Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දාම ඝාතකයෙකු වූ බුද්ධිමතා- එඩ්මන්ඩ් කෙම්පර්

ඝාතකයෙකු කියූ සැනින් බොහෝ දෙනාගේ සිතෙහි මැවෙන්නේ ප්‍රසන්න නොවන රූපකායක් සහිත උසස් බුද්ධියක් නොමැති අයෙක්ව යි. කෙසේනමුත්, ඉතිහාසය පිරික්සීමේ දී එය අසත්‍යක් වූ අවස්ථා කොතෙකුත් අපට හමුවනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ එඩ්මන්ඩ් කෙම්පර් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් තිබූ තැනැත්තෙක්. ඉහළට අධ්‍යාපනය හැදෑරීමට ඔහුට අභිප්‍රායක් තිබුණත් ඒ සියල්ල පරයා නැගුණු ආශාවක් ඔහුට තිබුණා. ඒ මිනිසුන්ගේ ලේ සොලවා තෘප්තිමත් වීම යි.

පසුබිම සකස් වීම

1948 වසරේ දෙසැම්බර් මස 18 වන දා කැලිෆෝනියාවේ දී උපන් එඩ්මන්ඩ් කෙම්පර් කුඩා කළ සිටම බුද්ධිමත් දරුවෙකුගේ ලක්ෂණ ප්‍රකට කළා. පසුකාලීනව සොයා ගත්තේ ඔහුගේ බුද්ධි මට්ටම ඒකක 145ක් හෙවත් සාමාන්‍ය මිනිසෙකුට වඩා බොහෝ ඉහළ අගයක් බව යි.

බුද්ධි මට්ටම පිළිබඳව නිරතුරු පැසසුම් ලැබුවත්, කුඩා කළ ඔහු නිතරම චෝදනා ලැබුවේ විවිධ අයට අඩන්තේට්ටම් කිරීමට පෙලඹීම නිසා යි. තම සොයුරියගේ බෝනික්කන් ඉරා දමමින් පටන් ගත් මේ ප්‍රචණ්ඩත්වය බොහෝ දුර යාවියැ යි එකල කිසිවෙකුත් සිතුවේ නැහැ. කෙසේනමුත්, ඉහළ බුද්ධිය හා ප්‍රචණ්ඩත්වය එක්කාසු වී ඔහු තුළ ඉතා දරුණු ඝාතකයෙක් නිර්මාණය වෙමින් තිබුණා.

කෙම්පර්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමෙහි ලා ඔහුගේ පවුල් පසුබිමත් බලපෑවා. එඩ්මන්ඩ්ගේ පියා දෙවන ලෝක යුධ සමයෙහි යුධ වැදුණු හමුදා නිලධරයෙකු වූ අතර, ඔහු විවාහ වී සිටියේ කානෙල් එලිසබෙත් කෙම්පර් නම් තැනැත්තියක් සමග යි. එඩ්මන්ඩ්ගේ මව කානෙල් ඉතා දැඩි ලෙස මධුවිත පානයට ඇබ්බැහිව සිටි අතර, යම් මානසික ආබාධයකින් පෙළුණු අයෙක් ද වුණා. මේ නිසා දෙමහල්ලන් අතර නිතර අඩදබර හා ගුටිබැට හුවමාරු සිදුවුණා. එඩ්මන්ඩ්ගේ පියා නිතරම පැවසූ දෙයක් වූයේ යුධ පිටියේ ගත කළ කාලය සිය බිරිය සමග කල් ගෙවනවාට වඩා ආරක්ෂාකාරී මෙන්ම සතුටුදායක බව යි. කානෙල් ඔහුට සිය පුතු නැළවීමට ඉඩ ලබා නොදුන්නේ එමඟින් ඔහු සමරිසි අයෙක් වේයැ යි පවසමිනුයි.

