12.6 කට මිල දී ගන්න කටයුතු කළා.

DermaTech ගණුදෙනුවත්  සමග Valeant සතු වූ බෙහෙත් වර්ග (slidesharecdn.com)

තවත් මාස දෙකක් ඇතුළත Meda AB ගණුදෙනුවේ මුදල් මෙන්ම Valeant සමාගමේ මුදල් ද යොදවා ඉහළ පෙළේ ඖෂධ පර්යේෂණ සමාගමක් වූ Dow Pharmaceutical Sciences 2009 ජනවාරි මාසයේ දී මිල දී ගන්නට කටයුතු කළේ ඩොලර් මිලියන 285 ක දැවැන්ත මිලකට යි. ඒ වන විටත් Valeantහි ක්‍රියාකාරීත්වය දුටු බොහෝ ආයෝජකයන් ඒ එක්ක රොද බඳින්න වීමත් සමග ඇති තරම් ණය මුදල් සොයා ගැනීම පියර්සන්ට අපහසු වුණේ නැහැ. 2009 ජූලි මාසයේ දී මෙක්සිකානු බෙහෙත් සමාගමක් වූ Tecnofarma මිලට ගන්නත්, 2009 දෙසැම්බර් මාසයේ දී තම කැනේඩියානු ශාඛාව වෙත Laboratoire Dr. Renaud සමාගම මිලට ගන්නත් පියර්සන් කටයුතු කළා.

2010 මාර්තු මාසයේ දී බ්‍රසීලියානු ඖෂධ සමාගමක් සහ එහි නිෂ්පාදිත අංශය ඩොලර් මිලියන 56ක් ගෙවා ලබා ගන්නත් පියර්සන් කටයුතු කළා. ඉන් මාසයක් ගත වෙන්නටත් පෙර 2010 අප්‍රේල් මාසයේ දී Vital Science Corp. සිය කැනේඩියානු ශාඛාව හරහා මිලට ගන්නටත්, තවත් මාසයකට පසු ඩොලර් මිලියන 318ක දැවැන්ත මුදලක් ගෙවා Aton Pharmaceuticals සමාගමත් මිල දී ගන්නට පියර්සන් කටයුතු කළා.

Biovail  සමග අනුබද්ධ වී කැනඩාවට ගෙන යාම සහ දිගටම සමාගම් මිලට ගැනීම

Biovail හි හිටපු විධායක අධ්‍යක්ෂක බිල් වෙල්ස් (theglobeandmail.com)

2010 සැප්තැම්බර් මාසයේ දී කැනඩාවේ Biovail ඖෂධ සමාගම සමග Valeant හි මෙහෙයුම් කටයුතු අනුබද්ධ කළ මයික් පියර්සන් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දිගටම කටයුතු කරන්නට නිතරගයෙන් පත් වුණා. නව සමාගම Valeant ලෙසම නම් කර එහි මෙහෙයුම් කටයුතු බදු ප්‍රතිශත අවම කැනඩාවට ගෙන යන්නටත් කටයුතු කෙරුණා. මේ කාලයේ ලෝකයම මුහුණ දුන්නු දැඩි ආර්ථික අර්බුදය හමුවේ පවා පියර්සන්ගේ නායකත්වයෙන් යුතු Valeant සමාගමේ කොටස් මිලේ යම් වර්ධනයක් පැවතීම විශේෂ සංසිද්ධියක්. මිල දී ගත් ආයතන සතු ලාභදායී බෙහෙත් අලෙවියෙන් මුදල් සම්භාරයක් Valeant වෙත ගලා එන්නට පටන් ගත්තා.

