ප්‍රබුද්ධ සෝවියට් සිනමාවක අයිසන්ස්ටයින් සලකුණ

කිසියම් අදහසක්, මතවාදයක් ජනතාව අතරට ගෙනයෑම කියන කාරණයෙ දි සිනමාව වගේ කලා මාධ්‍යයකට කරන්න පුළුවන් වැඩ කොටස ගැන ගොඩක් රටවල් උනන්දු වෙන්න පටන් ගත්තෙ සිනමාවේ මුල් යුගයේ ඉඳලම යි. ඇමරිකාවෙන්, නාසි ජර්මනියෙන් වගේම සෝවියට් රුසියාවෙනුත් මේ කාරණය තහවුරු කරගන්න ඇති තරම් උදාහරණ හොයාගන්න පුළුවනි. අද පවා මිනිස්සුන්ගෙ ඔළු ඇතුළට තමන්ගේ අධිපති මතවාදය රිංගවන්න සිනමාව මෙවලමක් විදියට පාවිච්චි කරන රටවල් සහ පාලකයො හිඟ නැහැ. ඒක ජාතිවාදය හෝ ආගම්වාදය වුණත්, ෆැසිස්ට්වාදය හෝ සමාජවාදය වුණත් සිනමාව හරහා ඒ දේ ගොඩක් සාර්ථකව කරන්න පුළුවන් බව නම් රහසක් නෙවෙයි. මේ කාරණය ගැන හොඳින්ම තේරුම් අරගෙන හිටපු රටවල් අතරින් සෝවියට් රුසියාවට හිමිවෙන්නෙ ප්‍රමුඛ ස්ථානයක්. සිනමාවේ ආරම්භක අවධියේ, එහෙමත් නැත්නම් නිහඬ යුගයේ ඉඳලම සිනමාව හරහා ගොඩක් දේවල් කරන්න එයාලා පෙළඹෙනවා.

රුසියානු සිනමාවේ පුනරුද යුගය විදියට සැලකෙන ඔක්තෝබර් විප්ලවයෙන් පසු යුගයේ අපට මුණගැහෙන ප්‍රබලම සිනමාකරුවෙක් තමයි සෙර්ගේයි මිඛයිලොවිච් අයිසන්ස්ටයින්. අග්‍රගණ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ සිනමාව සම්බන්ධ න්‍යායාචාර්යවරයෙක් විදියට සමාජවාදී රුසියාවේ වගේම ධනවාදී ඇමරිකාවේ පවා ගෞරවයට පාත්‍ර වුණු අයිසන්ස්ටයින් සහ එයා විසින් නිර්මාණය කරපු Battleship Potemkin (1925) චිත්‍රපටය ගැන යි මේ සටහන.

සෙර්ගේයි එම්. අයිසන්ස්ටයින් (www.imdb.com)

සෝවියට් සිනමාව සහ අයිසන්ස්ටයින්

‘සමාජවාදය’ ගැන හැඟීමක් ජනතාවගේ හිත්වලට කාවද්දන්න සෝවියට් සාහිත්‍යය වගේම සෝවියට් සිනමාවත් ඉටුකළේ සුවිශේෂී මෙහෙයක් බව රහසක් නෙවෙයි. කොමියුනිස්ට් ජයග්‍රහණ සහ වීරත්වය උත්කර්ෂයට නැංවීම අරමුණු කරගෙන නිර්මාණය වුණු මේ සිනමා ධාරාව හඳුන්වන්න පොදුවේ භාවිතා වුණු යෙදුමක් තමයි ‘සංධ්වනි සිනමාව’ (Symphonic films). කාව්‍යමය ස්වරූපයක් ගත්ත ඒ බොහොමයක් කෘතීන් තරමක් දැවැන්ත යි.

