Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ වඩාත් ම ආරක්ෂිත දේශසීමාව

මීට කලකට පෙර යුරෝපයේ ඇතැම් දේශසීමා ඉතා ආරක්ෂිත ව පැවතුණා. විශේෂයෙන් ම කොමියුනිස්ට් සහ ධනවාදී කඳවුරු අතර එදිරිවාදිකම් පැවති සමයේ මෙම තත්ත්වය විශේෂයෙන් දකින්න ලැබුණ බව ඔබ අසා ඇති. එකල යුරෝපයේ පමණක් නොව සමස්ථ ලෝකයේ ම ඉතා ම ආරක්ෂිත දේශසීමාවක් ලෙස බර්ලින් තාප්පය සලකන්න පුළුවන්.

බර්ලින් තාප්පය 1989 දී බිඳ වැටුණා. පහත වීඩියෝවෙන් ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගන්නට ලැබෙනවා.

අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන දේශසීමාව වර්තමානයේ යුරෝපයට අයත් වඩාත් ම ආරක්ෂිත දේශසීමාව ලෙස සලකනවා. නෛතික වශයෙන් යුරෝපයට අයත් වුණත් එය පිහිටා තිබෙන්නේ අප්‍රිකානු භූමියේ යි. ඉතින් එය යුරෝපය සහ අප්‍රිකාව අතර වන ගොඩබිම් සීමාවන් දෙකෙන් එකක් ලෙසත් සලකන්න පුළුවන්.

මෑත කාලයේ දී මෙම ප්‍රදේශ දෙක වැදගත්කමක් ගෙන ඇත්තේ අප්‍රිකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන් යුරෝපයට ළඟාවීම සඳහා යොදාගන්නා ස්ථාන දෙකක් බවට පත්වීම හේතුවෙන්.

මෙලීයා සහ සෙවුටා

උතුරු අප්‍රිකාවේ මොරොක්කෝ රාජ්‍යයේ උතුරුදිග වෙරළබඩ ප්‍රදේශයේ ස්පාඤ්ඤයට අයත් කුඩා ප්‍රදේශ දෙකක් තිබෙනවා. මේවා කුඩා නගර වන අතර ස්පාඤ්ඤ රාජ්‍යයේ කොටස් ලෙස මිසෙක එහි යටත් විජිත ලෙස ඒවා සැලකෙන්නේ නැහැ. මේ නිසා නිල වශයෙන් එම ප්‍රදේශ දෙක යුරෝපා සංගමයට ද අයත් වනවා. මෙම ප්‍රදේශ දෙක වන්නේ සෙවුටා (Ceuta) සහ මෙලීයා (Melilla) යි.

මෙලීයා ප්‍රදේශය වර්ග කි. මී. 12.3ක් පමණ විශාලත්වයෙන් යුතු 70,000ක පමණ ජනගහනයක් ජීවත් වන ප්‍රදේශයක්. සෙවුටා ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි. මී. 18.5ක් වන අතර ජනගහනය 77,000ක් පමණ වනවා.

සෙවුටා සහ මෙලීලා (irinnews.org)

සෙවුටා සහ මෙලීයා යුරෝපීය පාලනයට නතු වූයේ 15 වන සියවසේ දී යි. සෙවුටා පෘතුගාලය විසින් අල්ලාගන්නා ලද්දේ 1415 දී යි. එය පෘතුගාලය නාවික බලවතෙකු ලෙස නැඟීමේ මුල් ම අවස්ථාවෙන් එකක් වුණා. එය පසු ව ස්පාඤ්ඤයට එකතු වුණා. ඒ 1668 දී. මෙලීයා ප්‍රදේශය ස්පාඤ්ඤ පාලනයට යටත් වූයේ 1497 දී.

මෙලීයා සහ සෙවුටා ප්‍රදේශ දෙක ම වෙන් කෙරෙන දේශසීමා වැටවල් මෑත කාලීන ව ඉදිකරනු ලැබුණා. ඒ අප්‍රිකානු සරණාගතයන් ඒ හරහා යුරෝපයට අනවසරයෙන් ඇතුළ් වීමට කරන උත්සාහයන් නිසා යි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හේතුවෙන් විශේෂයෙන් ම මෙලීයා දේශසීමාවේ පවුර පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා.

දේශසීමා පවුරු

මෙලීයා ප්‍රදේශයේ දේශසීමාවෙහි ආරක්ෂක පද්ධතිය එහි කි. මී. 11ක් පුරා දිවෙනවා. එහි වෙනම ම වැටවල් තුනක් දකින්න පිළිවන්.

ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයෙන් පටන් ගත් විට පළමු වැට මීටර 6ක උසින් යුක්ත වනවා. ඉන්පසු දෙවන වැටක් වන අතර,එහි ඉහළ කොටස නැමී තිබෙනවා. එහෙයින් එය නැඟීම අසීරු යි. තුන්වන වැට ඊට වඩා උසින් යුතු, ඉහළ කොටස නැමුණ එකක්. මෙම වැටවල් දෙක අතර මෙන්ම එම වැටවල් ද කටු කම්බිවලින් වඩාත් ආරක්ෂිත ව පවතිනවා. සෙවුටා ප්‍රදේශයේ ද ස්පාඤ්ඤය විසින් ප්‍රබල ආරක්ෂක වැටක් ඉදිකර තිබෙනවා.

