ගිලෙන මෙක්සිකෝ නගරයේ අසරණව සිටින මිලියන 21ක ජනතාව

උතුරු අමෙරිකාවේ ජනගහනය අතින් විශාලතම නගරය වන්නේ මෙක්සිකෝ සිටි නගරයයි. වර්ග කිලෝමීටර 65,610 ක් වූ අප ශ්‍රී ලංකා දිවයිනේ වසන මිලියන 21ක ජනතාව තරමටම ජනකායක් මෙක්සිකෝ සිටි හි හා ඒ ආසන්නයේ වර්ග කිලෝමීටර 4,000කටත් අඩු වූ වපසරියක තෙරපී සිටිති. මෙම මෙක්සිකානු ජනතාව දැන් නගර මධ්‍යය ආසන්නයේ සහ තැනින් තැන ගිලා බැසීමේ දරුණු අවදානමකට මුහුණ පා සිටිති. ඇතැම් තැනෙක නගරය ගිලා බැසීමේ වේගය වසරකට සෙන්ටිමීටර 20කටත් වඩා අධික බැව් වාර්තාවලින් පෙන්වා දී තිබේ.

මෙක්සිකෝව යනු කඳු වලින් වට වූ අයස්කාන්ත නිම්නයකි. තවමත් එම කඳු අතර ඇති ඇතැම් ගිනි කන්දක් පිපිරුණු කල නගරයේ විශාල කොටසක් දුමින් සහ අළු දූලියෙන් වැසී යන්නේය. 2016 අගෝස්තු මස තරම් මෑත කාලයේදී මෙක්සිකෝ නගරය ආසන්න ගිනිකන්දක් පිපිරීමෙන් එහි ජනයා කොටසක් අළු දූවිලිවලින් වැසී ගියේය.

පෘථිවියේ භූ තැටි එකිනෙක යාවෙන සීමාවක පිහිටි හෙයින් මෙක්සිකෝ ජනයාට භූමි කම්පාවලින්ද අඩුවක් පාඩුවක් නැත. මෙක්සිකෝ නගාරාසන්නයේම නිතර පිබිදෙන ගිනිකඳුවලින්ද මෙක්සිකානු ජනයාට ඇති වන අවදානම ඉහළ වේ. ඒ සියලු කාරණා මැද ඔවුන් මුහුණ දෙන තවත් ගැටළු බොහෝය.

මෙක්සිකෝව යනු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ පාරාදීසයකි. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයට යාබදව පිහිටා ඇති දුප්පත් රටක් වන හෙයින් මෙක්සිකානු ජනයා කෙසේ හෝ ඇමෙරිකාවට පැන ගැනීමට මාන බලමින් සිටිති. එම නිසාම වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශාල තාප්පයක් ඉදිකර මෙක්සිකානු ජනයාට ඇමරිකාවට නීතිවිරෝධීව පිවිසීමේ ඉඩ අවුරාලීමේ වැඩපිළිවෙලක්ද යෝජනා කර තිබේ. එමෙන්ම ට්‍රම්ප් ගේ දැඩි නීති සහ ආරක්ෂක විධිවිධාන හේතුවෙන් වත්මනදී මෙක්සිකානුවන්ට ඇමරිකාවට නීත්‍යානුකූලව සංක්‍රමණය වීම වුවද පහසු කාරණාවක් නොවේ.

කොටසක් ඇල වූ ඉපැරණි මෙක්සිකානු ගොඩනැගිල්ලක් (juliasmexicocity.typepad.com/)

ගිලෙන නගරයේ ජල ගැටළුව

නගරය ගිලා බැසීමෙන් ගොඩනැගිලිවලට සැලකිය යුතු බලපෑමක් එල්ල වේ. එහෙත් දැන් ජල සැපයුමට එල්ල වී ඇති අවදානම ඊටත් වඩා වැඩිය. එක් පසෙකින් ලෝක කාලගුණ විපර්යාසවල අයහපත් ප්‍රතිඵල ලෙස මෙක්සිකානු නගර වාසීන්ට ද දැන් වැසි කලට උතුරා ගලා යන තෙක් වැසි ඇද හැලේ. ජලය නොමැති කල ගැලුමක් රැගෙන දිය පොදක් සොයා කිලෝමීටර ගණනාවක් ගෙවා යාමට සිදු වන තරමට නියං උවදුර දැඩි වේ. ගැලුමක් රැගෙන යන්නේ නගරයට නල ජල සැපයුමක් නැත්දැ’යි ඇතමකුට ගැටලුවක් විය හැක. දැඩි නියං සමයේදී සැපයීමට ජලය නොමැති අතර නගරය තැන තැන ගිලාබැසීම හේතුවෙන් අඩපණ වී ඇති ජල ප්‍රවාහන පද්ධතිය තුලින් කෙසේවත් ජලය පොම්ප කිරීමට නොහැකි තැන්ද නගරය තුල වේ.

