Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් හිස ඔසවන අප්‍රිකාවේ මරණීය අඳෝනාව- ඉබෝලා

“ඉබෝලා” කියපු සැණින් ඔබට මතක් වෙන්නේ, අප්‍රිකානු මහාද්වීපය පුරා පැතිරී යන මරණීය අඳෝනාවක් නේද? 2014 -2016 කාල සීමාව තුළ දී බටහිර අප්‍රිකාවේ වසංගත තත්ත්වයක් දක්වා දරුණු ලෙස ව්‍යාප්ත වූ ඉබෝලා වෛරසය, නැවතත් මධ්‍යම අප්‍රිකාව තුළ හිස ඔසවන්න පටන් අරන්.

1976 සිට මේ දක්‌වා ඉබෝලා වසංගතය 40 වතාවක්‌ පමණ හිස ඔසවා ඇති අතර, ඒ හේතුවෙන් වරකට සිය ගණන් මිනිසුන් ලෝකය පුරා මරණයට පත් වෙනවා. වර්තමානය වන විටත් ඉබෝලා වෛරසය හිස ඔසවන රාජ්‍යයක් ලෙස මධ්‍යම අප්‍රිකාවේ කොන්ගෝ ජනරජය නම් කර තිබෙනවා.

ඉබෝලා වෛරසයේ ඉතිහාසය

1976 දී ඉබෝලා සඳහා ප්‍රතිකාර කරන කණ්ඩායමක සාමාජිකයෙක් (BBC.com)

ඉබෝලා වෛරසයේ පළමු හිස එසවීම නිරීක්ෂණය වන්නේ අප්‍රිකානු රටක් වන කොන්ගෝ ජනරජයෙන්. මුලින්ම මෙම වෛරසය පිළිබඳ ව නිවැරදි ව කරුණු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ, මැලේරියා උණ සඳහා යි. එයට හේතුවක් වන්නේ මෙම වෛරසය ශරීර ගත වූ පසුව හිසේ කැක්කුම, ශරීරයේ වේදනාව, හා උණ වැනි රෝග ලක්ෂණ ඇති වීම යි. ඒ හේතුවෙන් වෛරසය වැළඳුණු පුද්ගලයන් 318 දෙනෙකුගෙන් 38 දෙනෙකු පමණක් ඉතිරි වී අනෙක් සෑම දෙනාම මරණයට පත් වෙනවා.

ඉබෝලා වෛරසයේ පළමු හිස එසවීම කොන්ගෝ හි ඉබෝලා ගංගාව ආශ්‍රිත ප්‍රදේශයක සිදු වූ බැවින් එය “ඉබෝලා වෛරසය” ලෙස හඳුන්වනවා.

එම වසරේ ම සුඩානයේ මෙම වෛරසය ව්‍යාපත් වූ අතර, ඒ හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය 151 දෙනෙක් දක්වා ඉහළ යනවා.

ඉබෝලා වෛරසය

වෛරසය (ABS-CBN News)

Filoviridae වෛරස් කාණ්ඩයට අයත් වෛරස් අතරින් එකක් වන ඉබෝලා වෛරසයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහක් දකින්න පුළුවන්. ඒවා Zaire, Bundibugyo, Sudan, Reston, හා Taï Forest නමින් නම් කළ හැකි යි.

ඉහත දක්වූ වෛරස් පහෙන් පළමුවෙන් දක්වා තිබෙන වෛරස් තුන අප්‍රිකාව තුළ කිහිපවරක් ම දරුණු ලෙස හිස ඔසවා තිබෙනවා. 1976 වසරෙන් පසු ව බටහිර අප්‍රිකාවේ ඇති වූ දරුණු ම ඉබෝලා වෛරස් වසංගතය වූ 2014 – 2016 වසංගතයේ දී  ක්‍රියාත්මක වන්නේ Zaire වෛරසය යි.

මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ වවුලන් වර්ගයකින් බව සොයා ගන්නවා. 2014 වසරේ ඇති වූ මහත් ව්‍යවසනයේ නිර්මාණකරුවන් වන්නේ මෙම වවුලන් වර්ගය බව යි පැවසෙන්නේ.

ඊට අමතර ව වැසි වනාන්තර ආශ්‍රිත ව ජීවත් වෙන මනුෂ්‍යයන්ට වනාන්තර තුළ ආසාධිත හෝ මියගිය වඳුරන්ගෙන්, චිම්පන්සියන්ගෙන්, හා ගෝරිල්ලන්ගෙන් ද මෙම වෛරසය සම්ප්‍රේෂණය වී තිබෙනවා.

මෙහි වඩාත් ම භයානක බව වන්නේ ආසාධිත වූ මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වීම යි. ඒ අනුව රුධිරය, මුත්‍රා, කෙළ, මවුකිරි, යෝනි ශ්‍රාව, හා ශුක්‍ර තරල ඔස්සේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වෙනවා.

