Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයින්ස්ටයින්ගේ රහසිගත සතුටු සූත්‍රය

කොතරම් ධනවතෙකුට වුණත් ‘සතුට’ මුදලින් මිල දී ගැනීමට නොහැකි බව ලොකු කුඩා කවුරුත් දන්නා සත්‍යයක්. නමුත් ‘සතුට’ සොයා ගැනීම සඳහා මිනිසුන් නොකරන දෙයක් නොමැති තරම්. මේ නිසා ම අද වන විට ලෝකයේ සෑම රටක ම පාහේ උපදේශන සේවා, විවිධ ආකාරයේ වැඩමුළු සහ ක්‍රියාකාරකම් ආදිය පවා දකින්නට ලැබෙනවා. එසේ ම කාලයෙන් කාලයට ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් ‘සතුට’ ළඟා කර ගැනීම සඳහා නොයෙකුත් ඉඟි ලබා දීම ද සිදු වෙනවා.

මේ කතා කරන්න සූදානම් වන්නේ එවැනි අවස්ථාවක් ගැන යි. ‘සතුට’ මුදලින් මිල දී ගැනීමට නොහැකි වුණත් ගෙවී ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ‘සතුට’ ළඟා කර ගත හැකි රහසිගත සූත්‍රයක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.56 ක මුදලකට නැතහොත් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.19 ක මුදලකට (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 240) අලෙවි වුණා. සියවසකට පමණ පෙර එය සම්පාදනය කර තිබුණේ 20 වැනි සියවසේ විද්‍යාඥයා ලෙස සැලකෙන භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින්.

© Rise Earth

සතුට ගෙනා ආපනශාලා සේවකයාට සන්තෝෂමක්

1922 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ජපානය බලා සංචාරය කර ඇත්තේ ආරාධිත දේශන මාලාවක් සිදු කිරීමේ අරමුණ ඇති ව යි. ජපන් සංචාරය අතරතුර දී ඔහුගේ නවාතැන්පොළ වී ඇත්තේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලය වන අතර 1921 වර්ෂයේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ඔහුට පිරි නමන බව දන්වමින් එවන ලද විදුලි පණිවිඩය නොවැම්බර් මාසයේ දිනෙක ඔහුට ලැබී ඇත්තේ ඉම්පීරියල් හෝටලය භාරයේ යි.

ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකු වුණත් ඒ සතුටුදායක ආරංචිය තමයි තමන් වෙත රැගෙන පැමිණි ආපනශාලා සේවකයා සඳහා සන්තෝෂමක් ගෙවීමට ප්‍රමාණවත් තරම් මුදලක් ඒ මොහොතේ ඇල්බට් අයින්ස්ටයින් සතු ව පැවතී නැහැ. ඒ නිසා සන්තෝෂමක් වෙනුවට තමන්ගේ මනසට නැගුණු සිතුවිලි ද්විත්වයක් හෝටල් කඩදාසියක සටහන් කළ අයින්ස්ටයින්, ඒවා ආපනශාලා සේවකයා අතට ලබා දී ඇත්තේ වාසනාවක් තිබුණොත් අනාගතයේ දී සාමාන්‍ය සන්තෝෂමකට වඩා වැඩි ඉහළ වටිනාකමක් හිමි වන ලිපි ද්විත්වය ප්‍රවේශමෙන් තබා ගන්නා ලෙස පවසමින්.

© Menahem Kahana/AFP/Getty

මෙම ලිපි ද්විත්වය ම ඇල්බට් අයින්ස්ටයින් විසින් අත්සන් කර දිනය යොදා තිබෙන අතර එය අදාළ ලිපිවල වටිනාකම තව තවත් ඉහළ නංවන්නට සමත් වූ බවට සැකයක් නැහැ.

