Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නීති විද්‍යාලය සහ නීති පීඨය එකක් ද දෙකක් ද?

“දැන් ඔයා කොහෙද ඉගෙන ගන්නෙ?”

“නීති විද්‍යාලයේ … ”

“ඒ කියන්නෙ කොළඹ කැම්පස් එකේ නේද?”

නීතීඥයෙක් වීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ඉගෙන ගන්න කෙනෙක්ට නිරන්තරයෙන්ම මුුහුණදෙන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ. නීති පසුබිමක් නැති, නීති ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට නීති විද්‍යාලය සහ නීති පීඨය අතර වෙනස ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නොමැති වීම කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය (Sri Lanka Law College) කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයට මොන ම විදියකින්වත් සම්බන්ධයක් නැති, නීති අධ්‍යාපන සභාව මගින් පාලනය වන, ‘නීතීඥ (Attorney-At-Law)’ කියන වෘත්තීය සුදුසුකම (Professional Qualification) ප්‍රධානය කරන ස්වාධීන ආයතනයක්. අනෙක් අතට කොළඹ විශ්ව විද්‍යාලයීය නීතී පීඨය (The Faculty of Law, University of Colombo) මගින් සිදු වෙන්නේ ‘නීතිවේදී (Bachelor of Law or LL.B)’ කියන ශාස්ත්‍රීය සුදුසුකම (Academic Qualification), වෙනත් විදියකින් කියනවා නම් නීති උපාධි පිරිනැමීමයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට අමතර ව පේරාදෙණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් නීතිවේදී උපාධිය පිරිනමනවා.

ඉතිහාසය

1873 වසරේ දී පිහිටවූ නීති අධ්‍යාපන සභාව (Council of Legal Education) මගින් ශ්‍රී ලංකාවේ පළමු වැනි වෘත්තීය අධ්‍යාපන ආයතනය විදියට ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිහිටවන්නේ 1874 දී වසරේදී. 1911 දී ගොඩ නැංවූ නීති විද්‍යාලයීය ප්‍රධාන ගොඩනැගිල්ල ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිපුණත්වය මැනවින් පෙන්නුම් කරන ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. එය පිහිටා තිබෙන්නේ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලමයි. නීති විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය විදියට ඉන්දිරා සමරසිංහ මහත්මිය කටයුතු කරනවා.

අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටා ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලය. (Dharani Weerasinghe)

අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටා ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලය. (Dharani Weerasinghe)

මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ ඇති පීඨ හතෙන් එකක් වන නීති පීඨය, 1947 වසරේ දී මුල් වරට ස්ථාපිත කරන්නේ ශාස්ත්‍ර පීඨයේ දෙපාර්තමේන්තුවක් විදියටයි. 1968 වර්ෂයෙන් අනතුරුව එය වෙනමම පීඨයක් ලෙස සැලකීම සිදු වුණා. කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේම පිහිටා ඇති නීති පීඨයේ වර්තමාන පීඨාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ඩබ්ලිව්. ඉන්දිරා නානායක්කාර මහත්මියයි.

නීති අධ්‍යාපනය

කලින් සඳහන් කළ ආකාරයට ම නීති විද්‍යාලය මගින් පිරි නමන්නේ ‘නීතීඥ’ කියන වෘත්තීය සුදුසුකමයි. වසර තුනක (3) කාලයක් නීති විද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා, තවත් මාස හයක (6) කාලයක් ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙක් යටතේ ආධුනිකයෙක් ලෙස කටයුතු කළ අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස දිවුරුම් දෙන්න පුළුවන්.

නීති පීඨයේ ඉගෙනුම ලබන කෙනෙක්ට නීතිඥයෙකු වෙන්න මීට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එවැනි අයෙක් වසර හතරක (4) කාලයක් ‘නීතිවේදී’ උපාධිය හදාරා අවසානයේ නීති විද්‍යාලයීය අවසන් විභාගයට මුහුණ දිය යුතුයි. ඉන් පස්සේ තවත් මාස හයක (6) කාලයක් ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙක් යටතේ ආධුනිකයෙක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්න හැකියාව ලැබෙනවා.

නීතිඥයෙක් ලෙස දිවුරුම් නොදුන් නීතිවේදියෙක්ට ශ්‍රී ලංකාවේ කිසිදු උසාවියක තවත් අයෙක් වෙනුවෙන් පෙනී ඉඳලා, කරුණු දැක්වීම සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම නීතීඥයෙකු වූ පමණින්ම ඔප්පු ලිවීමේ කටයුතු (Conveyancing) සිදු කරන්නත් බැහැ. ඒ සඳහා නොතාරිස් විභාගය හෝ නීති විද්‍යාලීයය අවසන් විභාගයේදී ඔප්පු ලිවීමේ විෂයය සමත්වී තිබීම සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔප්පු ලිවීමට අදහස් කරන භාෂාව/භාෂා සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්යයි. ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් පත් කිරීමේ බලපත්‍රයක් සහ අදාළ මහාධිකරණයෙන් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා වාර්ෂිකව සහතිකයක් ලබා ගත යුතුයි.

නීති විද්‍යාලයීය ප්‍රධාන කොරිඩෝව. (Dharani Weerasinghe)

නීති විද්‍යාලයීය ප්‍රධාන කොරිඩෝව. (Dharani Weerasinghe)

ඇතුළත් වීම

වසර ගණනාවක් තිස්සේ නීති විද්‍යාලයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සිදු කරන්නේ ප්‍රවේශ විභාගයක් (Law Entrance) මගින්. උසස් පෙළ විභාගයට ඕනෑම විෂයය ධාරාවක් යටතේ (සෞන්දර්ය විෂයයන් හැර) සාමාන්‍ය සාමාර්ථ තුනක් (3) සහ සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි සහ සිංහල හෝ දෙමළ භාෂා සඳහා සම්මාන සාමාර්ථ ලබා ගත් අයෙක්ට ඒ සඳහා අයදුම් කරන්න පුළුවන්.

2014 වසරේ දී හඳුන්වා දුන් නව නිර්දේශය යටතේ නීති ප්‍රවේශ විභාගය ‘භාෂාව’ සහ ‘සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය’ ලෙස ප්‍රශ්න පත්‍ර දෙකකින් (2) සමන්විතයි. විභාගයට පෙනී සිටින අයට ඉංග්‍රීසි සහ සිංහල හෝ දෙමළ යන ආකාරයට භාෂා දෙකකින් ප්‍රශ්න පත්‍ර දෙක සඳහා පිළිතුරු ලියන්න පුළුවන්. 2017 අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමට අදාළ නීති ප්‍රවේශ විභාගය සැප්තැම්බර් 25 වැනි ඉරිදා දින පැවැත්වුණා.

නීති පීඨය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සිදු කරනවා. ඕනෑම විෂයය ධාරාවකින් (සෞන්දර්ය විෂයයන් හැර) ඉහළම ලකුණු ලබා ගත් අයට ඒ සඳහා අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. මේ වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් ලබා ගත යුතු අවම සෙඩ්-අගය 1.9389 ක්.

ඉතින් උසස් පෙළ විභාගයෙන් ලැබුණු ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වරම් නොලැබූ අයෙකුට වුණත් නීතිඥයෙකු වීමේ අවස්ථාව තියෙනවා. අවශ්‍ය වන්නේ උත්සාහය සහ කැපවීම යි.

කවරයේ ඡායාරූපය : නීතියේ දෙවඟනගේ අනුරුවක්. (JP2 Cultural Centre)

Related Articles