Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉමෝජි ගැන අපුරු කාරණා ටිකක්

ලේඛනය හරහා පණිවිඩ හුවමාරු කරගැනීමේදී ඒ සඳහා වෙනමම ලේඛන වහරක් තිබේ. සාමාන්‍ය කථන බස හෙවත් කටවහර ප්‍රදේශ අනුව විවිධාකාර ලෙස භාෂා රැසක් සහ එකම භාෂාවේ ප්‍රභේද රැසක් වශයෙන් දකින්නට ලැබෙන නමුත් ලේඛනයේදී එකම යුගයකදී වචනවල අර්ථයේ ගැඹුරු බව අවස්ථානුකූලව යොදාගෙන තිබෙන බවද දක්නට ලැබෙනවා. නූතනයේදී වචන/පෙළ පණිවිඩ හරහා කටවහරද ලේඛන මාධ්‍යයෙන් යොදා ගැනෙන අතර ඒ නිසාම ලෝකයේම එකම වහරකින් යුත් භාෂා ප්‍රභේද බිහිවෙමින් එකම භාෂාවේද තිබෙන ප්‍රභේද එකක් බවට ගොනුවෙමින් තිබේ.

ඒ ඡේදය කියවන කොට නිකං ඊට පස්සේ අසා ඇති ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න වගේ දෙයක් ඔබට දැනෙන්න පුළුවන්. මොකද, ලේඛනය ලේඛන වහරින් ඒ විධියට අමුවෙන්ම ලියනකොට නූතනයේ අපි මේ භාවිතා කරන කටවහර මුසුවුණු සරල භාෂාවට වඩා ටිකක් අපහසු බවක් දැනෙනවා. ඒත් කිව්වාට විශ්වාස කරන්න, මම ඒක ලිව්වේ හිනාවෙවී, බොහොම විනෝදෙන්.

ඔව්, දන්නවා ඔබ එය කොහෙත්ම විශ්වාස කරන්නේ නැති බව. දත්මිටි හපාගෙන “මම ලේඛනයේ යෙදුනෙමි” වගේ ඒක එහෙම පේන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි, ලේඛනයේදී මුහුණේ හැඟීම් පහසුවෙන් ප්‍රකාශ කිරීම මඳක් අපහසු නිසායි. මේ වචන ටිකත් සරල භාෂාවෙන් ලිව්වාට ඒක කරලා තිබෙන්නේ “මේ කිනම් කෙසෙල් පුෂ්පයක්දැ” කියා තරහෙන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විධියට අපිට ලේඛනයේදීත් කථනයේදී මෙන්ම හැඟීම් ප්‍රකාශනය කිරීම වඩාත් පහසු කරගන්නට තමයි ඉමෝජි භාවිතා කරන්නේ. 🙂 දැන්නම් ඉමෝජි නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා, එහෙම නේද?

විශ්ව භාෂාවක් 🗣

(openclipart.org)

(openclipart.org)

තාක්‍ෂණයේ වර්ධනයත් සමඟ ගෝලීයව අන්තර්ජාතික වශයෙන් ජනතාව පණිවිඩ හුවමාරු කරගැනීම ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ සමඟ ඉමෝජිද හැම කෙනෙක්ගේම සිත්ගත් දෙයක් වූ අතර අකුරු පෙළකට හැඟීමක් එක් කිරීම හැරුණු කොට ලොව ඕනෑම කෙනෙකුට එය දැකීමෙන් එකම අර්ථය හැඟීයාම එහි තිබෙන සුවිශේෂී ලක්‍ෂණයක්.

එයා කී දේට ඔබට සිනහා යනවා නම්, රිය පදවන අතරතුරේ LOL කියා හෝ “මට තොපගේ වදන් වලට මහත් සිනා ඉපිදුණෝ ය.” කියා ලියනවාට වඩා සිනා මුහුණක් 😂 යැවීම පහසුයි වගේම ප්‍රමාණවත්. මේ විධියට අතීත ඊජිප්තුවේද ලේඛනයට භාවිතා කළ චිත්‍රාක්‍ෂර ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගත හැකි භාෂාවක්.

ඉමෝජිවල ආරම්භය ආසියාවෙන් 🌏

ඉමෝජිවල පියා - ශිගෙතකා කුරිතා (storify.com)

ඉමෝජිවල පියා – ශිගෙතකා කුරිතා (storify.com)

කවුරුහරි හොඳ දෙයක් කළාම ඒක අපේ අකවුන්ට් එකටත් වැටෙන විධියට කියන්න අපි ආසයි නේ? 😛 ඉතින් ආසියාව කියලා කිව්වාට ඇත්තටම මේ “ඉමෝජි” කියන වචනයේ මූලාරම්භය සනිටුහන් වෙන්නේ ජපානයෙන්. රූපාක්‍ෂරය යන අර්ථයෙන් යුත් ඉමෝජි යන්න සෑදී ඇත්තේ ඉ – රූපය, මෝජි – අක්‍ෂරය යන ආකාරයෙන්.