අයින්ස්ටයින්ගේ අකුරෙන් ලියූ ‘සතුටු සූත්‍ර’ ද්විත්වයක්

අදින් වසර 95 ක පමණ පෙර අයින්ස්ටයින් ආපනශාලා සේවකයා සන්තෝෂමක් ලෙස ලබා දුන් ලිපි ද්විත්වයෙන් වඩාත් දීර්ඝ ලිපිය ‘සතුටු ලිපිය’ ලෙස හඳුන්වනු ලබනවා. ඉම්පීරියල් හෝටලයේ ලිපි ශීර්ෂයක් සහිත කඩදාසියක ජර්මානු බසින් ලියා ඇති එහි අදහස වන්නේ “ඒකාකාරී නොසන්සුන් බව සමග මුසු වී සාර්ථකත්වය ලුහු බඳිමින් යන ජීවිතයට වඩා සන්සුන් සහ නිහතමානී ජීවිතයක් ගත කිරීම සතුට රැගෙන එනවා” යන්න යි.

ජෙරුසලමේ විනර්ස් වෙන්දේසිකරුවන් විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරන ලද මෙම ‘සතුටු ලිපිය’ මිනිත්තු 25 ක ලංසු තැබීමකින් අනතුරු ව නම හෙළි නොකරන ලද ගැනුම්කරුවෙකු විසින් ඇමෙරිකානු ඩොලර් 1,560,000 ක මුදලකට මිල දී ගෙන තිබෙනවා.

© National Geographic Channel

ආපනශාලා සේවකයාට ලබා දීම සඳහා ඇල්බට් අයින්ස්ටයින් ලියූ දෙවැනි ලිපිය එම වෙන්දේසියේදී ම වෙනත් නම හෙළි නොකරන ලද ගැනුම්කරුවෙකු විසින් ඇමෙරිකානු ඩොලර් 240,000 ක මුදලකට මිල දී ගෙන තිබෙනවා. සාමාන්‍ය කඩදාසි කැබැල්ලක ලිපිය ලද වඩාත් කෙටි ලිපියක් වන එහි අදහස වන්නේ “යම් කාර්යයක් සිදු කිරීම සඳහා අධිෂ්ඨානයක් පවතිනවා නම් එය සිදු කිරීම සඳහා මාර්ගයක් ද පවතිනවා” යන්න යි.

සියවසකට පසු ව සැබෑ වූ අනාවැකිය

අයින්ස්ටයින් ආපනශාලා සේවකයාට පැවසූ පරිදි ම සියවසකට පමණ පසු ව ඔහු ලබා දුන් සන්තෝෂම් ලිපිය සාමාන්‍ය සන්තෝෂමකට වඩා ඉහළ වටිනාකමක් ලබාගෙන තිබෙනවා. ආපනශාලා සේවකයාගේ ඥාති පුත්‍රයකු විසින් එය හැම්බර්ග් හි ගැනුම්කරුවෙකුට අලෙවි කර ඇති අතර පසු ගිය වසරේ ඔක්තෝබර් 24 වැනි දින ඔහු විසින් එය ජෙරුසලමේ විනර්ස් වෙන්දේසිකරුවන් හරහා ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කරනු ලැබුවා. ඒ අදාළ ලිපි ද්විත්වයේ ම නිර්ව්‍යාජත්වය තහවුරු කිරීම සඳහා අවැසි පර්යේෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව යි.

© AFP

අදාළ ලිපි ද්විත්වය පරීක්ෂා කළ ජෙරුසලමේ හීබෘෘ විශ්ව විද්‍යාලයේ අයින්ස්ටයින් ලේඛනාගාරයේ විශේෂඥ රෝනී ග්‍රෝස් සඳහන් කළේ “අපේ මේ උත්සාහය අයින්ස්ටයින්ගේ රුව සිතුවමට නගනවා හා සමාන යි. ඔහු විද්‍යාඥයෙක් ම පමණක් නෙමෙයි. ඔහුගේ සිතුවිලි මගින් ලෝකයට විශාල බලපෑමක් සිදු කළ අයෙක්. මේ ලිපි සොයා ගැනීම විචිත්‍රයකට (mosaic) අඩු වී පැවති පාෂාණ කොටසක් සොයා ගත්තා සේ සැලකිය හැකි යි” යනුවෙන්.

කවරයේ පින්තූරය : (© Ammar Awad/Reuters)

Related Articles