Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ සයුරේ පාවෙන භීතිකාව: පෘතුගීසි යුද නැව

මහ සයුරේ විස සහිත සත්ත්ව විශේෂ විශාල ගණනක් ජීවත් වෙනවා. ඔවුන්ගේ විස සහිත බව මිනිස් ජීවිතවලට එල්ල කරන බලපෑමත් විවිධාකාර විය හැකි යි. ඇතැම් ජීවින් ගෙන් මිනිසුන්ට අව ම හානියක් සිදු වන අතර, ඇතැම් ජීවින්ගේ විස මිනිසාට මාරාන්තික වෙනවා.

විෂ සහිත සමුද්‍ර ජීවින් අතරින් මුහුදු සර්පයන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මුහුදු සර්පයන් හෝ වෙනත් විෂ සහිත සමුද්‍ර ජීවින් ගෙන් සිදු වූ ජීවිත හානි වාර්තා වෙන්නේ ඉතා කලාතුරකින්. විෂ සහිත සමුද්‍ර ජීවියකුට මිනිසකු හමුවීමේ සම්භාවිතාව අවම වීම ඊට හේතුවක් ලෙස දක්වන්නට පුළුවන්. බොහෝ විට ධීවරයන්, විවිධ අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන කිමිදුම්කරුවන් මෙම ජීවින් ඉදිරියේ අනතුරට ලක් විය හැකි යි. ධීවරයන් බොහෝ විට මෙම සමුද්‍ර ජීවින් ගැන අත්දැකීමෙන් ම දැනුම්වත් නිසා ආරක්ෂාවත් ඉබේ ම සැලසෙනවා.

පෘතුගීසි යුද නැව් බහුල ව සැරිසරන පෙදෙසක අනතුරු හඟවා ඇති අයුරු – vineyardgazette.com 

පෘතුගීසි යුද නැව (“මෑන් ඔෆ් වෝර්” ලෙසත් හඳුන්වනවා.), බ්ලූ බොට්ල් හෝ ෆ්ලෝටින් ටෙරර් ලෙස හඳුන්වන්නේත් මහ සයුරේ බහුල ව ජීවත් වන විස සහිත ජීවින් විශේෂයක්. ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ව ජීවත් වන ප්‍රජාවටත් මෙම සතුන් ගැන යම් දැනුම්වත්භාවයක් තිබෙනවා. ඒ කලින් කලට ඔවුන් මුහුදු වෙරළට ගසා ගෙන එන නිසා යි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙස මොවුන් හැඳින්වීමට මිනිසුන් පුරුදු වී සිටියත්, සත්ත්ව විද්‍යාත්මක ව ඔවුන් ජෙලි ෆිෂ් විශේෂයක් ලෙස හැඳින්විය නොහැකි යි. විස්තර කිරීමේ පහසුව තකා මෙතැන් පටන් මේ අපූරු සත්ත්ව විශේෂය “බ්ලූබොට්ල්” ලෙස හඳුන්වනවා.

පෘතුගීසි යුද නැව කියන්නේ ඇයි?

 විස්තර කිරීමේ පහසුව තකා මෙම සත්ත්වයන් “බ්ලූබොට්ල්” ‍යන සරල නමින් හැඳින්වූවත්, මොවුන්ට ලබා දී ඇති ජනප්‍රිය නාමය වන්නේ “පෘතුගීසි යුද නැව” යන්න යි. අතීතයේ දී බොහෝ යුරෝපීය නාවික හමුදා කුඹ ගස් තුනකින් යුතු උස් යුද නෞකා භාවිතා කළා. බ්‍රිතාන්‍ය නැවියන් මේ නෞකා හැඳින්වූයේ “මෑන් ඔෆ් වෝ(ර්)” යනුවෙන්. බ්ලූබොට්ල් සතුන් ජලය මත පාවීමට යොදා ගන්නා වායු පිරුණු ආශයක් වැනි කොටසේ හැඩයත් මෙම පැරණි යුද නැව්වල රුවලට සමාන බව පැවසෙනවා. නමුත්, ඔවුන්ට “පෘතුගීසි” කොටස ඈදුණේ කොහොම ද?

19 වැනි සියවසේ විසූ විද්‍යාඥයන් විශ්වාස කළ අන්දමට මෙම සතුන් පෘතුගාලයට අයත් මැඩීරා දූපත ආසන්නයේ මුලින් ම නිරීක්ෂණය කිරීමට ලැබුණු නිසා “පෘතුගීසි යුද නැව” යන නාමය ලැබී තිබෙනවා.

