පසුගිය මාර්තු මාසයේ සිට කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරී යන්නට වුණා. එලෙස පැතිරී ගිය වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ පාර්ශවයන් විශාල පරිශ්‍රමයක් දරනු ලැබුවා. එහිදී කොරෝනා මැඬලීම වෙනුවෙන් විශාල සටනක් කළේ වසංගත රෝග විද්‍යා අංශය යි. නමුත් ලංකාවේ වැඩි දෙනෙකුට වසංගත රෝග විද්‍යා අංශය පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. එම නිසා මෙම ලිපිය තුළින් වසංගත රෝග විද්‍යා අංශයෙහි ඉතිහාසය සහ ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය ආරම්භ වුණු හැටි

ලංකාව 1959 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සහාය ඇතිව වසංගත රෝග විද්‍යා අංශය පිහිටවනු ලැබුවා. එම අවධියේ දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු සහ මහජන සෞඛ්‍යය පිළිබඳ මනා දැනුමක් තිබුණු දේශීය වෛද්‍ය නිලධාරියෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබුවා. එලෙස එම දේශීය නිලධාරියා වසර 2ක් පමණ රාජකාරී කටයුතු කිරීමෙන් පසුව 1961 වසරේ දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස පත්කරනු ලැබුවා. මුල් යුගයේ දී වසංගත රෝග විද්‍යා අංශය පිහිටවා තිබුණේ මහජන සෞඛ්‍ය, පශු වෛද්‍ය සේවාවන්, සහ වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන ගෙන ගිය ගොඩනැගිල්ලේම යි. එම ගොඩනැගිල්ල කොල්ලුපිටිය චෙල්සි උද්‍යානයේ පිහිටා තිබුණා.

වසංගත රෝග විද්‍යා අංශය පුළුල් වෙයි

1967 වසරේ දී වසංගත රෝග විද්‍යාව පිළිබඳව මනා පුහුණුවක් ලබාගෙන සිටි තවත් සහකාර වසංගත රෝග විද්‍යාඥයන් දෙදෙනෙකු වසංගත රෝග විද්‍යා අංශයට ඇතුළත් කරනු ලැබුවා. 1970 වසර වන විට වන කුරුණෑගල සහ කළුතර යන ප්‍රදේශවලට ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත්කරනු ලැබුවා. එලෙස පත් වුණු ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන්ට ලෝක සෞඛ්‍යය සංවිධානයේ සහාය ඇතිව හොඳ පුහුණුවක් ලබාදීමට කටයුතු කළා. එසේම එම අවධියේ දී සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් යෙදවීමට වසංගත රෝග විද්‍යා අංශය සැලසුම් කර තිබුණා. 

නමුත් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තිබුණු නිලධාරීන්ගේ හිඟකම හේතුවෙන් සියළුම ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාශ වලට ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමේ සැලසුම අඩාල වුණා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව පුහුණු කළ ඉතිරි නිලධාරින් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් ලෙස පත් කරනු වෙනුවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලෙස පත් කිරීමට කටයුතු කළා. නමුත් ඉන් ටික කලකට පසුව යාපනය සහ වව්නියාව යන ප්‍රදේශවලටත් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත්කරනු ලැබුවා. එම අවධියේ දී වසංගත රෝග විද්‍යා අංශයේ සහකාර වසංගත රෝග විද්‍යාඥයෙකු කොළඹ ප්‍රදේශය භාරව කටයුතු කරනු ලැබුවා. එසේම වසංගත රෝග විද්‍යා අංශයේ තවත් සහකාර වසංගත රෝග විද්‍යාඥයෙකු බෝ නොවන රෝග පිළිබඳව කටයුතු සොයා බැලීමට අනියුක්ත කරනු ලැබුවා. පසුකලෙක සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෙනම ඒකකයක් ලෙසින් පිළිකා මර්දන වැඩසටහන ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම නිලධාරියා එහි පළමුවැනි අධ්‍යක්ෂවරයා ලෙසින් පත් කරනු ලැබුවා.

