ඔබ මේ ලිපිය කියවන්නේ කඩදාසියක සටහන් වූ ලියවිල්ලක් විදිහට නෙමෙයි. විද්‍යුත් ලේඛණයක් හැටියටයි. නමුත් මීට වසර කිහිපයකට පෙර මෙවන් දෑ කියවූයේ කඩදාසියක මුද්‍රණය කල ලියවිල්ලක් හැටියට බව ඔබට මතක ඇති. තාක්ෂණයේ දියුණුවත් සමඟ අද ලේඛණය විද්‍යුත් මාධ්‍ය දක්වා ගමන් කර ඇති බව සැබෑය.

අතීතයේදී මිනිසා ලිවීමට යොදාගත් දෑ ගැන ඔබ මොහොතකට සිතා බලන්න, මානව පරිණාමයත් සමඟ දියුණු වූ සන්නිවේදනයේ වැදගත් අංශයක් වූ භාෂාව, පසුකාලීනව ලිවීමටත්, එතැනින් මුද්‍රණයට පැමිණීමත් සමඟ විශාල පෙරළියකට හසු වුණා. මෙය ඉතා රසවත් කතාන්දරයක්.

පරිගණක, ටැබ්, ආදී නවීන මෙවලම් හරහා අන්තර්ජාලය, බිලොග් වෙබ් අඩවි ඔස්සේ මිනිසාගේ ලිවිම අද වර්ධනය වී තියෙනවා. එහෙත් ඒ සඳහා පසුබිම සැකසූ නොයෙකුත් මෙවලම් ඇත්තවශයෙන්ම මිනිසාගේ විස්මිත සොයාගැනීම් කිව්වොත් නිවැරදියි. මේ අපූරු සොයා ගැනීම් වල කතාන්දරයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් අද අපි ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

ලේඛනයේ ඓතිහාසික තොරතුරු

පැරණි පැපිරස් පතක අඳින ලද චිත්‍රයක්.

ලිවීමට මිනිසා පටන්ගත්තේ කවදාදැයි පැහැදිලිව කීමට නොහැකි නමුත්, ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම තම අදහස් කියා පෑමට ආදී මිනිසා උත්සාහ ගත් ආකාරය පිළිබඳව නොයෙකුත් සාධක හමුවී තිබෙනවා. ස්පාඤ්ඤයේ “ අල්තමිරා ” සහ ප්‍රංශයේ “ ලැස්කෝ ” ආදී ගුහා වල එවක මිනිසුන අඳින ලද චිත්‍ර, ලේඛණයේ ආරම්භක අවස්ථාව හැටියට විද්වතුන් දක්වනවා.

භාෂාවක් පැහැදිලිව භාවිතා නොවූ මේ කාලයේ රූප සටහන් මගින් අදහස් ප්‍රකාශ කර තිබෙනවා. කල් යාමේදී නොයෙකුත් සංකේත මේ සඳහා යොදාගත් බව ඉතිහාසයේ සඳහන්. ඉරාකයේ “මයිනේෂියාව” නමැති ප්‍රදේශයෙන් හමුවී තිබෙන “සිල්බරි අක්ෂර” මානව ඉතිහාසයේ භාවිතාකල මුල්ම අකුරු ලෙස හඳුනාගෙන තිබෙනවා.

නොයෙකුත් ශිෂ්ඨාචාර ආශ්‍රිතව වර්ධනය වූ මිනිසාගේ ලිවිම සඳහා මුල් අවධියේදී ලෙන් ගුහාවල බිත්ති භාවිතා කර තිබුණා. නමුත් නයිල් නිම්න ශිෂ්ඨාචාරයේ වැසියන් ලිවිම සඳහා “පැරපිස් පත්‍ර” යොදාගත් බව පුරා විද්‍යාත්මක සාධක වලින් තහවුරු වී තිබෙනවා. නයිල් ගඟ අසබඩ වැවෙන “පැපිරස්” කියන පැළෑටිය වේලලා තීරු කරලා නැවත එකට තියල බැඳලා තමයි ඔවුන් පැරපිස් පත්‍ර හදා ගත්තේ.

සුප්‍රකට ඓතිහාසික කතන්දරයක් වූ “හෝමර් සහ ඉලියඩ්” වැනි කතන්දර ද ලිවිම සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ  පැරපිස් පත්‍රයි.

ඉන්දු නිම්න වැසියන් බ්‍රාහ්මි අක්ෂර භාවිතා කල අතර ලිවිම සඳහා ඔවුන් යොදා ගත්තේ “තල් පත්, තඹ පත්, ගල් පුවරු” ආදියයි. මේ කාලයේ චීන වැසියන් ආගමික කාරණා මුල් කර ගනිමින් ලේඛනයේ යෙදුන අතර ඒ සඳහා “බට පතුරු” හා “කැස්බෑ ලෙලි” භාවිතා කල බව ඉතිහාසික මූලාශ්‍ර වල දැක්වෙනවා.

කඩදාසි සොයාගැනීම

චින ජාතික සායි ලුං.