කුඩාකල පෙන්වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම්

කුඩාකල සිටම එඩ්මන්ඩ් නිතරම කිසිවෙකුට හෝ අඩන්තේට්ටම් සිදුකළා. පාසැල් යාමට පෙර සිය සොයුරියගේ බෝනික්කන්ට පිහි පහර දී එහි මධ්‍යයේ ඇති දේ ඉවතට ඇදීමට ප්‍රිය කළ ඔහු දෙවන වසරේ සිටිය දී පන්තිභාර ගුරුවරියට කැපෙන ආයුධයකින් අඩන්තේට්ටම් සිදුකර තිබුණා. දසවන වියේ දී ඔහු සිය නිවසෙහි වූ සුරතල් බිලාලයා මරා දැමූ අතර, 13 වැනි වියේ දී තවත් සුරතල් සතෙකු ඝාතනය කළා. එම සත්ත්වයා කැබලි කළ ඔහු සිය මවට ඒවා හසුවන තුරු ඒවා සිය ලාච්චුවෙහු බහා තබාගත්තා.

එඩ්මන්ඩ්ගේ මව (වමේ), සීයා, හා මිත්තණිය- bizarrepedia.com

එඩ්මන්ඩ් 15 හැවිරිදි වන විට ඔහුගේ පියා ඔහුගේ පවුල හැරදා නික්මුණා. නිවසෙහි ඉතිරි වූයේ එඩ්මන්ඩ්, ඔහුගේ මව, හා සොයුරියන් දෙදෙනා පමණයි. එඩ්මන්ඩ්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඒ වන විටත් වටහාගෙන හුන් ඔහුගේ මව සොයුරියන් දෙදෙනා සමග ඔහු තැබීමට බිය වුණා. මේ වන විටත් අඩි 6 කුත් අඟල් 4ක් උස්ව ශක්තිමත්ව වැඩී සිටි ඔහු පාලනය කිරීම පහසු වූයේ නැහැ. ඇය නිතරම ඔහුට බැන වැදුණේ කිසිදිනෙක කිසිවෙකුත්  ඔහුට ආදරය නොකරනු ඇති බැව් පවසමිනුයි.

මේ තදාසන්නවම නිවසින් පැන යන එඩ්මන්ඩ්, සිය පියා සොයා යනවා. මේ වන විට නැවත විවාහ වී සිටි ජ්‍යෙෂ්ඨ කෙම්පර් එඩ්මන්ඩ්ගේ සීයා හා මිත්තණිය ළඟ ඔහු නතර කරනවා. කෙසේනමුත් එහිදී ද ඔහුගේ ප්‍රචණ්ඩාකාරී හැසිරීම්වල අඩුවක් නොවූ අතර, එය උපරිමයට පත් වූ දිනෙක ඔහු පිස්තෝලයක් ගෙන ඉන්, සිය මිත්තණියගේ හිසට වෙඩි තබනවා. මෙය සිය සීයා දැනගනීවියැ යි බිය වූ ඔහු, ඒ වන විට නිවස කරා එමින් සිටි සීයාටත් වෙඩි තබා ඝාතනය කරනවා. ඉන් අනතුරුව සිය මවට දුරකථන ඇමතුමක් ගන්නා ඔහු විස්තරය පවසා කුමක් කළ යුතුදැ යි විමසනවා. අනතුරුව ළඟම ඇති පොලිසියට භාර වෙනවා.

ඝාතන රැල්ල ඇරඹෙයි

පොලිසිය මඟින් එඩ්මන්ඩ් මානසික ප්‍රතිකාර සඳහා යොමුකරවන අතර, එහිදී ඔහුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කිරීම සිදුවෙනවා. ඔහු ඉතා බුද්ධිමත් අයෙකු බැව් ඉන් තහවුරු වෙනවා. ඔහුගේ 21 වැනි උපන්දිනය දා ඔහු නිදහස් ලබන අතර, ඒ වන විට ඔහු අඩි 6කුත් අඟල් 9ක් උස්ව සිටියා. ඔහු සිය මවත් සමග යළි ජීවත් වීම අරඹනවා.

කෙටි කලෙකින් එඩ්මන්ඩ් තනිවම ජීවත් වීම අරඹන අතර, එහිදී ඔහු උතුරු කැලිෆෝනියාවේ ස්ථාන කිහිපයකම ජීවත් වෙනවා. මේ කාලයේ දී ඔහු මෙතෙක් කල් සිය සිතෙහි සඟවාගෙන සිටි ආශාවක් මුදුන් පමුණවා ගන්නට පටන්ගන්නවා. ඒ ඝාතන සිදුකිරීමයි. තරුණියන් හට ප්‍රවාහන පහසුකම් සපයන මුවාවෙන් ඔවුන් පැහැරගෙන වුත්, ඝාතනය කොට මළසිරුරු සමග ලිංගිකව එක්වීම ඔහුට තෘප්තියක් ගෙන ආවා. අනතුරුව ඔහු එම සිරුරු කැබලිවලට වෙන් කළා.