වර්තමාන තත්ත්වයට පත් වුණු හැටි

1970 දශකයේ මුල් භාගයේ දී වසංගත රෝග විද්‍යා අංශය වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ගෙන යනු ලැබුවා. ඉන් අනතුරුව 1986 වසරේ පෙබරවාරි මාසය වන විට වසංගත රෝග විද්‍යා අංශය එය වර්තමානයේ පවතින ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කළා. ඒ අනුව වර්තමානය වන විට වසංගත රෝග විද්‍යා අංශය පිහිටා තිබෙන්නේ කොළඹ 10, ද සේරම් පෙදෙසේ අංක 231 යන ස්ථානයේ යි. 1995 වසරේ දී  මෙම ඒකකයට වෙන් කරන ලද සේවක සංඛ්‍යාව සංශෝධනය කරනු ලැබුවා.  එහි දී වෛද්‍ය නිලධාරින්ගේ මුළු සංඛ්‍යාව 13 දක්වා වැඩි කිරීමට කටයුතු කළේ කාර්යක්ෂම සේවයක් ලබාදීමේ අරමුණ ඇතිව යි. එලෙස සිදු කළ සංශෝධනයෙන් පසුව ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිලධාරින් දෙදෙනෙක් සමගින් විශේෂඥ සේවයේ  නිලධාරීන් අට දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශයට ඇතුළත් වුණා. ඊට අමතරවල සියළුම දිස්ත්‍රික්කයන් සඳහා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමටත් පළාත් සඳහා පළාත් වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමටත් සැලසුම් කරනු ලැබුවා. ඒ අනුව වර්තමානය වන විට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කොට්ඨාශ 26 සඳහාම ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන්ගේ සේවය ලැබෙනවා.

කොරෝනා වසංගත අවස්ථාවේ දී ක්‍රියාකාරීත්වය 

වසංගත රෝග විද්‍යා අංශය පිහිටුවීමෙන් පසුව අප රටට පැමිණි දරුණුම වසංගතය බවට පත් වුණේ කොරෝනා වසංගතය යි. වර්තමානය වන විට බෝවන රෝග පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානය ලෙසින් කටයුතු කරන වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා උවදුරෙන් රට ගලවා ගැනීම සඳහා විශිෂ්ට මෙහෙවරක් සිදු කරනු ලැබුවා. කොරෝනා වසංගතය රට තුළට ඇතුළුවීමෙන් පසුව එය මැඬලීම සඳහා ප්‍රතිපත්ති සැකසීම, උපදේශන සැපයීම, මාර්ගෝපදේශ සැකසීම සහ ආවේක්ෂණ ක්‍රියාවලීන් සිදු කිරීම වැනි කාර්යයන් ඉටු කරනු ලැබුවේ වසංගත රෝග විද්‍යා අංශය යි. ඊට අමතරව කොරෝනා රෝගීන් සමග සම්බන්ධිත පුද්ගලයන් සෙවීම, දත්ත රැස් කිරීම සහ දත්ත දිවයින පුරා ව්‍යාප්ත කිරීම සිදුකරනු ලැබුවේ ද වසංගත රෝග විද්‍යා අංශය යි. එසේම කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ඉහළම මට්ටමේ තාක්ෂණික මඟ පෙන්වීම සහ උපදේශ සැපයීම යන සේවාවන් සපයනු ලැබුවේ ද වසංගත රෝග විද්‍යා අංශය යි.  මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය සෑහෙන දුරට පාලනය වී තිබීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා යටතේ  වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිදු කළ අඛණ්ඩ ක්‍රියාවලිය විශාල බලපෑමක් සිදුකරනු ලැබුවා.

වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා පිළිබඳව ජනතාව දැනුවත් කළ ආකාරය (Epidemiology Unit)

අනාගත කාර්යභාරය 

වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකරනු ලබන ප්‍රධාන කාර්යයන් අතරට රෝග ආවේක්ෂණය, රෝග පැතිරයාම පාලනය කිරීම, රෝග පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැනි දේ අයත් වනවා. එලෙස ඔවුන් විසින් අඛණ්ඩව සිදුකරන ක්‍රියාවලිය නිසා රට තුළට වසංගතයක් ඇතුළු වුණු විගසම එය පාලනය කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව අනාගතයේ දී ශ්‍රී ලංකාව තුළ යම් වසංගත තත්ත්වයන් ඇති වුණොත් ඒවා මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයට යි. එම නිසාම අනාගතයේ දීත් වසංගත රෝග විද්‍යා අංශයේ සේවය රටට විශාල වශයෙන් අවශ්‍ය වනු ඇති.

කවරයේ ඡායාරූපය- curiouskeeda.com

මූලාශ්‍රයයන්- epid.gov.lk