ඒසෝරස් දූපත් සමූහයේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ හමු වූ විශාල බ්ලූබොට්ල් සමූහයක් – www.reddit.com 

 “මෑන් ඔෆ් වෝ(ර්)” සිංහලට පරිවර්තනය කිරීමේ දී පැහැදිලිව ම එය “යුද මිනිසා” ලෙස අර්ථ දැක්විය යුතු වුවත්, “මෑන් ඔෆ් වෝ(ර්)”, නෞකා වර්ගයක් හැඳින්වීමට යොදාගත් නිසා “පෘතුගීසි යුද නැව” ලෙස අපගේ කතා නායකයා හැඳින්වීම වඩාත් සුදුසු යි. කෙසේ නමුත්, නූතන භාෂා විද්වතුන් පවසන අන්දමට මෙම සතුන් පෘතුගීසි නාවිකයන් අතීතයේ භාවිත කළ යුද නැව් වල හැඩයට වඩාත් සමාන යි. ඔවුන්ගේ නමත් ඊට ගැළපෙන පරිදි ගොඩ නැඟී තිබෙනවා. වචනාර්ථයෙන් ම “පෘතුගීසි යුද නැව” වෙත කිසිදු විලෝපිකයෙක් පහසුවෙන් ළඟා වන්නේ නැහැ. ඔවුන්ට අනතුරු එල්ල වෙන අවස්ථාත් නැතුවා ම නොවෙයි.

ජෙලි ෆිෂ් වර්ගයක් නොවේ නම්..?

ජෙලි ෆිෂ් සත්ත්වයන්ට සමාන පෙනුමක් තිබුණත්, සත්‍ය වශයෙන් ම “බ්ලූබොට්ල්” යනු සයිෆොනොෆෝර්ස් යන ගෝත්‍රයට අයත් සත්ත්වයෙක්. විද්‍යාත්මක වර්ගීකරණයේ දී ජෙලි ෆිෂ් වර්ග සහ “බ්ලූබොට්ල්” යන දෙවර්ගය ම “නයිඩේරියා” නම් වංශයට අයත් වුවත්, වර්ගීකරණය ඔස්සේ පහළට යෑමේ දී ඔවුන් දෙපළ අතර සැලකිය යුතු දුරස්ථභාවයක් ඇති වෙනවා. එබැවින්, “මෑන් ඔෆ් වෝර්” ජෙලි ෆිෂ් වර්ගයක් නොවෙ යි.

සයිෆොනොෆෝරාවන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් ගණාවාසයක් ලෙස ජීවත් වීම යි. එම ගණාවාස, ජානමය වශයෙන් අනන්‍ය වූ තනි ජීවින් කිහිපයකින් සෑදී තිබෙනවා. මෙම සතුන් සිය ජීවිතය ආරම්භ කරන්නේ සංසේචනය වූ බිත්තරයකින් වන අතර, ඔවුන් වර්ධනය වනවිට එකිනෙකට වෙනස් ව්‍යුහයන් සහ ජීවින් බවට අංකුරණය වෙනවා. මෙම කුඩා ජීවින් බුහුබාවන් හෝ ජීවාංග ලෙස හඳුන්වනවා. මෙම ජීවාංගවලට තනිව ම ජීවත් විය නොහැකි නිසා ඔවුන් තනි ජීවි ස්කන්ධයක් ලෙස ඒකාබද්ධ වී ගණාවාසයක් බිහි කරනවා. ගණාවාසය තුළ ඒ ඒ ජීවින්ට වෙන් වූ කාර්යයක් පැවරී ඇති හෙයින්, බැලූ බැල්මට ම ගණාවාසය තනි ජීවියකු ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.

නිඩාරියා වංශිකයන්ගේ විවිධත්වය – slidetodoc.com 

කාර්යය අනුව පිරිස බෙදෙන හැටි

එකිනෙකට වෙනස් ජීවාංග හතරකින් “බ්ලූබොට්ල්” සෑදී තිබෙනවා. ජල තලයෙන් ඉහළට එසවී ඇති, වායුව පිරුණු, බැලූනයක්ට සමාන ජීවාංගය විද්‍යාත්මකව හඳුන්වන්නේ “නියුමැටොෆෝර්” යනුවෙන්. ඉන්පසු පැහැදිලි ව ම දක්නට ලැබෙන ජීවාංගය වන්නේ සත්ත්වයාගේ ග්‍රාහිකා යි. මේවා “ඩැක්ටිලසෝයිඩ්” නමින් හඳුන්වන අතර, ඒවා විෂ පිරුණු දෂ්ඨක සෛල සහිත “නෙමටෝසිස්ට්” යන ව්‍යුහවලින් ආවරණය වී පවතිනවා. මෙම ජීවාංගය හරහා සත්ත්වයාට සතුරන් ගෙන් ආරක්ෂාව මෙන්ම, ගොදුරු අඩපණ කිරීමට උපකාරී වෙනවා.