1898 ජනවාරි 22 ඉපදෙන සෙර්ගේයි එම්. අයිසන්ස්ටයින් කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය හරහා. The Wiseman (ඇලෙක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි), Gas Masks (සෙර්ගේයි ට්‍රෙට්යකෝව්) වගේ නිර්මාණ වේදිකාවට අරගෙන එන එයාගෙ වෘත්තාන්ත සිනමා ආගමනය තමයි 1925 නිර්මාණය වුණු Strike චිත්‍රපටය. එතන ඉඳලා Battleship Potemkin, October, Alexander Nevsky, Ivan the Terrible වගේ චිත්‍රපට ගණනාවක් අයිසන්ස්ටයින් අධ්‍යක්ෂණය කරනවා. රුසියානු විප්ලවීය ඉතිහාසයේ ජන සහභාගීත්වය හරහා ඉස්මතු වුණු හැඟීම් සමුදාය තමයි ඒ චිත්‍රපටවලට නිරන්තරයෙන්ම පාදක වුණේ. ඒ වගේම අයිසන්ස්ටයින්ගේ සිනමා භාවිතාව බුද්ධිගෝචර සිනමා භාවිතාවක් විදියට හැඳින්වීමයි වඩාත් නිවැරදි.

Battleship Potemkin (1925)

සෝවියට් රජයෙන් තමන්ගෙ අග්‍රගණ්‍ය සිනමාවේදීන් දෙපළක් වුණු වී. අයි. පුඩොව්කින්ට සහ සෙර්ගේයි එම්. අයිසන්ස්ටයින්ට ආරාධනාවක් ලැබෙනවා 1905 විප්ලවය සැමරීම උදෙසා චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්න. පුඩොව්කින් තමන්ගෙ නිර්මාණයට පාදක කරගන්නෙ සුප්‍රකට Mother නවකතාව. අයිසන්ස්ටයින් තීරණය කරනවා Battleship Potemkin නිර්මාණය කරන්න.

Battleship Potemkin (www.imdb.com)

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ Potemkin කියන යුද නැවේ නාවිකයන් පිරිසකගේ කැරැල්ලක්. තමන්ට ලැබෙන ආහාර සලාකයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් නිසා නාවිකයො නැව ඇතුළෙ කැරැල්ලක් පටන් ගන්නවා. එයාලට ලැබෙන මස්වල පණුවො ඉන්න බව පෙනි පෙනීම ඒවා කෑමට සුදුසු බව නැවේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා. මේ කාරණයට නිසා නැව ඇතුළෙ හටගන්න නොසන්සුන්බව දරුණු කැරැල්ලක් විදියට ඇවිලිලා යනවා. නැව ඔඩෙස්සා තොටුපළට සේන්දු වෙන මොහොතේ නාවිකයන්ට සහය දක්වන්න ඉදිරිපත් වෙන නගර වැසියන්ව හමුදාව විසින් අමානුෂික අන්දමින් ඝාතනය කිරීම තමයි චිත්‍රපටය හරහා අපට දකින්න ලැබෙන්නෙ.

1925 මොස්කව් නුවරදී මුලින්ම තිරගත වෙන Battleship Potemkin චිත්‍රපටයට ප්‍රේක්ෂක ජනතාවගෙන් හිමිවෙන්නේ ඉහළ ජනප්‍රසාදයක්. ඒ වගේම ලෝකයේ ශ්‍රේෂ්ඨම සිනමා නිර්මාණ කිහිපය අතරින් එකක් විදියට දශක ගණනක් පුරා සිනමා ලෝලීන්ගේ සහ විචාරකයන්ගේ අවධානය දිනා ගන්නත් Battleship Potemkin නිහඬ චිත්‍රපටය වාසනාවන්ත වෙනවා.

සමෝධානය සහ අයිසන්ස්ටයින්ගේ සිනමා ලේඛන

සෙර්ගේයි එම්. අයිසන්ස්ටයින් ලෝක සිනමාවේ දැවැන්තයෙක් විදියට සැලකෙන තවත් හේතුවක් තමයි එයා විසින් ඉදිරිපත් කරපු ඇතැම් සිනමා මූලධර්ම අද දක්වා ලෝකය පුරා සිනමාකරුවන් භාවිතා කිරීම. සිනමා සංස්කරණයේ මූලිකම සහ ප්‍රබලම සංකල්පයක් විදියට සැලකෙන ‘සමෝධානය’ (Montage) ගැන අදහස ඉදිරිපත් කරන්නෙත් අයිසන්ස්ටයින්. චිත්‍රපටයක සාර්ථකත්වයට සංස්කරණය මොන තරම් වැදගත් ද කියන කාරණය ගැන මේ සිනමාකරුවා හිටියෙ හොඳ අවධානයකින්.

