Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව මිල අධිකම දොඩම් වර්ගය ගැන දැනගනිමු

අප බොහෝදෙනා පලතුරු වර්ග ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. වර්තමානය වන විට ලෝක වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ කෙසෙල්ගෙඩි, කොමඩු, ඇපල්, සහ දොඩම් යන පලතුරු වර්ග සඳහා යි. ඊට අමතරව, එළවළුවක් වශයෙන් භාවිතා වූවාට පලතුරක් වශයෙන් ගණන් ගැනෙන තක්කාලිවලටත් විශාල ඉල්ලුමක් පවතිනවා.

පලතුරු වර්ගවලට තිබෙන ඉල්ලුම වැඩිවෙද්දී විවිධ කෘෂි විද්‍යාඥයන් ජාන වෙනස් කරමින් නව පලතුරු ප්‍රභේද සොයාගැනීම මහා පරිමාණයෙන් සිදුකරන දෙයක්. 1970 දශකයේ මුල භාගයේ දී ජපානයේ එවැනි නව දොඩම් ප්‍රභේදයක් බිහිවුණා. ඩෙකොපොන් යන නමින් හැඳින්වෙන එම දොඩම් ප්‍රභේදය ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වුණා. එම ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ ගිය නිසා එය අද වන විට ලොව මිල අධිකම දොඩම් වර්ගය බවට පත්ව තිබෙනවා. 

කොමඩු වගා බිමක් (Shutterstock)

ඩෙකොපොන් දොඩම් බිහිවුණු හැටි 

ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණික ක්‍රම භාවිතා කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින ජපානය, ලෝකයට නව කෘෂි බෝග ප්‍රභේදයන් බොහොමයක් හඳුන්වා දී තිබෙනවා. මීට වසර 49කට පමණ පෙර 1972 දී ජපානයේ නාගසාකි ප්‍රදේශයේ පිහිටා තිබුණු පලතුරු පර්යේෂණ ආයතනයක නව දොඩම් ප්‍රභේදයක් නිර්මාණය වුණා. ඔවුන් කියෝමි නැමැති දොඩම් වර්ගයත් පොන්කන් නැමැති මැන්ඩරීන් වර්ගයත් දෙමුහුම් කර ඩෙකොපොන් නැමැති නව දොඩම් විශේෂය නිෂ්පාදනය කර තිබුණා.

පොන්කන් නම් මැන්ඩරීන් වර්ගය (Flickr)

වෙනත් රටවලට ව්‍යාප්ත වීම 

1972 වසරේ දී කරළියට පැමිණි ඩෙකොපොන්, මුල් යුගයේ දී ජපානය තුළ එතරම් ජනප්‍රිය වුණේ නැහැ. නමුත් 1990 පමණ වන විට ඩෙකොපොන් දොඩම්වලට ජපානය තුළ විශාල ඉල්ලුමක් ඇතිව තිබුණා. එම නිසා එකල ජපන් වෙළඳපොල තුළ ඩෙකොපොන් දොඩම් ගෙඩියක් ඉහළ මිලකට අලෙවි වුණා. ඩෙකොපොන් දොඩම් ක්‍රමයෙන් ජපානය තුළ ප්‍රසිද්ධ වෙද්දී එරටට පැමිණි විදෙස් සංචාරකයන්ටත් මෙම දොඩම් වර්ගයේ රස බැලීමට අවස්ථාව ලැබුණා. එහි තිබුණු ප්‍රණීත රසය නිසා විදේශිකයන් ද මෙම දොඩම් වර්ගයට ඇළුම් කරන්නට පටන් ගත්තා. එයින් මෙම ප්‍රණීත දොඩම් වර්ගය විදෙස් රටවල්වලට ව්‍යාප්ත වීම ආරම්භ වුණා. 

1998 වසරේ දී මුල්ම වරට ඇමරිකාව  ඩෙකොපොන් දොඩම් බීජ ආනයනය කරනු ලැබුවා. ඉන් අනතුරුව කැලිෆෝනියාවේ සැන් හුවාකින් මිටියාවතේ ඩෙකොපොන් දොඩම් වගාව ආරම්භ කළා. නමුත් මුල් අවධියේ දී දොඩම් වගාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. නමුත් වසර කිහිපයක් යන විට කැලිෆෝනියාවේ ඩෙකොපොන් දොඩම් වගාව සාර්ථකත්වය කරා ළඟා වුණා.  ඉන් පසුව ලෝකයේ තවත් රටවල් කිහිපයකට ද මෙම දොඩම් වගාව ව්‍යාප්ත වුණා.

ජපානයේ ඩෙකොපොන් දොඩම් වගා බිමක් (Freshmax)

අද වන විට වගාකරන රටවල් 

වර්තමානය වන විට ඩෙකොපොන් දොඩම් ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය වැනි රටවල්වල වගා කරනවා. මෙම දොඩම් වර්ගයේ ගෙඩියක උඩ කොටස ජපන් සුමෝ සටන්කරුවෙකුගේ හිසක් මෙන් දිස්වන නිසා මෙය සුමෝ දොඩම් ලෙසින් ද හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඩෙකොපොන් දොඩම් වෙළඳපොල තුළ දක්නට ලැබෙන්නේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ගෙවෙන කාලය තුළ යි. මෙම දොඩම් වර්ගය ඉහළ මිලකට අලෙවි වන නිසා වගාකරන ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණත් වගාව කරගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

කැලිෆෝනියාවේ ඩෙකොපොන් දොඩම් වගා බිමක් (Shockingly Delicious)

ඩෙකොපොන් දොඩම් පිළිබඳව කෙටියෙන් 

ඩෙකොපොන් දොඩම්වලට මෙතරම් ඉල්ලුමක් ලැබී ඇත්තේ එහි තිබෙන ප්‍රණීත රසය නිසා යි. වෙළඳපොලේ දක්නට ලැබෙන අනිකුත් මැන්ඩරීන් වර්ගවලට වඩා මෙම දොඩම් වර්ගය පැණිරස ගතියෙන් වැඩියි. එසේම ඩෙකොපොන් දොඩම්වල ලෙල්ල පහසුවෙන් ගලවා ඉවත් කරන්න පුළුවන්. තව ද මෙම  දොඩම් වර්ගයේ ඇට නොමැති වීම එය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වීමට හේතු වී තිබෙනවා.  