විෂ මඟින් ග්‍රාහිකාවල පැටළුණු ගොදුර අඩපණ වීමෙන් පසු ආහාර දිරවීමේ කාර්යය භාර වූ “ගැස්ට්‍රොසොයිඩ්” නම් ජීවාංගය සිය කටයුතු අරඹනවා. සිව්වන ජීවාංගය වන “ගොනොසොයිඩ්” මඟින් සත්ත්ව ගණාවාසයේ ප්‍රජනන කාර්යය සිදු කරනවා.

බ්ලූබොට්ල් සත්ත්වයන් බහුල ව වෙසෙන සා(ර්)ගැසෝ මුහුද – medium.com 

නිදහසේ පාවෙන “භීතිකාව”

බ්ලූබොට්ල්, නැතිනම් පෘතුගීසි යුද නැව, උණුසුම් නිවර්තන සහ උප නිවර්තන කලාපවලට අයත් සමුද්‍ර ප්‍රදේශවල ජීවත් වීමට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ඔවුන් අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දියන් සාගරය ඇතුළු විශාල කලාපයක නිරීක්ෂණය කළ හැකි යි. විශේෂයෙන් ම ඔවුන් අත්ලාන්තික් සාගරයේ පිහිටි “සා(ර්)ගැසෝ” නම් මුහුදු කලාපයේ බහුල ව ජීවත් වන බව පැවසෙනවා. බ්ලූබොට්ල්ට ස්වාධීන ව සංචරණය කිරීමේ උපාංගයක් නැහැ. “නියුමැටෆෝර්” ලෙස හඳුන්වන ජීවාංගයේ උපකාරයෙන් ඔවුන් ජල තලය මත නිදහසේ පාවෙන අතර, ජල තරංග සහ සුළඟේ උපකාරයෙන් තැනින් තැනට ගමන් කරනවා. එසේ පාවෙන අතරතුර ඔවුන්ගේ ග්‍රාහිකාවල පැටලෙන කුඩා මුහුදු ජීවින් විස මඟින් අඩපණ කොට ආහාරයට ගන්නවා.

සත්ත්වයාගේ ප්‍රධාන ජීවාංග.මේ සියල්ල එකතු වී ගණාවාසය සාදනවා – answersingenesis.org 

ඇතැම් අවස්ථාවල මෙම සතුන් දහස් ගණනින් කාණ්ඩ ගත වන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවක ඔවුන් වෙරළාසන්නයට පාවී ආවොත්, විවේකය උදෙසා වෙරළාසන්නයට පැමිණෙන මිනිසුන්ට අනතුරු සිදු වීමේ ඉහළ හැකියාවක් පවතිනවා. බොහෝ දුරට විනිවිද පෙනෙන සත්ත්වයෙක් නිසා සාගර ජලයෙන් ඔවුන් වෙන් කොට හඳුනා ගැනීම තරමක් දුෂ්කර යි.

මරණයට පත් වීමෙන් පසු ව පවා ඔවුන්ගේ ග්‍රාහිකා තුළ විස අන්තර්ගත ව තිබිමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා වෙරළේ ගමන් කරන අතරතුර මෙවැනි රූපකායක් සහිත සත්ත්ව කොටස් දුටුවහොත්, එතැනින් වහා ඉවත් වීම නුවණට හුරු යි. අවට මුහුදු තීරයේ තවත් බ්ලූබොට්ල් සතුන් සිටීමේ ඉඟියක් ද එයින් සැපයෙනවා.

මෙවැනි සත්ත්වයෙක් මුහුදු වෙරළේ දී දුටුවහොත්, ස්පර්ශ කිරීමෙන් වළකින්න –  www.treehugger.com 

භයානකම නයිඩේරියා සාමාජිකයා

නයිඩේරියා වංශය යනු සත්ත්ව විශේෂ 11,000 ක් පමණ ඇතුළත් විශාල කාණ්ඩයක්. එම කාණ්ඩය තුළ කොරල් පර, ඇනිමොන්, ජෙලි ෆිෂ් වැනි විශාල විවිධත්වයකින් යුතු සාමාජිකයන් වෙසෙනවා. දෂ්ඨක සෛල පැවතිම මෙම වංශිකයන්ගේ ලාක්ෂණික සාධකයක් වුවත්, ඒවායේ අඩංගු විසෙන් වන බලපෑම වෙනස් වෙන්නට පුළුවන්. ඒ අනුව “බ්ලූබොට්ල්” සත්ත්වයන්ටත් වඩා මාරාන්තික විස සහිත නයිඩේරියා සතුන් සිටිනවා. ඊට හොඳ ම උදාහරණයක් ලෙස “බොක්ස් ජෙලිෆිෂ්” සතුන් දැක්විය හැකි යි. නමුත්, නයිඩේරියා වංශය තුළ සිටින භයානක ම සත්ත්වයා “බ්ලූබොට්ල්” විය හැකි බව ඇතැම් විද්‍යාඥයන් පවසනවා. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ බහුලතාව සහ විශාල භූ ගෝලීය පැතිරීම යි. එවිට ඔවුන් මිනිසුන්ට හමුවීමේ සම්භාවිතාවත් ඉහළ යනවා.