ඔඩෙස්සා පඩිපෙළේ දර්ශනය (www.imdb.com)

සරලව පැහැදිළි කළොත්; සමෝධානය කියන්නෙ, එකිනෙකට සම්බන්ධයක් නැති රූපරාමු දෙකක් එකට එකතු කරලා තුන්වෙනි අර්ථයක් ඒ හරහා ජනනය කිරීම. තමන්ගේ ‘ස්ට්‍රයික්’ චිත්‍රපටය හරහා තමයි අයිසන්ස්ටයින් මුලින්ම මේ සංකල්පය ප්‍රායෝගිකව සිනමාවට අරගෙන එන්නෙ. ඒ චිත්‍රපටයේ වැඩ වර්ජකයන් පිරිසක් මර්දනය කරන දර්ශනයක් එක්ක ගව ඝාතනයක රූපරාමු එකතු කරලා ඒ හරහා අදාල සිදුවීමේ භයානක බව තීව්‍ර කරන්න එයාට පුළුවන් වෙනවා. මේ සංස්කරණ රීතියෙන් අයිසන්ස්ටයින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න තැනක් තමයි Battleship Potemkin චිත්‍රපටයේ එන ඔඩෙස්සා පඩිපෙළේ දර්ශනය. පඩිපෙළ දිගේ පහළට පෙරළෙන පුංචි දරුවෙක් සහිත කරත්තය, කණ්නාඩිය බිඳුණු තරුණයාගේ මුහුණ වගේම වෙඩි වැදුණු මිනිස්සුන්ගෙ රූප, හමුදා සොල්දාදුවන්ගේ දර්ශන එකිනෙක මුහු කරමින් ඒ අවස්ථාවේ එතන තිබුණු භීතිය සහ මාරාන්තික වේදනාව වඩාත් තීව්‍ර විදියට ප්‍රේක්ෂකයා හමුවට ගේන්න අයිසන්ස්ටයින් සමත් වෙනවා.

The Film Sense (1942), The Film Form (1948), Notes of a Film Director (1958) සහ Film Essays (1968) කියන පොත් සහ තවත් ලිපි ගණනාවක් හරහා සිනමාව සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රබුද්ධ අදහස් ඉදිරිපත් කරන අයිසන්ස්ටයින් සිනමා රසාස්වාදය සහ සිනමා භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධයෙන් විශ්වකෝෂයක් විදියට හැඳින්වීමත් අතිශයෝක්තියක් නෙවෙයි. එයා දිගින් දිගටම තමන්ගෙ ලේඛන හරහාත් මතුකරන ප්‍රබල අදහසක් තමයි සංස්කරණය චිත්‍රපටයකට මොන තරම් වැදගත් දෙයක් ද කියන කාරණය.

1948 පෙබරවාරි 11 වෙනිදා තමන්ගෙ ජීවිත සිනමාවෙන් සමුගන්න සෙර්ගේයි මිඛයිලොවිච් අයිසන්ස්ටයින් අදටත් ලෝක පූජිත සිනමාකරුවෙක්. සිනමාව ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍යයක් වුණත් තමන්ගෙ නිහඬ චිත්‍රපට හරහා පවා එයා ලෝකයට ඔප්පු කරලා පෙන්වනවා, සිනමාව ඇතුළෙ රූපය මොන තරම් ප්‍රබලද කියන කාරණය. ඒ වගේම රූපය සහ ශබ්දය නිර්මාණශීලී විදියට මුහුකිරීම ගැනත්, වර්ණ සහ ඒ වර්ණ තුළින් ඇතිකළ හැකි මනෝභාවයන් ගැනත් අයිසන්ස්ටයින් ඉදිරිපත් කළ අදහස් හරහා ලෝක සිනමාවට එකතු වුණු දැනුම සුළුපටු නැහැ. රූප පෙළගැස්වීමෙන් කතන්දර කීම මොන තරම් ප්‍රබල වැඩක් ද, ඒ හරහා යන්න පුළුවන් දුර කොයි තරම් ද කියන කාරණය තේරුම් ගන්න අදටත් හොඳම උදාහරණයක් විදියට අයිසන්ස්ටයින් සහ ඔහුගේ සිනමාව සැලකෙන්නේ ඒ නිසා යි.

තොරතුරු:

සිනමාව හා ජන සමාජය - රොජර් මැන්වෙල් (පරිවර්තනය - එම්.ඩී. මහින්දපාල)

ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ - සුනිල් මිහිඳුකුල

www.imdb.com

Cover Image - www.imdb.com

Related Articles