සෞරග්‍රහ මණ්ඩලයේ නිල්-කොළ රූමතිය: යුරේනස්

අප සෞරග්‍රහ මණ්ඩලයේ වායු වලින් සුසැදි විශාල ග්‍රහලෝක හතරක් හමුවනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලොව වන බ්‍රහස්පති, මනස්කාන්ත සෙනසුරු මෙන්ම නෙප්චූන් ද ඊට ඇතුළත් වෙනවා. සෙනසුරු හා නෙප්චූන් අතර ස්ථානගත වී ඇති අනෙක් වායුමය යෝධයා වන යුරේනස් ද කරුණු රාශියක් නිසා සුවිශේෂී ග්‍රහලොවක්. දුර සිට බලන විට නිල්-කොළ පැහැයෙන් දිදුලන මෙය සොයාගත් දින සිටම තාරකා විද්‍යාඥයින්ගේ වාද විවාද වලට නිතර ලක් වුණා.

යුරේනස් පිළිබඳ මූලික තොරතුරු

සූර්යයාගේ සිට අභ්‍යාවකාශ ඒකක 19.19 ක සාමාන්‍ය දුරකින් පිහිටි යුරේනස් එක් වටයක් පරිභ්‍රමණය වීමට දළ වශයෙන් වසර 84ක් ගන්නවා. හිරුගෙන් ඉතා දුරින් පිහිටීම නිසා මේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 216ක් තරම් පහළ අගයක්. යුරේනස් හි ධ්‍රැව දෙක ඔස්සේ විෂ්කම්භය කිලෝමීටර 49,946ක් වන අතර නිරක්ෂීය විෂ්කම්භය කි.මී 51,118 ක් වෙනවා.

යුරේනස් හි අභ්‍යන්තර ව්‍යුහය- Union world/ galnet.wikia.com

යුරේනස් මිරැන්ඩා ඇතුළු චන්ද්‍රයින් 27කට උරුමකම් කියන අතර සෙනසුරුගේ තරම් ප්‍රමුඛ නොවූ වළලු 13ක් ද එය වටා පවතිනවා. බ්‍රහස්පති මෙන්ම වේගවත් භ්‍රමණයක් සහිත යුරේනස් සිය අක්ෂය වටා එක් වරක් භ්‍රමණය වීමට ගත කරන්නේ පෘථිවි පැය 17 කුත් මිනිත්තු 14ක් පමණ යි.

යුරේනස් සොයාගැනීම

යුරේනස් දුරේක්ෂයක් ආධාරයෙන් සොයාගත් මුල්ම ග්‍රහලොව යි. පෘථිවියේ සිට පියවි ඇසට මෙය දර්ශනය වූවත් එයට ඇති අධික දුර හා සෙමින් සිදුවන පරිභ්‍රමණය නිසා පහසුවෙන්ම එය තරුවක් ලෙසට වරදවා වටහාගැනීම සිදුවෙනවා.

ක්‍රි.ව 1781 මාර්තු මස 13 වන දා බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් හර්ෂල් යුරේනස් හඳුනාගනු ලැබුවා. තාරකා නිරීක්ෂණය කරමින් සිටි ඔහුට හදිසියේ ‘අමුතු තාරකාවක්’ දර්ශනය වූ අතර වැඩිදුර පරීක්ෂා කිරීමේදී එය සෙනසුරුට එපිටින් පිහිටි ග්‍රහලොවක් බව ඔහුට අවබෝධ වුණා.