ඊට පෙර සිටම කෝලන් [:] සහ වරහන් භාවිතයෙන් කෙටි පණිවුඩ සමඟ හැඟීම් ප්‍රකාශන ප්‍රචලිතව තිබුණු නමුත් එය තනි පරිගණක අක්‍ෂර වශයෙන් බිහිවීමට හේතුවූයේ ජපානයේ බිහිවෙමින් පැවති දුරකථන මෙහෙයුම් පද්ධතියක් සමඟයි. ඉමෝජිවල පියා ලෙස හැඳින්වෙන ශිගෙතකා කුරිතා වර්ෂ 1999දී පමණ දුරකථනවලට අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණු කරගත් i-mode නම් දුරකථන අන්තර්ජාල වේදිකා ව්‍යාපෘතියේ කටයුතු කළ අතර එකල තිබූ දුරකථනවල අද මෙන් ඕනෑතරම් අකුරු ලිවිය හැකි අවකාශයක් නොතිබුණු බව ඔබට මතක ඇති. තනි වර්ණයක් පමණක් තිබුණු ඒවායේ උපරිම වශයෙන් ඉඩ තිබුණේ අකුරු 48කට පමණ තමයි. ඉතින් ඒවායේ දැක්විය යුතු දේවල් ලිවීමට සිදුවුණේ ද අවම වශයෙනුයි.

ලොව ප්‍රථම ඉමෝජි 180න් බිඳක් (ඡායාරූප හිමිකම NTT DOCOMO)

ලොව ප්‍රථම ඉමෝජි 180න් බිඳක් (ඡායාරූප හිමිකම NTT DOCOMO)

මේ නිසා ඔහු කල්පනා කර ඇත්තේ ඒවා කියවීමත් අපහසු නිසා ඒ වෙනුවට රූපවාහිනියේ කාලගුණ වාර්තාවේ මෙන් වැසි දිනයන්හිදී කළු වළාකුළක් 🌧 සහ හිරු රශ්මිය ඇති දිනවලදී සූර්යයාගේ ☀️ චිත්‍රයක් ආදී වශයෙන් රූපමය සංකේත භාවිතා කළ හැකිනම් එය ඉතා පහසුවක් ගෙන දෙනු ඇති බවයි. එය i-mode වෙත යෝජනා කිරීමෙන් පසු ස්ථිරවූ අතර කුරිතා මේ ඉමෝජි නිපැයීම සඳහා අදහසක් ගන්නට නගරයේ සැරිසරමින් ජනතාව ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කොට තිබෙනවා. අනතුරුව මාසයක් ඇතුලත ඔහුට ලොව ප්‍රථම ඉමෝජි 180 නිපදවන්නට හැකිවූවා. ඒවා පික්සල 12×12 ප්‍රමාණයේ ඒවායි.

යුනිකෝඩ් සම්මතයක්

(nbcnews.com)

(nbcnews.com)

ඉමෝජි ප්‍රථමයෙන් භාවිතා වූයේ NTT DoCoMo, au, සහ පෙර Vodafone ලෙස හැඳින්වුණු SoftBank Mobile යන ජපන් දුරකථන සමාගම්වලයි. ඔවුන් ඒවායේ ඔවුන්ටම ආවේණික හිමිකාරී (proprietary) සම්මතයන් දැරුවා. NTT DoCoMo සමාගමේ i-mode හරහා ඉමෝජි සන්නිවේදනය කෙරුණේ බයිට් දෙකක අනුක්‍රමයක් ආකාරයට වන අතර au සමාගම HTML කේතකරණයේ එන IMG යන ඡායාරූප ටැග් එක භාවිතා කළා. පසුකාලීනව ගෝලීය භාවිතය සඳහා යුනිකේත හරහා ඉමෝජි අඩංගු කරගනු ලබමින් සම්මතයකට ගෙන ආවා.

2010න් පසු, සිංහල වැනි සංකීර්ණ භාෂා පරිගණකයේ නිවැරදිව භාවිතා කිරීම සඳහා රුකුලක්වූ යුනිකේත ක්‍රමයටම ඉමෝජිද ඇතුලත් කළ අතර ඉන් ජපානයෙන් එපිට රටවල විවිධ මෙහෙයුම් පද්ධති හරහා වැඩි පිරිසකට ඒවා භාවිතා කිරීමට අවකාශ සැලසුණා. යුන්කේත 6.0 සම්මත වෙළුම 2010 ඔක්තෝබර් මස එළිදැක්වුණු අතර එහි සියළු අක්‍ෂර 722ක් අන්තර්ගතවූවා. එහි වැඩිපුර එක් කර තිබූ ඉමෝජි ගූගල් සහ ඇපල් සමාගම්වලින් යෝජනා කොට දිගු ශ්‍රේණියකින් යුත් යුනිකේත සම්මත කරගැනීමේ සංගමයේ ඇමරිකාව, ජර්මනිය, අයර්ලන්තය, ජපානය යන රටවල් රැසක සහභාගීත්වයෙන් යුත් නිලධාරි මඬුල්ලක් හරහා අනුමත කරන ලද ඒවායි.