ක්‍රි. පූ. 105 දි පමණ චීනයේ “වුං” කියන රජතුමාගේ  අන්තඃපුරයේ සේවය කරපු “සායි ලුං” නැමැත්තා තමයි කඩදාසි සොයා ගන්න මුල් වුණේ. ඔහු දවසක්  මල්බෙරි ගහේ යටි පොත්ත අරගෙන උණ පතුරුවල කෙඳි සමඟ වතුර එක්ක මිශ්‍ර කළා. ඉන් පස්සෙ ඒ මිශ්‍රණය රෙදි කෑල්ලක තුනී කරලා වතුර ටික බේරලා වියළා ගත්තා. දැන් රෙදි කැබැල්ලේ ඉතිරි වුණේ කෙඳි විතරයි. මේ විදිහට ඝන වුණු කෙඳි ටික වියළුණු පසු යමක් ලිවිය හැකි, බරින් අඩු,  වඩා සුදු පැහැති මතුපිටක් නිර්මාණය වෙලා තිබුණා. මේක තමයි මුල්ම කඩදාසිය උණේ.

සායි ලුං ගේ සමකාලින මිතුරෙක් වූ  “සුයි” කඩදාසි සෑදීමේ ක්‍රමවේදය වඩාත් වැඩිදියුණු කළා. මේ නිසා කඩදාසි සොයාගැනීමේ ගරුත්වය චීන ජාතිකයින්ට හිමි උනා. කඩදාසි සොයා ගැනීම නිසා සායි ලුං ට බොහෝ තෑගී, වරප්‍රසාද ලබා දෙන්න වුං රජතුමා අමතක කළේ නැහැ. සායි ලුං, වංශාධිපතිවරයෙක් බවට පත් කල බව චින ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙනවා.

දැනට සොයා ගෙන ඇති කඩදාසිවල ලියැවුණු පැරණිම පොත – ක්‍රි.ව. 256, චීනය.

මෙසේ කඩදාසි වල ලිවිම ක්‍රමයෙන් ලොව පුරා පැතිරී ගියා. එහෙත් එය  ඉතා වෙහෙසකර, කාලය අධිකව වැය වෙන කටයුත්තක් බව අමුතුවෙන් කියන්න උවමනා  නැහැ. එකම ලියවිල්ල අතින් ලිවිම නිසා එහි කල් පැවැත්ම සිමා සහිත බවත්, පිටපත් කිරීම සඳහා බොහෝ දෙනෙකුගේ සහාය අවශ්‍ය බවත් පෙනී ගියා. මේ නිසා, ලේඛනය තවත් විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවුනා.

යම්කිසි ලේඛනයක් අතින් ලියා පිටපත් කරනවා වෙනුවට එය පහසුවෙන් පිටපත් කර ගත හැකි ක්‍රමයක් වෙත මේ වෙනකොට මිනිසාගේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා. මුද්‍රණ සංකල්පය ඇති වූයේ එහි ප්‍රතිඵලයක් විධිහටයි.

මුද්‍රණ යන්ත්‍ර නිපදවීම

බ්ලොක් මුද්‍රණ යන්තරයක්.

මුද්‍රණ ක්‍රමය ලොවට හඳුන්වා දෙන්නේද චීන ජතිකයිනුයි. මේ සරළ මුද්‍රණ ක්‍රමය හඳුන්වා ඇත්තේ “ බ්ලොක් මුද්‍රණය ” යනුවෙන්. පැතලි ඵලකයක් සාදාගෙන, ඒ මත අකුරු කොටා, ඒ මත තීන්ත ගලවා එම ඵලකය කඩදාසිය මත තැබීමෙන් බ්ලොක් මුද්‍රණය සිදු කරනවා.මෙය හිතන තරම් පහසු කටයුත්තක් නොවුනත්, රාජකීය ලේඛණ ඇතුළු එවකට මුද්‍රණ අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් උණා.

ක්‍රි. ව. 868 දී චිනයේ විසූ “වොන්චි” කියන පුද්ගලයා තමයි මුල් වරට බ්ලොක් මුද්‍රණ ශිල්පය භාවිතා කරලා තියෙන්නේ. ධර්ම කාරණා ඇතුලත් කර මොහු මුද්‍රණය කල ග්‍රන්ථය තමයි, “මහායානික වජ්රසූත්‍රය”. නොමිලේ බෙදාහැරීම සඳහා මුද්‍රණය කර ඇති මේ ග්‍රන්ථය පසු කාලයේදී  “දහසක් බුදුවරුන්ගේ ගුහා” නමැති ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

චිනයේ මුද්‍රණ ශිල්පය ආරම්භව එය යුරෝපයට පැතිරීමට වසර 1000 පමණ ගතවී තිබෙනවා. ක්‍රි. ව. 1111 දී සිසිලයේ කඩදාසි නිපදවීම ආරම්භ වීමත් සමඟම යුරෝපයේ මුද්‍රණ ශිල්පය ඉතා වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තා.