මේ ජලය හිඟ ජනයාට ජලය සැපයුම සිදු කරන්නේ රජය මගින් යෙදවූ බවුසරවලිනි. මිල මුදල, බලය ඇති ජනයාට නම් නිවසේ ඉදිකළ ටැංකියකට පිටින් රැගෙන එන බවුසරවලින් ජලය පුරවාගැනීම යම් විශාල මුදලක් ගෙවීමෙන් කරගත හැකිය. එහෙත් දුප්පත් ජනයා මුහුන දෙන්නේ සුළුපටු අන්තරායකට නොවේ. ඇතැම් තැනෙක දැන් එතියි, දැන් එතියි මහ රෑ තිස්සේ ම ස්ත්‍රී හු සිය දෑස් දල්වාගෙන සිටින්නේ වතුර බවුසරය එන තුරුය. තවත් තැනෙක දරුවන් කිහිප දෙනෙකු සිටින මවක් සිය දරුවන්ට ජලය සපයාගැනීමට ඔවුන් නිවසේ තනිකර කිලෝමීටර ගණනක් මග ගෙවා තැනකට ගොස් එතැනින් ජලය රැගෙන ආ යුතුය.

අප රටතුළ ද ව්‍යසනයක් ඇති වූ කල කෙසේ හෝ මිල මුදල බලය ඇති අයවලුන් සිය සැපයුම් ලබාගනිති. එසේ නොවන දුප්පත්හු දෑස් දල්වාගෙන යමක් ලැබෙන තෙක් බලාසිටිති. මෙක්සිකෝ ජලය බෙදාහැරීමේ ජාලයත් එසේමය. එහිද විවිධ දූෂණ අක්‍රමිකතා බොහෝය. ජලය තිබෙන කල අපිට අගයක් නැති වන මුත් නැති වූ කලෙක ජල බවුසරය එන තෙක් බලාසිටීමට සිදුවීම කෙතෙක් දුෂ්කර කර්තව්‍යයක් වෙත්දැයි එවැනි කර්කශ දිවියක් ගත කිරීමට සිදු වූ ජනතාව හොඳින්ම දනිති.

සක්‍රිය වූ ගිනිකන්දක් සමග මෙක්සිකෝ නගරය (assets.inhabitat.com)

අතීතයේ තීරණ සහ වර්ථමානය

ස්පාඤ්ඤවරුන් මෙක්සිකෝවට කඩාවැදීමට ප්‍රථම 1325 දී මෙක්සිකෝ නගරය පාලනය කළේ අැස්ටෙක් නැමැති ජන පිරිසකි. එම අැස්ටෙක්වරුන්ගේ නගරය නූතන මෙක්සිකෝවෙන් හාත්පසින්ම වෙනස්ය: ඔවුන් මෙම නිම්නයේ ජලතලා ඇතිකොට එ් මත බෝට්ටු ඔරු පාරුවලින් ගමන් ගනිමින් එහි ගොඩබිම් තනාගෙන පාවෙන නගරයක ජීවත් වූහ.

ගිනිකඳු වලින් ඇදහැළුණු ගල් වැලිවලින් සමන්විත මෙක්සිකානු නගරයේ ඇති පස ස්ථායී එකක් නොවේ. එහෙත් ජලය එකතු වූ කල එම පස වඩාත් ස්ථායී ලෙස ශක්තිමත්ව එකිනෙක බැඳී පවතී. පසෙන් ජලය ඉවත් වූ විට, තෙත වැලි හෝ පස් ගොඩක් වියළී ගිය කලෙක මෙන් එය විසිරී යෑමට පටන් ගනී.