සමාගම් මිලට ගැනීම පියර්සන් දිගින් දිගටම කරගෙන ගියේ එන්න එන්නම විශාල ගණුදෙනුවලට අත් ගසමින්. 2011 පෙබරවාරි මාසයේ දී PharmaSwiss S.A. සමාගම ඩොලර් මිලියන 483කට මිල දී ගැනීමට කටයුතු කිරීමෙන් පසුව මාසයක් යන්නත් පෙර ඔහු ඇමරිකාවේ විශාලතම ඖෂධ සමාගමක් වූ Cephalon Inc. වෙත ඩොලර් බිලියන 5.7ක අති විශාල ලංසුවක් ඉදිරිපත් කෙරුවේ ලෝකයම මවිත කරමින්. කොහොම වුණත් ඒ වන විට කැනේඩියානු සමාගමක් වූ Valeant වෙත මේ ආයතනය පැවරීමට ඇමරිකානු රජය අවසර ලබා දුන්නේ නැහැ.

කොහොම නමුත් එයින් අධෛර්යමත් නොවුණු මයික් පියර්සන් මාසයකට එකක් දෙකක් බැගින් ඩොලර් මිලියන සිය දහස් ගණන් වැය කරමින් ලාභ ලබන ඖෂධ සමාගම් දුසිම් ගණනින් මිල දී ගන්න පටන් ගත්තා. 2012 වන විටත් ඉන් ඇතැම් ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවා ගියා. 2012 අගෝස්තුවල දී Medicis Pharmaceutical ඩොලර් බිලියන 2.6කටත්, 2013 මාර්තුවල දී Bausch & Lomb සමාගම ඩොලර් බිලියන 8.7කටත් මිල දී ගැනීම ඉන් ප්‍රධාන යි.

කොටස් මිල ඉහළ නැගීම සහ ආයෝජක ප්‍රතිලාභ

කොටස් වෙළඳපොළ තුළ Valeant රන් ආකාරයක් කියලයි සැලකුණේ (aswathdamodaran.blogspot.com)

මයික් පියර්සන්ගේ අමුතු ව්‍යාපාරික මොඩලය නිසා Valeantහි කොටස් මිල ඉහළ නැග්ගේ රොකට්ටුවක් ඉහළ යනවා වගේ. 2010 දී කැනඩාවට ගෙන යන විට ඩොලර් 13ක මට්ටමේ තිබුණු කොටස් මිල වසර හතරක් ඇතුලත ඩොලර් 130 ක් දක්වා ඉහළ ගියා. මේ නිසා Valeant වෙත ආයෝජකයන් ආවේ කාටවත් හිතාගන්න බැරි විදිහට. ආර්ථික අර්බුදයකින් ගොඩ එද්දී ලෝකයේම ව්‍යාපාරික ප්‍රතිලාභ අවම මට්ටමක තිබුණු සමයක වසර කිහිපයකින් ආයෝජනය 10 ගුණයක් ලබා දෙන ආයතනයක් ගැන විශ්වාස කිරීමත් බොහෝ දෙනෙකුට අපහසු වුණා.

Valeant ලාභ ලබන්නට ප්‍රධානතම හේතුව වුණේ මයික් පියර්සන් මේ හැම සමාගමක්ම මිලට ගත් විගස ඒවායේ ඖෂධ පර්යේෂණ කටයුතු වසා දමන්න කටයුතු කිරීම නිසා යි. අධික වියදමක් දැරීමට සිදු වන, සාර්ථකත්වය ගැන අවිනිශ්චිතභාවයක් තිබූ නව බෙහෙත් සොයා ගැනීම වෙනුවට දැනට ඒ ආයතනවලට බලපත්‍ර හිමි, දිගින් දිගටම ලාභ ලැබිය හැකි බෙහෙත් වර්ග දිගටම නිෂ්පාදනය කරන්නට වැඩි අවධානයක් දීම පියර්සන්ගේ පිළිවෙත වුණා. පර්යේෂණ වියදම් ඉතා අවම වීම නිසා Valeant ලාභ ලැබුවේ හිතා ගත නොහැකි විදිහට.

එපමණක් නෙවෙයි, නිතරම තනි බලපත් හිමි ආයතන මිල දී ගැනීමත් එක්ක ඒ බෙහෙතේ සම්පූර්ණ වෙළඳපොළ තමන් සතු වීම නිසා වහාම ඒ බෙහෙත්වල මිල හිතුමනාපෙට ඉහළ දමන්නත් පියර්සන් කටයුතු කළා. අසරණ රෝගීන්ට අලුත් මිල ගෙවා බෙහෙත් ලබා ගන්නවා හැර කරකියා ගත හැකි දෙයක් තිබුණේ නැහැ.

