Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදිසි නීතිය සහ මූලික අයිතිවාසිකම්

හදිසි නීතිය, ඇඳිරි නීතිය සහ හදිසි නීති රෙගුලාසි පැනවීමේදී ජනාධිපතිවරයා සතු වන බලතල යනාදිය පිළිබඳව විස්තරයක් අප ඔබ වෙත මින් පෙර ලිපියකින් ගෙන එනු ලැබුවා. මේ ලිපියෙන් අප Roar.lk පාඨක ඔබ වෙත තතු ගෙන එන්නේ මේ හදිසි නීති රෙගුලාසි වලින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට ඇති වන බලපෑම පිළිබඳවයි.

මෙහිදී මූලිකවම දැනගත යුතු කරුණක් වන්නේ මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් අතර ඇති වෙනසයි. Human Rights හෙවත් මානව අයිතිවාසිකම් යනු මනුෂ්‍යයෙකු ලෙස මෙලොව එළිය දකින ඕනෑම පුද්ගලයෙකුට හිමිවන අයිතිවාසිකම් සමුදායයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බලාත්මක කර ඇති විවිධ ප්‍රඥප්තීන් මගින් මානව අයිතිවාසිකම් තහවුරු කොට තිබෙනවා. නමුත් මූලික අයිතිවාසිකම් හෙවත් Fundamental Rights රටින් රටට වෙනස් වනවා. උදාහරණයක් ලෙස, මැද පෙරදිග රටක පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ මෙරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් එකිනෙකට වෙනස්. ඉන්දියාවේ “Right to Life” හෙවත් “ජීවත් වීමට ඇති අයිතිය” මූලික අයිතිවාසිකමක් ලෙස සැලකුණත්, එය මෙරට මූලික අයිතිවාසිකමක් නොවෙයි.

groundviews.org

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදය මගින් මෙරට පුරවැසියන් හට හිමිවන මූලික අයිතිවාසිකම් මොනවාදැයි සැකෙවින් හඳුන්වා දී තිබෙනවා. ඒ අතුරින් 12වන වගන්තිය, 13 වගන්තියේ පළමු උප වගන්තිය හා දෙවන උප වගන්තිය මෙන්ම 14වන වගන්තිය යන වගන්තීන් වලින් මෙරට පුරවැසියන් වෙත ලබා දී ඇති මූලික අයිතිවාසිකම් හදිසි නීති රෙගුලාසි පැනවෙන කාල පරාසය තුළ සියලු පුරවැසියන්ට අහිමි වනවා. එම පරිච්ඡේදයේම එන 15වන වගන්තියේ හත්වන උප වගන්තිය ඒ සඳහා අනුබල සපයනු ලබනවා.

15(7) වගන්තිය – “..12 වන ව්‍යවස්ථාවෙන්, 13වන ව්‍යවස්ථාවේ (1)වන හා (2)වන අනු ව්‍යවස්ථා වලින් සහ, 14වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද, රාජ්‍ය ආරක්ෂාවද, රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්….අන්‍යන්ගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්…නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්වය… “නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳ තත්කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝගද ඇතුළත් වන්නේය..”

12 වගන්තිය – සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම – Right to Equality (නීතිය ඉදිරියේ සමාන බව සහ වෙනස් කොට සලකනු ලැබීමෙන් වැළකීම වැනි අයිතීන් හදිසි නීති සමය තුළ අවලංගු වී යයි.)

13(1) වගන්තිය – අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් වැළකීමට ඇති අයිතිය; Freedom from arbitrary arrest “යම් තැනැත්තෙකු සිර භාරයට ගන්නේද යම් හේතුවක් මතද, ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය..” (විශේෂයෙන්ම මහජන ආරක්ෂක ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත පමණක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිස් නිලධාරීන්ට ලැබෙන නිසා මෙම වගන්තියේ වලංගු භාවය වියැකී යයි.)

13(2) වගන්තිය – Freedom from illegal detention; අත්අඩංගුවට ගත් පුද්ගලයින් හට නීතියෙන් නියම කරන ලද කාර්‍ය පටිපාටියකට අනුව රඳවා තබා ගැනීම සහ දඬුවම් පැමිණවිය යුතු බව. (මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වන වගන්තියේ දෙවන උප වගන්තිය අනුව ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ අයිතිය පොලිස් නිලධාරීන්ට හිමි වේ. මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ කාර්ය පටිපාටිය අදාළ කර නොගැනේ.)

