Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලශක්ති අර්බුදයෙන් ඇහිරෙන විනිමය ගෙනෙන මං පෙත්

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ මතු ව ඇති ගැටලු අතර දැඩි ඉන්ධන අර්බුදය ද ප්‍රමුඛ යි.  මේ මොහොත වන විට ආසන්න වශයෙන් 1500 ක් පමණ වූ, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් බොහොමයක් ඉන්ධන නොමැතිකමින් වසා දමා තිබෙනවා. ඇතැම් ඉන්ධනහල් ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණ යි.

ලංකා ඉන්දියානු තෙල් සංස්ථාව මඟින් සාමාන්‍ය ජනතාව සහ අත්‍යවශ්‍ය නොවන සේවා වෙත ඉන්ධන තවමත්  ලබා දුන්න ද ඔවුන් සතු ව තිබෙන සීමා සහිත ඉන්ධනහල් ප්‍රමාණය හේතුවෙන්, එම සැපයුම ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන ඉල්ලුමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 

මේ නිසා එම ඉන්ධන පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම් දැකගත හැකි යි. සමහරක් පුරවැසියන් පවසන අන්දමට යම් යම් සීමාවලට යටත් ව හෝ ඉන්ධන ලබා ගැනීම සඳහා වුව ද දින දෙක තුන පෝලිමේ සිටිය යුතු වන අතර, ලියුම්කරුට  ද එම පෞද්ගලික අත්දැකීම තිබෙනවා. ඉන්ධන ගැටලුව හා සබැඳි විදුලි බල ගැටලුව ද උග්‍ර වෙමින් පවතින අතර, වර්තමානයේ දෛනික ව පැය තුනක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වීමත් සිදු කෙරෙනවා.

 වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දැඩි බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා- Buddhika Weerasinghe – www.bloomberg.com 

 

 ඉන්ධන සහ විදුලි බල සීමා වීම මත අගතියට පත් ව ඇති පාර්ශව රාශියක් සිටිනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු, රජය අත්‍යවශ්‍ය යැයි කාණ්ඩගත කර නොමැති, එහෙත් ඉතා දැඩි ලෙස සමාජයේ පැවැත්මට බලපවත්වන ක්ෂේත්‍රවල කටයුතු රැසක් අඩාල වී තිබෙනවා. මේ අතර රටට ප්‍රධාන වශයෙන් විනිමය ගෙන එන ක්ෂේත්‍ර ද වෙනවා. රජය ආර්ථික අර්බුදය විසඳීම සඳහා කෙසේ හෝ රටට විදෙස් විනිමය ගෙන එන ලෙස ප්‍රජාවගෙන් ඉල්ලීම කරන අතර ම, මෙලෙස බලශක්ති ගැටලුව නිසා ඒවා ද අගතියට පත්වන්නේ නම්, විදෙස් විනිමය තමන් මෙරටට ගෙන එන්නේ කෙසේ ද යැයි, එම ක්ෂේත්‍රවල බලධාරීන් ප්‍රශ්න කරනවා. මේ ලිපිය වෙන් වන්නේ එලෙස අපහසුතාවට පත් වී ඇති, ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ප්‍රධාන වශයෙන් ගෙන එන ක්ෂේත්‍රවලට අත් ව ඇති ඉරණම පිළිබඳව යි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විදෙස් විනිමය ගෙනෙන බල කණු

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට සහ තවත් අනෙකුත් විශ්වාසනීය මූලාශ්‍රවලට අනුව පසුගිය වසර කිහිපයේ ම ශ්‍රී ලංකාවේ වාර්ෂික දල දේශීය නිෂ්පාදිත අගය වාර්තා වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 80 කට මඳක් වැඩි මුදලක් ලෙස යි. එය පසුගිය වසර තුන තුළ යම් සුළු පසුබෑමක් පෙන්වන අතර, එයට කොරෝනා වසංගතය මෙන් ම බලධාරීන්ගේ වැරදි ක්‍රමවේද ද සෑහෙන පමණින් ඉවහල් වී තිබෙන බැව් විද්වත් මතය යි. මෙය 2022 වසර සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 81.9 ක් වනු ඇති බවට ගණන් බලා තිබෙන අතර ඉන් ආසන්න වශයෙන් 95% ක් ම සපයන්නේ සේවා සැපයීම, කර්මාන්ත සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර තුන යි. 

2020 වසර සලකන කල්හි ශ්‍රී ලංකා දල දේශීය නිෂ්පාදිතයෙන් 59.67% ක් සේවා සැපයීම, 26.25% ක් කර්මික අංශ මගින් ද, 8.36% ක් කෘෂිකර්මය මගින් ද සරි වී තිබෙන අතර මේ කුලක තුන සලකන කල්හි වැඩි වශයෙන් විදෙස් විනිමය මෙරටට ගලා එන ක්ෂේත්‍ර කිහිපයක් ම හඳුනා ගත හැකි වෙනවා. සේවා සැපයීම අතින් සංචාරක කර්මාන්තයත්, කාර්මික අතින් ඇඟලුම් කර්මාන්තයත්, කෘෂිකර්මාන්ත අතින් තේ වගාවත් කලක පටන් ඒ  ඒ අංශවලින් ඉහළින් සිටින ක්ෂේත්‍ර වනවා. එමෙන් ම මෑතක දී ඉතා හොඳ වර්ධනයක් දැක්වූ ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ෂණය අනුබද්ධ සේවා ද ගත හැකි යි. වර්තමානය වන විට රටෙහි ඇති වී තිබෙන උග්‍ර බලශක්ති අර්බුදය නිසා මෙම ක්ෂේත්‍ර ගණනාවට ම දැඩි බාධා පැමිණ තිබෙන අතර, ‘ළිං කටෙන් ම ගොඩ ආ යුතු බැව් බලධාරීන් පවසන අතර ම, ළිඳට දමා තිබූ ලණුව ද කපා දමමින් තිබෙන’ බැව් ප්‍රජාවේ බහුතරයකගේ අදහස යි.

 සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් – dailypioneer.com

 

දිනෙන් දින අපහසු වන ‘කාර්යයවල නිරත වීම’

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඩීසල් සහ පෙට්‍රල් සැපයුම දැඩි ලෙස සීමා වී තිබෙනවා. මෙය අත්‍යවශ්‍ය ලෙස නම් කරන ලද ක්ෂේත්‍රවලට ද සෑහෙන පමණකින් දැනෙන දෙයක් වී තිබෙනවා. විශේෂයෙන් එම ක්ෂේත්‍රවල නියුතු සියලු දෙනාට තමන්ගේ බලශක්ති අවශ්‍යතාවට සරිලන සැපයුමක් ලැබෙන්නේ නැහැ. එමෙන් ම විදුලි කප්පාදුවෙන් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන යන ක්ෂේත්‍ර සියල්ලට ම බලපෑම් එල්ල වී තිබෙනවා. 

සංචාරක කර්මාන්තය සලකන කල්හී මෙම ගැටලුව දෙවැදෑරුම් ව බලපා තිබෙනවා. විශෙෂයෙන් මෙහි ළඟා වෙන විදේශිකයන්ට රිසි සේ සංචාරක ස්ථාන නැරඹීම සඳහ ගමන් කිරීමට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් නොමැති කමින් එම සේවා බොහෝ සෙයින් අකර්මණ්‍ය වී තිබෙනවා එමෙන් ම විදුලියබලය නිසියාකාර ව නොලැබීමත්, විකල්පයක් ලෙස විදුලියජනක යන්ත්‍ර භාවිත කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති කමත් නිසා හෝටල් සහ ආපනශාලාවල ආහාර කල් තබා ගැනීමත් අභියෝගයක් වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය සංචාරක කර්මාන්තයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන් අධෛර්යයමත් කරන අතර ම විදේශිකයන් ද මෙහි පැමිණීමට අකැමැති වීම යි.

ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද ඉන්ධන හා සමස්තයක් ලෙස බලශක්ති ගැටලුව සම්බන්ධ බොහෝ ගැටලු ඇති වී තිබෙනවා. විශේෂයෙන් කලට වේලාවට නිමි ඇඳුම් මසා අවසන් කිරීමට නොහැකි වීමත්,  ඉන්ධන ගැටලුව නිසා මට ගත් ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇණවුම් කලට වේලාවට අපනයනය කිරීමට නොහැකි වීමත් සිදු වෙනවා.ඇඟලුම් සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කිරීමට ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම ද දැඩි අභියෝගයක් වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය බොහෝ දෙනා ක්ෂේත්‍රය අතැර යාම සහ නිෂ්පාදනය අඩාල වීම යි. මේ හේතුවෙන්  ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ඇණවුම් රාශියක් බංග්ලාදේශය වැනි රටවලට ලැබීමේ අවදානමක් ද මතු ව තිබෙනවා.

 බලශක්ති අර්බුදය නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබුණු ඇඟලුම් ඇණවුම් අහිමි වීමේ අවදානමක් ඇතිව තිබෙනවා- Shutterstock.com

 

ලොව ඉහළ ම තේ නිෂ්පාදකයෙක් වන ශ්‍රී ලංකාවට එම ස්ථානය අහිමි වීමේ අවදානමකුත් මෙම බලශක්ති අර්බුදයක් සමඟ ඇති වෙලා. සමහර කර්මාන්තශාලාවල යන්ත්‍රසූත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය ඩීසල් සහ විදුලිබලය ඇණහිටීමෙන් ඒවා පාඩුවකින් තොර ව ප්‍රමිතියකින් යුතු ව කරගෙන යාමේ ගැටලු මතු ව තිබෙනවා. තේ ප්‍රවාහනයටත් ඉන්ධන ගැටලුවෙන් බාධා මතුව තිබෙනවා. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ රැකියා යල් පැන ගිය අදහස් සහිත සමහර දේශපාලනඥයන්ට අමතක ව ගිය කරුණක්. ඉන් බොහෝ සෙයින් විදේශ විනිමය මෙරටට ගලන අතර, විදුලිබල කප්පාදුව නිසා තම ඇණවුම් නිසි කලට වේලාවට අවසන් කිරීමට නොහැකිව එම වෘත්තිකයන් අපහසුතාවට පත් ව තිබෙනවා. ප්‍රතිඵලය ඔවුනට ලැබෙන්නට තිබෙන ඇණවුම් ඉන්දියාව වැනි තදාසන්න රටවලට ලැබීම යි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇතිකිරීමට නම් හැකි ඉක්මනින් මෙරට බලශක්ති ගැටලුව අව ම කරගත යුතු වෙනවා. එසේ නොමැති වුවහොත්, ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබෙන විදෙස් විනිමයත් අහිමිවීමේ අවදානමක රටක් ලෙස අප සිටිනවා. පාලකයා කොතෙක් ‘විදෙස් විනිමය’ උපයන්නට කීව ද හිල් පොල්කටුවකින් කිසිදා වැවක් පිරවිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු බැව් මෙරට ජනතාවගෙන් බහුතරයක මතය වෙනවා.

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම් - Reuters.com  

මූලාශ්‍ර:

Cbsl.gov.lk

Ceypetco.gov.lk

Ndtv.com

Related Articles