මෙම ප්‍රදේශ දෙකෙහි ම කලක පටන් දේශසීමා වැටවල් තිබුණ නමුත් 2005 දී පමණ ඒවා වඩා ශක්තිමත් කෙරුණා. ඊට අමරත ව මෑත කාලීන සරණාගත ප්‍රශ්න හේතුවෙන් 2014 සිට ස්පාඤ්ඤය දේශසීමා ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මීට අමතර ව මොරොක්කෝව ද දේශසීමාවේ තමට අයත් පාර්ශවයෙහි ආරක්ෂිත වැට සහ අගලක් පවතිනවා. මොරොක්කෝව මෙසේ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ එරට සහ යුරෝපය අතර පවතින විශේෂ සබඳතාව හේතුවෙන්. මොරොක්කෝව යුරෝපා සංගමය විසින් විශේෂ සැලකුම් ලබන රාජ්‍යයක් ලෙස සලකනු ලබන අතර, මොරොක්කෝවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙන් අඩක් පමණ සිදුවන්නේ යුරෝපය සමග යි. මේ අතර මොරොක්කෝවට යුරෝපා සංගමයේ ආධාර ද විශාල වශයෙන් ලැබෙනවා. යුරෝපයේ ගැටලුව සඳහා විසඳුමක් සොයා ගැනීමට යුරෝපා සංගමය විසින් මොරොක්කෝවේ ද සහය බලාපොරොත්තු වනවා. එමෙන්ම යුරෝපය සමග සිය සබඳතා හොඳ මට්ටමක තබා ගැනීමේ අභිලාෂය මත මොරොක්කෝව යුරෝපා සංගමයට සරණාගතයින් පළා යාම වැළැක්වීමට සහාය ලබා දෙනවා.

පිරිස් ශක්තිය

සාමාන්‍යයෙන් මෙලීයා හරහා පළා යාමට පැමිණෙන්නේ උප සහරානු අප්‍රිකාවේ රටවල්වලින් පැමිණෙන පිරිස යි. එනම් සහරා කාන්තාරයට දකුණුදිගින් වන රටවලින් පැමිණෙන අය යි. මොවුන් සාමාන්‍යයෙන් කරන්නේ මෙලීයාවට එපිටින් මොරොක්කෝ ප්‍රදේශයන් හි වනගත ප්‍රදේශයක​ විශාල පිරිසක් වශයෙන් රැස් ව දේශසීමාවෙන් පැනීම සඳහා පැමිණීම යි. මොරොක්කෝවට අයත් ප්‍රදේශයේ දී එහි ආරක්ෂක භටයින් විසින් ඔවුන්ව හැකි පමණින් වළක්වනු ලබනවා. එයින් පැන්න ද ඉන්පසු ස්පාඤ්ඤ දේශසීමා ආරක්ෂකයින් විසින් ඔවුන් වළක්වනු ඇති.

ස්පාඤ්ඤ සිවිල් ආරක්ෂක භටයෙක් සරණාගතයින් එළවා දැමීමට පවුරක් මතට නඟියි. මෙය 2014 දී සිදුවූවකි (Getty Images)

විශාල පිරිස් වශයෙන් පැමිණෙන අවස්ථාවල දී ඇතැම් විට කිහිප දෙනෙකුට දේශසීමා ආරක්ෂකයින්ට හසු නොවී ස්පාඤ්ඤ පාලනය යටතේ පවතින ප්‍රදේශයට පැන ගැනීමට අවස්ථාව ලැබීමේ ඉඩක් තිබෙනවා.

මොරොක්කෝ පාලකයින් ද මෙම පිරිස් රටින් පිටුවහල් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් විවිධ ක්‍රම මඟින් මෙම කණ්ඩායම් සංවිධානය වීම නැවැත්වීමට උත්සාහ කරනවා. ඇතැම් විට පොලිසිය සරණාගතයින් රැස්වන කඳවුරුවලට කඩා වදිනවා. එම කඳවුරු කඩා බිඳ දමනවා. ඇතැම් අවස්ථාවල මෙම සරණාගත කණ්ඩායම් අල්ලාගෙන ගෙනගොස් රටෙහි වෙනත් ප්‍රදේශයන් හි මුදා හරිනවා.

සරණාගත ප්‍රශ්නය උග්‍ර ව පැවති 2014 දක්වා කාලය තුළ මෙහි නිතර උණුසුම් තත්ත්වයන් මතු වුණා. ඉන්පසු එවන් සිදුවීම් වාර්තා වන්නේ අඩුවෙන්. නමුත්, අදටත් මෙලීයා සහ සෙවුටා යනු යුරෝපයේ වඩාත් ම ආරක්ෂිත දේශසීමාව ලෙස සලකන්න පුළුවන්.

කවරයේ පින්තූරය: මෙලීලා දේශසීමා පවුර​ (Getty Images)

මූලාශ්‍රයයන්:

  • Europe’s Most Fortified Border is in Africa (Vox)
  • Ceuta, Melilla Profile (BBC)

Related Articles