ඇලර්ජන්, ඇක්මන් සහ ඇමරිකානු ජනාධිපතිවරණය

Botox හි වයස සැඟවීමේ හැකියාව (feelsynergy.com)

ඒ වන විට පාඩු ලබමින් තිබුණු සුවිශාල ඖෂධ සමාගමක් වුණේ Allergan සමාගම යි. ලොව පුරාම ධනවතුන් සහ ජනප්‍රිය පුද්ගලයන් වයස සඟවා ගන්නට භාවිත කරන botox එන්සයිමය ඔවුන්ගේ නිෂ්පාදනයක්. කාලයක් පුරාවට මේ සමාගමේ කොටස් මිල දී ගමින් 10%ක පමණ කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියන්න සමත් වී සිටි බිල් ඇක්මන් නමැති බිලියනපතියා සමග කුළුපඟ වූ මයික් පියර්සන් Allergan සමාගම වෙනුවෙන් ඩොලර් බිලියන 47ක දැවැන්ත ලංසුවක් ඉදිරිපත් කළා. පසුව එය ඩොලර් බිලියන 53ක් දක්වා ඉහළ දමන්නටත් ඔහු කටයුතු කළා. ඇක්මන් සතුව Allergan සමාගමේ කොටස් 10%ක් තිබීම එහි අධ්‍යක්ෂක මණ්ඩලය නම්මා ගන්න උපායක් ලෙස භාවිත වුණා.

කෙසේ නමුත් ඒ වන විට පියර්සන්ගේ ක්‍රියාකලාපය බොහෝ ඖෂධ සමාගම් පිළිකුල් කරමිනුයි තිබුණේ. මිල දී ගත් වහාම පර්යේෂණ අංශ වසා දමා මුදල් ගැන පමණක් හිතන නිසා රෝගීන් සහ මහජනතාව අතර තිබූ ප්‍රසාදය පවා ඒ වන විට Valeant සමාගම්වලින් ඈත් වී තිබුණා. අවසානයේ මේ උත්සාහය ව්‍යර්ථ කරමින් Allergan සමාගම ඩොලර් බිලියන 66ක මිලකට ලබා ගන්න Actavis ඖෂධ සමාගම කටයුතු කළා. මෙය පියර්සන් මුහුණ දුන්නු මුල්ම විශාල බාධකය ලෙස සැළකෙනවා. ඒ සමගම Valeantහි කොටස් මිලත් 10%කින් පමණ කඩා වැටුණා.

ඩොලර් 13.5ක ඖෂධයක් එක රැයින් ඩොලර් 750ක් කළ ශ්‍රකේලි (newshub.co.nz)

2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු පටන් ගැනීමත් එක්ක ඖෂධ සමාගම්වල ක්‍රියාකලාපය ගැන සමාජය තුළ විශාල සංවාදයක් ඇති වුණා. එයට ප්‍රධාන හේතුවක් වුණේ 2015 දී මාටින් ශ්‍රකේලි නමැති තරුණ ඖෂධ සමාගම් ප්‍රධානියෙක් අත්‍යාවශ්‍ය ඖෂධයක් ලෙස සැළකෙන Daraprim නැමති ඖෂධයේ මිල එකවරම ඩොලර් 13.5ක සිට ඩොලර් 750ක් දක්වා 5600%කින් ඉහළ දැමීමට කටයුතු කිරීමත් එක්ක යි. Valeant සමාගමත් සියලුම බෙහෙත්වල මිල විශාල ප්‍රමාණවලින් ඉහළ දැමීම සිදු කරමින් සිටි නිසා ඔවුන්ටත් ඊට සමාන චෝදනාවක් එල්ල වුණා. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් මහත්මිය මේ ගැන කතා කිරීමත් එක්ක පොදුවේ ඖෂධ සමාගම් ලෙඩුන් සූරා කෑම ගැන පුළුල් සංවාදයක් ඇති වුණා.