විලියම් හර්ෂල්- collections.rmg.co.uk

යුරේනස් හි වර්තමාන නාමය එයට ලැබී ඇත්තේ ආකාශය අධිපති ග්‍රීක දේවතාවා වන ‘ඔරානොස්’ ගේ නාමය අනුසාරයෙනුයි. කෙසේ නමුත් ඊට පෙර එයට නම් කිහිපයක්ම යෝජනා වුණා. හයිපර්ක්‍රොනිකස්, මිනර්වා ඉන් දෙකක් වන අතර හර්ෂල් අවසානයේ සිය රජු වන තුන් වන ජෝර්ජ් රජු සිහිවීම පිණිස එයට ‘ජෝර්ජියම් සිඩස්’ හෙවත් ජෝර්ජියානු ග්‍රහලොව ලෙස නම් තැබුවා. කෙසේ නමුත් එය එතරම් ප්‍රසිද්ධ නොවූ අතර පසුකාලීනව ජර්මානු විද්‍යාඥ යොහාන් බෝඩේ විසින් ඊට වර්තමාන නාමය දෙනු ලැබුවා.

හෞතික සාධක

යුරේනස් හට එහි ලාක්ෂණික නිල්-කොළ පැහැය ලැබී තිබෙන්නේ හයිඩ්‍රජන් හා හීලියම් වලින් සුසැදි එහි වායුගෝලයේ සුළු ලෙස පවතින මීතේන් වායුව නිසා යි. පෘථිවිය මෙන් 15 ගුණයක් පමණ වූ මෙහි සම්පූර්ණ ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය, මීතෙන් හා අයිස් බවට පත් වූ ඇමෝනියා වලින් සමන්විත වෙනවා. මේ නිසා මෙයට ‘අයිස් යෝධ‍යා’ යනුවෙනුත් නමක් පටබැඳී තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් සියළුම ග්‍රහලෝක වලට වෙනස්වූ භෞතික ලක්ෂණයක් යුරෙනස් හි දක්නට ලැබෙනවා. එහි අක්ෂයෙහි ඇලවීම අංශක 98ක් තරම් වන අතර මේ හේතුවෙන් එහි උත්තර ධ්‍රැවය සූර්යයා දෙසට එල්ල වී පවතිනවා. එමෙන්ම මේ ඇල වීම අංශක 90ට වඩා වැඩි නිසා අවකාශයේ එහි දක්ෂිණ ධ්‍රැවය උත්තර ධ්‍රැවයට වඩා ඉහළින් පිහිටනවා. මෙම ඇලවීම අතීතයේ දී විශාල ග්‍රහවස්තුවක් ඒ හා ගැටීම නිසා සිදුවූ බවට සැලකෙනවා. මෙය වටා ඇති වළලු පද්ධතියත් ඊට සාක්ෂ්‍ය දරනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල ආනති – Astronoo.com

යුරේනස් හි මෙම අසාමාන්‍ය ඇලවීම නිසා එය ඉතා දීර්ඝ ඍතු වලට උරුමකම් කියනවා. යුරේනස් හි ශීත ඍතුවක් වසර 20ක් තරම් දීර්ඝ වන අතර ගිම්හානය ද ඒ තරම් ම දිගු එකක්. එය සෞරග්‍රහ මණ්ඩලයේ හමුවන ශීතලම වායුගෝලයට උරුමකම් කියන අතර, එයට හේතුව හිරුගෙන් ඉතා දුරින් පිහිටීම මෙන්ම එහි අභ්‍යන්තරයෙන් විශාල තාපයක් ජනිත නොවීම යන කාරණා දෙක යි.

යුරේනස් හි චුම්භක ක්ෂේත්‍රයත් සුවිශේෂී එකක්. සාමාන්‍යයෙන් ග්‍රහලොවක චුම්භක ක්ෂේත්‍රය පවතින්නේ එහි අක්ෂය ඔස්සේ වන නමුත් යුරේනස් හි චුම්භක ක්ෂේත්‍රය පිහිටා ඇත්තේ එහි අක්ෂයට වඩා අංශක 60ක පමණ ආනතියකින් යුක්තව යි. මේ හේතුවෙන් එහි උත්තර ධ්‍රැවයට දැනෙන චුම්භක බලය දක්ෂිණ ධ්‍රැවයට දැනෙන ප්‍රමාණයට වඩා දස ගුණයකින් පමණ බලවත් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි භ්‍රමණය සිදුවන විට යම් දෝලනය වීමක් ද දැකගත හැකියි.