එඩ්මන්ඩ් කෙම්පර්ගේ ගොදුරු කිහිපයක්- thesun.co.uk

එඩ්මන්ඩ්ට මුලින්ම ගොදුරු වූයේ මේරි ඈන් පෙස්ක් හා ඇනිට ලුචෙසා යන දෙදෙනා යි. මොවුන් දෙදෙනා පැහැරගෙන ආ ඔහු, මුලින් උත්සාහ කළේ ඔවුන් දූෂණය කරන්නට පමණක් වුවත්, පොරබැදීමක් සිදු වූ නිසා අවසන, ඔහු ඔවුනට පිහියෙන් ඇන, ගෙල සිරකර ඝාතනය කරනවා. සිය නවාතැන අසල වන ලැහැබක දී සිදු වූ මේ සිද්ධියෙන් අනතුරුව ඔහු මෙම සිරුරු සිය නිවෙස ගෙනවුත් ලිංගික එක්වීම හා කැබලි කිරීම සිදුකරනවා. අනතුරුව එම කොටස් අසල වූ කඳුගැටයකින් පහළට විසිකරනවා. මේ ආකාරයටම 15 වියැති අකියෝ කූ නම් කොරියානු ජාතික තරුණියක ද ඔහු විසින් ඝාතනය කරනවා.

අවසන් ඝාතන කිහිපය හා පොලිසියට හසුවීම

1973 වසර වන විට කෙම්පර මූල්‍යමය අතින් අසීරු අඩියකට පත්ව සිටියා. මේ නිසා ඔහු සිය මව සමග නැවත ජීවත් ගන්නට පටන් ගත්තා. මෙහි දී ද ඔහු සිය ඝාතන යහමින් සිදුකළ අතර, ඉන් සමහරකගේ හිස කඳින් වෙන් කර සිය මවගේ ගෙවත්තෙහි මිහිදන් කළා.

1973 වසරේ අප්‍රේල් මස 20 වන දා ඔහු සිය අවසන් ඝාතන ද්විත්වය සිදුකරනවා. මින් මුලින්ම සිදුකළ ඝාතනය ලෙස ඔහු සිය මවට මිටියකින් පහර දෙන්නේ හිස්කබල කුඩු වන පරිද්දෙනුයි. අනතුරුව ඔහු එම සිරුර කැබලි කොට හිසෙහි කොටස් කීතු කර දමනවා. අනතුරුව ඇයගේ දිව කපා එය කුණුගොඩකට විසි කරනවා. අනතුරුව ඇගේ හොඳම මිතුරියට නිවසට පැමිණෙන ලෙස දන්වන ඔහු ඇයව ද ඝාතනය කරනවා. අනතුරුව පොලිසියට ඇමතුමක් ගන්නා ඔහු තමන් සිය මව හා ඇගේ මිතුරිය ඝාතනය කළ බැව් පවසනවා.

එඩ්මන්ඩ් කෙම්පර් පොලිස් භාරයට පත් වූ පසු- Wikimedia Commons

පොලිසිය එඩ්මන්ඩ් අත්අඩංගුවට ගන්නා අතර, එහිදී ඔහුට විරුද්ධව ඝාතන 8ක් සඳහා චෝදනා ගොනු කෙරෙනවා. නඩු විභාගය සිදුවන කාලය අතරතුර ඔහු දෙවරක් සියදිවි නසාගන්නට උත්සාහ කරන අතර, කෙසේ හෝ මරණ දඬුවමෙන් ද ගැලවෙනවා. කෙසේනමුත්, චෝදනා සියල්ලට වරදකරු වූ ඔහු ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වෙනවා. සිරගෙට නියම වූ පසු ඔහු සිය බුද්ධිය උපයෝගී කොටගෙන එහි ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කරන බැව් සඳහන්.

Related Articles