1521දී මෙක්සිකානු නගරය ස්පාඤ්ඤ ජාතිකයන්ගේ අාක්‍රමණයට ලක් විය. ඔවුහු එවකට යුරෝපයේ පැවැති නගරවලටත් වඩා සශ්‍රීකව තිබූ මෙක්සිකෝ නගරය එහෙම් පිටින්ම උඩු යටිකුරු කළෝය. ජලය මත ගොඩබිම් තනා ඒවායේ ඔරුවලින් ගමන් කළ සංස්කෘතිය බිඳ හෙලා විශාල ඇල මාර්ග තනා ජලය මුහුදට යවා නිම්නය හිස් කළහ. සියලු පුරාණ අැස්ටෙක් ගොඩනැගිලි ආදිය කඩාදමා නවතම ස්පාඤ්ඤ සංස්කෘතියක් එහි ස්ථාපනය කිරීමටද ඔවුහු කටයුතු කළෝය .

අැස්ටෙක් වරුනගේ ජලාශ්‍රිත මෙක්සිකෝ නගරය (flickr.com)

එදා පාවෙන නගරයක්ව පැවැති කල අස්ටෙක්වරුන්ගේ පාලනය යටතේ වූ මෙක්සිකෝ නගරයේ ජනගහනය ලක්ෂ 4කට අඩුය. එහෙත් අද එහි ජනගහනය ලක්ෂ 210 ඉක්මවා තිබේ. ඇතැම් විටෙක පාවෙන නගරයක් ලෙස තිබුණේ නම් මේ මට්ටමට දියුණු වන්නට හෝ ජනගහනය වැඩි නගරයක් ලෙස වැජඹෙන්නට මෙක්සිකෝවට අවකාශයක් නොලැබෙනු අැත. ඉතිහාසය අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගනු මිස එය වෙනස් කළ නොහේ.

ජනගහනය වැඩි වීමත් සමඟ සාරවත් නිම්නය තුල තෙත්බිම් බොහෝ ගණනක වතුර හිස් කරවා කාර්මික කටයුතුවලට සහ වාසස්ථාන පිණිස භාවිතයට ගන්නා ලදී. එයින් වැසි කල ජලය රඳවා ගන්නා තෙත්බිම් රැසක් මෙක්සිකෝ නගරයට අහිමි වූ අතර අනෙක් පසින් වතුර බස්සවන්නට කැපූ ඇලවල් හරහා වැසිවලදී පසෙහි රැඳෙන ජලයද නිරන්තරයෙන් නගරයෙන් ඉවතට ඇදෙන්නට විය.

ජලය එනතුරු බලාසිටින මෙක්සිකානු නාගරික ජනතාව (bilfinger.com)

විසඳුමක් නැති උවදුර

1992 දී ලොව වායු දූෂණය වැඩිම, අපිරිසිදුම නගරයක් ලෙස මෙක්සිකෝ නගරය හැඳින්වුණි. එහෙත් කාලාන්තරයක් තිස්සේ ගෙනගිය සාර්ථක වැඩපිළිවෙල හේතුවෙන් ඔවුනට 2012 දී ලොව වාතය පිරිසිදුම නගරයක් ලෙස සම්මානයටද පාත්‍ර වන්නට අවකාශ ලැබුණි. කෙසේ වුවද වර්තමානයේ දී නගරයෙන් කොටසක් ගිලී යෑම, දේශගුණික සාධක, අවිධිමත් නාගරීකරණය හේතුවෙන් ඇතිවන ජල ගැටළු විසඳීමට මෙක්සිකානු බලධාරීන්ට තවමත් හැකි වී නොමැත.

අපගේ ස්වාභාවික ජල තලා ගොඩකරමින්, පරිසරයේ පැහැය වෙනස් කරමින් කරන විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් අපිද අද දින ශ්‍රී ලංකාවේදී අත් දකින්නෙමු. පරිසරය ගැන දීර්ඝකාලීනව හොඳින් අධ්‍යයනය නොකර එවන් සංවර්ධන ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා උමා ඔය සිද්ධියේදී බණ්ඩාරවෙල ඇති වූ ජල ගැටළුව, ව්‍යාපෘතිය අවසන් වීමටත් මත්තෙන් අත් දැක්කෙමු. එබැවින් ජනතාවගේ දිවිය වඩාත් යහපත් කරන්නට දීර්ඝකාලීන ව්‍යාපෘති සිදුකරනවා සේම ඒවා මගින් අනාගතයේ පරිසරයට, අපේ ජල සම්පතට විය හැකි හානි පිළිබදව අවධානයෙන් සිටීමද ඉතා වැදගත් කරුණක් වනු ඇත.

කවරයේ රූපය : mn2s.com

Related Articles