ඒ අනුව පුද්ගලයෙකුගේ ශරීරයෙන් ශ්‍රාවය වූ ඕනෑම ශ්‍රාවයක් තවත් පුදගලයෙකුගේ ශරීරයකට ඇතුළු වුවහොත්, එම පුද්ගලයා ද ආසාධිතයෙක් බවට පත්වෙනවා.

2014 දී ඇති වූ විනාශකාරී වසංගතය

2014 වසරේ සියේරා ලියෝන් හි දර්ශනයක් (Newsweek)

2013 වසරේ අවසන් මාසයේ සිට 2016 දක්වා ඉබෝලා වෛරසය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හිස ඔසවන අතර, ඒ හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල් වන සියේරා ලියොන්, ඝානා, හා ලයිබීරියාවේ පුද්ගලයන් 11,308ක් මරණයට පත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාරවල යෙදෙන කණ්ඩායම්වල සමාජිකයන් විශාල පිරිසක් ද මරණයට පත් වන්නේ වෛරසයට නිරාවරණය වීමෙන්.

එය ඉතිහාසයේ වූ විශාලම ඉබෝලා වසංගතය යි. මෙම වසංගත කාලයේ දී වැඩිම පිරිසක් මරණයට පත් වෙන්නේ ලයිබීරියාවේ යි. එම ප්‍රමාණය 5000කට ආසන්න යි.

වසංගතය නිමා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන විශාල පරිශ්‍රමයක් දරන අතර, 2016 වසරේ ජූනි 9 වන දා අවසන් ඉබෝලා රෝගියාත් සුව වී රෝහලෙන් පිට වූ බවට ලයිබීරියාව සඳහන් කළ පසු එම වසංගත කාලය නිම වූ බවට නිවේදනය කරනවා.

2014 – 2016 කාල සිමාවේ දී වෛරසය ඉතාලිය, නයිජීරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, හා ස්පාඤ්ඤය වැනි රටවලට ද පැතිර යනවා.

කොන්ගෝවේ දී නැවතත් හිස ඔසවයි

ඉතා ඉක්මනින් බෝවෙන බැවින් ප්‍රතිකාර කණ්ඩායම්වල සාමාජිකයන් ඉතා හොඳින් ආවරණ පැලඳිය යුතු යි (Vox)

2017 වසරේ මැයි මාසය වන විට මෙම වෛරසය නැවතත් කොන්ගෝ රාජ්‍ය තුළ ඉස්මතු වෙනවා. මේ හේතුවෙන් හතර දෙනෙකු මරණයට පත්වෙන අතර, ඉන් මාස දෙකකට පසු වසංගත තත්ත්වය නිමා වූ බව එක්සත් ජාතින් විසින් නිවේදනය කරනවා.

2018 වසරේ අගෝස්තු මාසයේ දී නැවතත් ඉබෝලා වෛරසය Kivu හා Ituri ප්‍රදේශවල ව්‍යාප්ත වෙනවා. එහි දී එය ඉබෝලා වෛරසය බවට පළමුවෙන් ම සනාථ වෙන්නේ අගෝස්තු 15 වන දා යි. මෙවර වසංගතය ඇති වූ ප්‍රදේශයේ යුධ ගැටුම් පැවතීම නිසා රෝග නිවාරණය සඳහා එක්සත් ජාතීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව සඳහන්.

ඔක්තෝම්බර් 14 දා වන විට 24 දෙනෙකු ඉබෝලා හේතුවෙන් මරණයට පත් වී සිටි අතර, ඒ හේතුවෙන් මෙම වසංගතය අවදානම් මට්ටමේ සිට දැඩි අවධානම් මට්ටමට ළඟා වූ බවට නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා.

ප්‍රබලත්වය අතින් දෙවන තැනට

2018 වසරේ කොන්ගෝ රාජ්‍යයයේ දර්ශනයක් (ABC News)

2018 වසරේ නොවැම්බර් මාසය වන විට එය, 2014 – 2016 වසරවල වසංගතයට පමණක් දෙවැනි වන බව එක්සත් ජාතීන් විසින් ප්‍රකාශ කරනවා. 2019 වසරේ ජනවාරි 7 දා වන විට මෙවර ඇති වූ වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 382ක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් වාර්තා කරනවා.

ඇතුල්වීම තහනම් කර ඇති ප්‍රදේශ (Trading Risk)

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියා මාර්ග නොගැනීමෙන්, එය ඉතිහාසයේ දරුණුම ඉබෝලා වසංගතය බවට පත්වීමට හැකියාව තිබෙන අතර, 2019 වසර මරණයේ අවුරුද්ද ලෙස ඉතිහාසය තුළ ලියැවීමට ද ඉඩකඩ තිබෙනවා.

කවරයේ පින්තූරය: Al Jazeera

මූලාශ්‍රයයන්:

who.int

cdc.gov

independent.co.uk

Related Articles