නමුත් වෙනස් මුහුණු රැසක්

විවිධ ආයතනවල භාවිතාවන ඉමෝජි ප්‍රභේද (unicode.org)

විවිධ ආයතනවල භාවිතාවන ඉමෝජි ප්‍රභේද (unicode.org)

එහෙත් යුනිකේත හරහා තිබිය යුතු ඉමෝජි වර්ග: සිනා මුහුණ, හඬන මුහුණ, අත වනන ආකාරය ආදී ඒවා සම්මත කොට තිබුණත් අකුරු හැඩ වෙනස් ෆොන්ට් රැසක් තිබෙන්නාක් වගේ මේවා අපිට දකින්නට ලැබෙන ආකාරයන් විවිධාකාරයි.

ගූගල්, ඇපල්, සැම්සුන් ආදී සමාගම් ඔවුන්ගේ සියළු උපාංග හා මෙහෙයුම් පද්ධතිවල ඔවුන්ට ම ආවේණික ඉමෝජි හැඩ භාවිතා කරන අතර එකම සමාගමේ වුවත් විවිධ නිශ්පාදනවල විවිධ ඉමෝජි භාවිතා කරන අවස්ථාවන් තිබෙනවා. උදාහරණයක් ලෙස ෆේස්බුක් සමාගමේ නිශ්පාදනවල, ෆේස්බුක් ප්‍රධාන වෙබ් අඩවියේ එක් ආකාරයකුත්, මැසෙන්ජර් සේවාවේ තවත් ආකාරයකුත්, වට්ස්ඇප් යෙදුමේ ඇපල් සමාගමේ ඉමෝජිත් භාවිතා කරන ආකාරය දක්වන්න පුළුවන්.

එසේම ට්විටර් වෙබ් අඩවිය ඔවුන්ගේම ආකාරයකුත්, වින්ඩෝස් සමාගම ඔවුන්ගේම ආකාරයකින් යුත් ඉමෝජි ආකෘතීන් ද භාවිතා කරන අතර මෙහි ඇති අවාසිය නම්, උපාංග හරහා මේවා යැවීමේදී ඇතිවන වැරදි තේරුම් ගැනීම්නුයි. සැම්සුන්ග් දුරකථනයෙන් මා සිනාසෙන මුහුණක් ට්වීට් කරන විට එය වෙබ් අඩවිය හරහා අනෙක් අයට පෙනෙන්නේ විරිත්තන මුහුණක් ලෙසයි. මේ නිසා මේවායේද හැඩයන්ගේ ද සම්මතයක් ලොවට අවශ්‍ය බව පිළිඹිබු වෙනවා.

අන්තර්ජාතික ඉමෝජි දින-දර්ශන දිනය

(minuum.com)

(minuum.com)

මෙසේ හිතුමතේ ඉමෝජිවලට හැඩදීම් අතරේ ඇපල් සමාගම ද දින දර්ශනයක් 📅 ලෙසින් ඇති අක්‍ෂරයේ ජූලි 17 හෙවත් ඔවුන්ගේ iCal නිශ්පාදනය මැක් සඳහා 2002 වර්ෂයේදී එළිදැක්වූ දිනය දක්වා ඇති නිසා එය ඇපල් නිශ්පාදන භාවිතා කරන්නන් අතර “අන්තර්ජාතික ඉමෝජි දින-දර්ශන දිනය” ලෙස විහිළුවට කියන්නක් වූවක් නමුත් දැන් එය ලෝක ඉමෝජි දිනය බවට ද හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා.

මේ අපූරු ඉතිහාසයකට හිමිකම් කියමින් අපේ එදිනෙදා සංවාදවලට වැඩි අරුතක් එකතු කරන මේ මුහුණුවලට අපි කෙතරම් ඇබ්බැහි වෙලා ද කියනවා නම් යවන පේළියෙන් පේළියටත් බොහෝ විට මුහුණ බැගින් යැවෙනවා. මේ වනවිට හමේ පැහැයද සහිතව එකම මුහුණට පාටද එක් වෙලා තිබෙන අතරේ ඒත් මදිවෙලා, දැන් ස්ටිකර්ස්නුත් බොහෝ පණිවිඩ හුවමාරු සේවා වලට ඇවිත් තිබෙනවා.

ඉතින් ඔබේ ප්‍රියතම ඉමෝජි එක මොකක්ද? අපිට කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර: The Wall Street Journal, Wikipedia, Storify

කවරයේ පින්තූරය: happy-creative.co.uk

Related Articles