14 වගන්තිය – Freedom of Speech, Assembly, Association, Occupation and Movement; භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස. (මෙම අයිතීන් සියල්ලක්ම සහමුලින්ම අවලංගු කෙරෙනු ඇත.)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17වන වගන්තියෙන් කියැවෙන්නේ විධායකයේ ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකමක් කඩ වන අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126වන වගන්තිය යටතේ එම සිදුවීමෙන් මසක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කළ යුතු බවයි. නමුත් 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ සත්වන වගන්තිය පවසන ආකාරයට රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසි වලට ඉහළින් බලපැවැත්වේ. එමෙන්ම කිසිදු හදිසි නීති රෙගුලාසියක් හෝ හදිසි නීතිය යටතේ පනවනු ලබන වෙනත් කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්නගත කිරීමේ හැකියාවද මහජනතාවට නොමැති බව අටවන වගන්තිය ප්‍රකාශ කර සිටී.

hrw.org

මීට අමතරව, 13වන වගන්තියේම උප වගන්තීන් වන වරදකාරීත්වය ඔප්පු වන තෙක්ම පුද්ගලයෙකු නිරවද්‍ය යැයි සැලකීමේ පූර්වානුමානය (Presumption of innocence till proven guilty), අතීතයට බලපාන පරිදි නීති නොපැනවීම (Retroactive Penal Sanctions) මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන වගන්තිය හෙවත් කෲර සහ අමානුෂික වද බන්ධනයන්ගෙන් මිදීමට ඇති අයිතිය (Freedom from cruel, inhumane or degrading treatment or Punishment) යනාදී අයිතීන් සහ මූලධර්මයන්ද මෙවැනි කාල වකවානුවක් තුළදී අහෝසි වී යයි.

මේ හේතුවෙන් හදිසි නීතිය පවත්නා කාලය තුළදී ඉහත දැක්වූ මූලික අයිතිවාසිකම් කඩ වීමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය පුරවැසියන්ගෙන් ගිලිහී යයි. හදිසි නීති සමය තුළ ඕනෑම නව නීතියක් නිර්මාණය කිරීමේ, පවත්නා නීතියක් සංශෝධනය කිරීමේ හෝ අවලංගු කිරීමේ අයිතියක් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155වන වගන්තිය හරහා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය මගින් ලබා දී ඇත.

මෙය බොහෝ නීතිවේදීන්ගේ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බලයකි. රාජ්‍යයක නව නීති පැනවීමේ කටයුත්ත හිමි වන්නේ පාර්ලිමේන්තුවට හෙවත් රටේ “ව්‍යවස්ථාදායකකයට” වුවද මෙම වගන්ති මගින් එම බලය විධායකය වෙත ලබා දී තිබේ. මෙය බලතල බෙදීමේ මූලධර්මයට ද පටහැණි වන්නකි. ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි පැනවීමට දින දා හතරකට පෙර එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලබාගත යුතු වුවද, ප්‍රායෝගික තලයේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාවන්හි නිරවද්‍යතාවය සහ සාධාරණත්වය ව්‍යවස්ථාදායකය විසින් ප්‍රශ්නගත නොකෙරේ.

කෙසේ වෙතත්, හදිසි නීති පැනවීම මගින් රටක පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලට සෘජු බලපෑමක් සිදුවීම නොනැවතිය හැක්කකි. එබැවින්, මහජනයාගේ පොදු යහපත සහ ආරක්ෂාව උදෙසා ගනු ලබන මෙම පියවර මගින් සිදුවන යහපත් සහ අයහපත් බලපෑම්ද පවත්නා බව කිව මනාය.

කවරයේ ඡායාරූපය- voanews.com

තොරතුරු උපුටා ගැනීම- 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, srilankabrief.org වෙබ් අඩවියේ “Understanding a State of Emergency in Sri Lanka” ලිපිය ඇසුරින් සහ 1947 අංක 25 දරන 1947 අංක 25 දරන මහජන මහජන ආරක්ෂක ආඥා පනත ඇසුරිනි.

Related Articles