සමාගමේ කොටස් මිල කඩා වැටීම

2015 දී Valeant සමාගම මිලට ගත් ආයතන සතු වූ හදවත් රෝග සඳහා ලබා දෙන Nitropress සහ Isuprel බෙහෙත් වර්ග මිලට ගත් වහාම 212%කින් සහ 525%කින් මිල ඉහළ දැමීමත් එක්ක ඇමරිකානු කොන්ග්‍රස් සභාව Valeant ගැන පර්යේෂණයක් ආරම්භ කළා. ඒ අතරේම ඔවුන් මිලට ගත් දියවැඩියා ඖෂධයක් වූ Glumetza හි මිල 800%කින් ඉහළ දැමීමත් එක්ක සමාජය තුළත් Valeant ගැන නොසන්සුන් බවක් ඇති වෙන්න පටන් ගත්තා.

කොන්ග්‍රස් සභාවේ කරුණු විමසීම (wsj.net)

කොන්ග්‍රස් පර්යේෂණයෙන් පෙන්නුම් කෙරුණේ Valeant හි මූල්‍ය තත්ත්වය විශාල අර්බුදයක තිබෙන බව යි. සාමාන්‍ය ඖෂධ සමාගම් සිය ආදායමෙන් 20%ක් පමණ පර්යේෂණ කටයුතුවලට වැය කරද්දී Valeant සමාගම එයට 3%ක් පමණ වැය කරමින් අධික ණය ප්‍රමාණයක් ලබා ගන්නටත්, එයින් තව තවත් ආයතන මිල දී ගැනීමටත් කටයුතු කරන නිසා මෙය බෙහෙත් මිල දැඩි ලෙස ඉහළ නොදමා පවත්වාගෙන යා නොහැකි ව්‍යාපාරික සංකල්පයක් බව ඔවුන් පෙන්වා දුන්නා.

මේ නිසා එන්න එන්නම Valeant සමාගම පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන්න ගත්තා. 2015 දී ඩොලර් 260 කටත් වඩා ඉහළ ගිය සමාගමේ කොටස් මිල මාස කිහිපයක් තුළ 90%කටත් වඩා කඩා වැටුණා. ඩොලර් බිලියන ගණනක ආයෝජන අපතේ ගියා. ඇති වූ පීඩනය සහ වංචා පර්යේෂණ හමුවේ මයික් පියර්සන්ට සමාගමට සමු දීමටත් සිදු වුණා.

වර්තමාන තත්ත්වය

මේ වන විටත් Valeant සමාගම පැවතුණත් එය නව ප්‍රධානී ජෝසප් පාපා යටතේ Bausch Health නමින් නැවතත් සාමාන්‍ය ඖෂධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. විවිධ වංචනික කටයුතු පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදු කෙරුණත් නීතිමය වශයෙන් පියර්සන්ගේ ක්‍රියාකලාපයේ වරදක් සොයා ගත නොහැකි වීම ඇමරිකානු ඖෂධ වෙළඳපොළේ නියාමනය ගැන බරපතල ගැටළු ගණනාවක් පමණක් ඉතිරි කළා.

(financialpost.com)

කොහොම නමුත් Valeant හි නැගීම සහ බැසීම ලෝකයේම ඇස් විවෘත කරන්න සමත් වුණා. සදාචාරය සහ ලෙඩුන්ගේ තත්ත්වය ගැන නොසිතා ඖෂධ සමාගමකින් හිතුමනාපෙට ලාභ ලැබිය හැකි ආකාරය ගැන පියර්සන් අපට කියා දුන්නා. මේ වන විටත් ලෝකය පුරාම පිහිටි ඖෂධ සමාගම් මෙවැනි දේ අඩු වැඩියෙන් කරනවා ඇති. “ලෙඩ රෝග වවාගෙන කන” මේ සමාගම් අපට නැවත නැවතත් මතක් කරන්නේ “නීරෝගීකම පරම ධනය” කියන යථාර්ථය යි.

කවරයේ රූපය : cofa.org.ar

Related Articles