යුරේනස් හි දේශගුණය

යුරේනස් හි ‘ඇලය’ නිසා එහි ඉතා අසාමාන්‍ය දේශගුණික වෙනස්වීම වරින්වර ඇතිවෙනවා. වසර ගණනාවකට පසුව එහි සමහර ප්‍රදේශ වලට හිරු එළිය වැටෙන විට එහි වායුගෝලය උණුසුම් වීම හේතුවෙන් විශාල චණ්ඩ ප්‍රවාහ ඇතිවෙනවා. මේවායේ වේගය සමහර විටෙක පැයට කිලෝමීටර 900 දක්වා පමණ විය හැකියි.

යුරේනස් හි වායුගෝලය අනුමාන කොට නිර්මාණය කර්නා ලද ආකෘතියක්- sci-techuniverse.com

යුරේනස් හි දේශගුණය සලකන කල් හි එහි ඇතිවන තවත් සුවිශේෂීම සංසිද්ධියක් වන්නේ එහි ‘දියමන්ති වැසි’ ඇතිවීම යි. මෙවැනි වැසි යුරේනස් නැප්චූන් වැනි වායුමය යෝධයින්ගේ මතුපිට සිට සැතපුම් දහස් ගණනක් අභ්‍යන්තරයට වන්නට සිදුවන බව අනුමාන කොට තිබෙනවා. කාබන් හා හයිඩ්‍රජන් අධික තාපය හා පීඩනය නිසා මේ පෙදෙස්වල දී රසායනික විපර්යාස වලට බඳුන් වීමෙන් දියමන්ති හටගැනෙන බව සෛද්ධාන්තිකව ඔප්පු කොට තිබෙනවා. මෙලෙස තැනෙන දියමන්ති මේ ග්‍රහලෝක වල හරය ආසන්නයේ තැන්පත්ව ඇති බවට සැලකෙනවා.

යුරේනස් හි වළලු හා චන්ද්‍රයින්

යුරේනස් හි පවතින වළලු 13  ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී යුරේනස් වටා පිහිටා තිබෙනවා. මෙය ප්ලූටෝ වැනි වාමන ග්‍රහලොවක් කොටස් වලට කැඩී යාමෙන් නිර්මිත බව විද්‍යාඥයින් පවසනවා.

යුරෙනස් හි දැනට සොයාගෙන තිබෙන චන්ද්‍රයින් 27 දෙනාගෙන් විශාලම දෙක වන්නේ ඔබරොන් හා ටයිටනියා යන දෙකයි. 20 වන සියවසේ මුලින්ම සොයාගත් යුරේනස්ගේ චන්ද්‍රයා වන්නේ 1948 වසරේ සොයාගත් මිරැන්ඩා යි.

යුරේනස් හි වළලු දැන්වෙන ආකෘතියක්- firstandmonday.com

යුරේනස් පිළිබඳ වැඩිදුර අධ්‍යන කටයුතු

ක්‍රි.ව 1986 දී යුරේනස් ආසන්නයට ගිය වොයෙජර් 2 යානයෙන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වුණා. මෙමගින් යුරේනස් හි එතෙක් හඳුනාගෙන නොතිබූ චන්ද්‍රයින් දසදෙනෙක් මෙන්ම එහි චුම්භක ක්ෂේත්‍රයේ අසාමාන්‍යතාව ද හඳුනාගැණුනා. 2000 වසරෙන් පසු ද යුරේනස් පිළිබඳව කතාබහ ඇතිවූ අතර අනාගතයේ එහි වායුගෝලය තුළට යනාවක් ඇතුළු කර බලන්නට විද්‍යාඥයින් සූදානම් වෙනවා. මෙමඟින් යුරේනස් හි තවත් රහස් රාශියක් අනාවරණයක කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

කවරයේ පින්තූරය – bbc.com

Related Articles