ඩෙකොපොන් දොඩම් විවිධ ආහාර සහ පාන වර්ග සෑදීම සඳහා පහසුවෙන්ම භාවිතා කළ හැකියි. මෙම දොඩම් වර්ගයේ පැණි රස ගතිය වැඩි නිසා ඕනෑම වයසක කෙනෙකුට කිසිදු අපහසුවකින්, අකමැත්තකින් තොරව අනුභව කිරීමට පුළුවන්. එසේම විටමින් සී, සහ කැල්සියම්, යකඩ, පොටෑසියම් වැනි පෝෂක මෙහි වැඩිපුර අඩංගු වනවා.

මිහිරි රසයකින් යුත් ඩෙකොපොන් දොඩම් (Freepik)

ඩෙකොපොන් දොඩම් මේ තරම් අධික මිලකට අලෙවි වන්නේ ඇයි?

සුපිරි වෙළඳසැල්වල අලෙවි කිරීමට තිබෙන ඩෙකොපොන් දොඩම් ගෙඩිවලට සුන්දර පෙනුමක් තිබුණත් එම සුන්දරත්වයට යටින් අසුන්දර කතාවක් තිබෙනවා. ඒ, මෙම දොඩම් වගාකිරීම සඳහා ගොවියන්ට අපමණ වෙහෙසක් දැරීමට සිදුවීම යි. සාමාන්‍යයෙන් අනිකුත් දොඩම්වලට වඩා හොඳින් ඩෙකොපොන් දොඩම් ශාක රැකබලාගත යුතු යි. විශේෂයෙන්ම හිරු එළිය වැඩියෙන් පවතින ගිම්හාන ඍතුවේ දී මෙම දොඩම් වගාව රැකබලා ගැනීමට විශාල වෙහෙසක් දැරිය යුතු යි. එසේම අනිකුත් දොඩම් වර්ගවලට වඩා මෙම දොඩම් ප්‍රභේදයට නිතර ලෙඩරෝග වැළඳීමේ අවදානම පවතිනවා. එම නිසා වගාකරුවන් නිතරම වගාවේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. 

ඩෙකොපොන් දොඩම් ගෙඩියේ ලෙල්ල ඉතාමත් තුනී යි. එම නිසා ඉදුණු ගෙඩි නෙලීම ද ප්‍රවේශමෙන් සිදුකළ යුතු යි. එසේ නොවුණොත් ගෙඩිය තැලීමට භාජනය වනවා. එයින් දොඩම් ගෙඩියේ තිබෙන වටිනාකම නැතිවී යනවා. ඩෙකොපොන් දොඩම් වගාකරුවන් මුහුණදෙන ප්‍රධානතම අභියෝගය වන්නේ අස්වැන්න වෙළඳපොළට ප්‍රවාහනය කිරීම යි. මෙම දොඩම් වර්ගයේ ලෙල්ලේ ඝනකම අඩු නිසා ප්‍රවාහනය සඳහා විශේෂ උපක්‍රම භාවිතා කිරීමට සිදුව තිබෙනවා. එනිසා මෙම දොඩම් වර්ගය ප්‍රවාහනය කිරීම සඳහා විශේෂිත ඇසුරුම් නිර්මාණය කර තිබෙනවා. 

සුමෝ හෙවත් ඩෙකොපොන් දොඩම් ප්‍රවාහනය කරන ආකාරය (duetsblog.com)

ඩෙකොපොන් දොඩම් පැළයක් රෝපණය කරන අවස්ථාවේ සිට අස්වැන්න වෙළඳපොල වෙත රැගෙන එන අවස්ථාව දක්වා විශාල වියදමක් දැරිය යුතු යි. එම නිසා වෙනත් දොඩම් වර්ගයක් නිෂ්පාදනය කරනවාට වඩා වැඩි වියදමක්  ඩෙකොපොන් දොඩම් ගෙඩියක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වනවා. නමුත් එලෙස අසීරුවෙන් වෙළඳපොලට රැගෙන එන ඩෙකොපොන් දොඩම් ගෙඩිවලට  එයටම ආවේණික වුණු මිහිරි  රසයක තිබෙනවා. ඇත්තටම මේ දොඩම් වර්ගය විශාල මුදලකට අලෙවි වන්නේත් ඒ හේතු හින්දා යි. මේ වන විට ඩෙකොපොන් දොඩම් කිලෝග්‍රෑම් 1ක් අලෙවි වන්නේ ආසන්න වශයෙන් ඩොලර් 80ක් වැනි (රුපියල් 15 000 – 16 000) අධික මිලකට යි.  

වෙළඳපොලේ විකිණීමට තිබෙන ඩෙකොපොන් දොඩම් (Youtube)

කවරයේ ඡායාරූපය- ඩෙකොපොන් දොඩම් (Sumo Citrus)

මූලාශ්‍රයයන්- sumocitrus.com

Related Articles