නූතන මුද්‍රණ යන්ත්‍රයට නෑකම් කියන මුල්ම මුද්‍රණ යන්ත්‍රය නිපදවෙනේ ජර්මනියේදී. ඒ ක්‍රි. ව. 1450 දී ජර්මන් ජාතික  “ජෝහන්ස් ගුටෙන්බර්ග්” විසිනුයි. ගුටෙන්බර්ග් ගේ මුද්‍රණ යන්තරයේ ඇති වැදගත් කම වන්නේ, එතෙක් පවතී බ්ලොක් මුද්‍රණයට වඩා දියුණු ක්‍රමවේදයක් යොදාගත් නිසයි. එහි වැදගත්ම ලක්ෂණය වෙන්නේ, එහා මෙහා කල හැකි අකුරු ක්‍රමවේදයයි.

ප්‍රථම මුද්‍රිත ග්‍රන්ථය

ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය.

ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය භාවිතා කර මුද්‍රණය කල මුල්ම ග්‍රන්ථය වන්නේ බයිබලයයි. මෙයින් එකලමුද්‍රණ ක්ෂේත්‍රය හා ආගමික පසුබිම අතර  පැවති සම්බන්ධතාවය පැහැදිලි වෙනවා. මෙසේ මුද්‍රණය කල බයිබලය පිටු 1282 සමන්විත වෙනවා.

ඒ කෙසේ වෙතත්, ක්‍රි. ව. 1423 දී නෙදර්ලන්ත ජාතිකයෙකුද මුද්‍රණ ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.   නමුත් එය ගුටෙන්බර්ග් ගේ මුද්‍රණ යන්ත්‍රය තරම් සාර්ථක නැති බවයි වාර්තා වෙන්නේ.

ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන අන්දමට යුරෝපයේ ඒ ඒ රටවල මුද්‍රණ ශිල්පය විකාශනය වූ ආකාරය මෙසේ දක්වන්නට පුළුවන් :

  • ක්‍රි. ව. 1464 – රෝමය
  • ක්‍රි. ව. 1469 – වැනීසිය
  • ක්‍රි. ව. 1470 – ප්‍රංශය
  • ක්‍රි. ව. 1471 – නෙදර්ලන්තය
  • ක්‍රි. ව. 1472 – ස්විට්සර්ලන්තය
  • ක්‍රි. ව. 1476 – එංගලන්තය, ආදී වශයෙන් මුද්‍රණ ශිල්පය ව්‍යාප්තවී තිබෙනවා.

අද දක්වා ගමන් මග

නවීන ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක්.

මෙලෙස රටින් රට මුද්‍රණ ශිල්පය පතිරියමත් සමඟ එහි දියුණුවද ඉක්මනින්ම සිදු වුණා. අතින් අකුරු ඇමිණීමේ සිට ඊයම් වත් කර අකුරු වල ආකෘති සාදා ගැනීම ක්‍රි. ව. 1886 දී සොයා ගත්තා. මේ ක්‍රමය හඳුන්වනු ලැබුවේ “ලයිනේටයිප්” යනුවෙන්. ඉන් පසුව “මොනොටයිප්” යනුවෙන් හැඳින්වුණු යතුරු පුවරුවක් ආධාරයෙන් අකුරු නිර්මාණය කර ගැනීම සිදු වුණා.

දීර්ඝ කාලයක් පැවති මේ ක්‍රමය වෙනස් වූයේ කර්මාන්තයක් වශයෙන් මුද්‍රණ ශිල්පය වර්ධනය වීමත් සමඟයි. නූතන තාක්ෂණික ක්‍රමවේද දක්වා මුද්‍රණ ශිල්පය වර්ධනය වීමට අඩිතාලම දැමුණු  “ලිතොග්‍රාෆ්” මුද්‍රණ ක්‍රමය බිහිවුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය.

1960 දශකයේදී පරිගණක තාක්ෂණය මුද්‍රණ ශිල්පයට හඳුන්වාදෙනු ලැබුවා. ඒ සමඟම නොසිතු විරූ පෙරලියක් මේ ක්ෂෙත්‍රයේ සිදු වුණා. මිනිසාගේ සන්නිවේදන ක්‍රියාවලියේ වැදගත් අංශයක් වූ අදහස් ප්‍රකාශ කිරීම, භාෂණය, ලේඛනය හරහා මුද්‍රණය දක්වා පැමිණි කතාන්දරය දැන් සුපිරි මාවතකට පිවිස තිබෙනවා. ලෝකයේ එක කොනක සිට අනෙක් කොනට තම අදහස සන්නිවේදනය කිරීමට අද ගතවන්නේ ඉතා සුළු කාලයකි. ඒ සඳහා ලේඛනය, මුද්‍රණය අප සිහිනෙන් වත් නොසිතු තාක්ෂණික මෙවලම් හරහා සිදුකල හැකිවීම ඇත්තටම විස්මය ජනකයි.

ඡායාරූප : Wikipedia, WordPress.com, lumiledsolutions.com, www.boondi.lk, Biography.com, creativepro.com, ndiaMART