ලෝකය පුරා වෙනත් ඕනෑම නයිඩේරියාවකුට වඩා දහස් ගණනක් මිනිසුන් මොවුන්ගේ දෂ්ඨනවලට ලක් වන බව පැවසෙනවා. හදිසියේ ම ඔවුන්ගේ බහුලතාව ඉහළ යෑමේ සිද්ධි නිසා ප්‍රසිද්ධ වෙරළ තීර මිනිසුන්ට සීමා කළ අවස්ථාත් තිබෙනවා.

බ්ලූබොට්ල්ගේ දෂ්ඨනය ඉතා වේදනාකාරී වන අතර, එය පිළිස්සීමකට සමාන වේදනාවක් බව පැවැසෙනවා.වේදනාව පැය 1-2 දක්වා කාලයක් පැවතිය හැකි යි. ඔවුන්ගේ ග්‍රාහිකා සමේ ස්පර්ශ වූ ස්ථානවල රතු හෝ දම් පැහැයට හුරු තුවාල ඇති වුවත්, දින කිහිපයකට පසු එම තුවාල සලකුණු මැකී යනවා. මීට අමතර ව, දෂ්ඨන සිදු වූ ස්ථාන කැසීම, ඉදිමීම හා ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ අනෙකුත් ස්ථාන කරා වේදනාව පැතිරී යෑමත් සිදු විය හැකි යි.

බ්ලූබොට්ල් සත්ත්වයෙකුගේ විෂ සහිත ග්‍රාහිකා ස්පර්ශ වූ තැනැත්තෙක් – www.dailymail.co.uk 

වෛද්‍ය උපදෙස් වැදගත්!

බ්ලූබොට්ල් හෝ පෘතුගීසි යුද නැවේ දෂ්ඨනවලින් මිනිස් මරණ සිදු වන්නේ ඉතා කලාතුරකින්. දැඩි අසාත්මිකතා මරණවලට හේතු වන අතර, පුද්ගලයාගේ ශරීර ස්වභාවය ඊට බලපානවා. ඒ නිසා දෂ්ඨනයක් සිදු වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසු යි. මෙම සතුන් වඩාත් භයානක වන්නේ කිමිදුකරුවන්ට යි. අධික වේදනාව හමුවේ කිමිදුම්කරුවන්ගේ මාංශ පේශී හරියාකාර ව ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් ජලයේ ගිලී යා හැකි යි.

ඕස්ට්‍රේලියාවේ මුහුදු ආශ්‍රිත ව මේ සියලු ම ආකාරයේ විස සහිත නයිඩේරියා වංශිකයන් වාසය කරන හෙයින්, ඔවුන්ගේ දෂ්ඨනවලට සිදු කරන ප්‍රතිකාර ගැන සාමාන්‍ය දැනුමක් එරට පුරවැසියන්ට ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරනවා.

බ්ලූබොට්ල් සතුන් දහස් ගණනක් වෙරළට ගොඩ ගසා ඇති අන්දම – www.sfgate.com 

ඒ අනුව දෂ්ඨනයට ලක් වූ ස්ථානය මුහුදු ජලයෙන් ම සෝදා සත්ත්වයාගේ විෂ සහිත ග්‍රාහිකා ඉවත් කිරීම මුලින් ම සිදු කළ යුතු වෙනවා. ඉන්පසු දෂ්ඨනයට ලක් වූ ශරීර ප්‍රදේශය සෙල්සියස් අංශක 45 ක් පමණ මඳ රස්නයක් ඇති ජලයේ ගිල්විය යුතු අතර, මඳ උණුසුමෙන් යුතු ජලය ස්නානය කිරීමත් සුදුසු යි. බ්ලූබොට්ල්ගේ දෂ්ඨනයෙන් ඇති වන වේදනාව සමනය කිරීම සඳහා විනාකිරි භාවිත කිරීම ජනප්‍රිය ප්‍රතිකාරයක්. එහෙත්, විනාකිරි භාවිතා කිරීමෙන් ඇතැම් පුද්ගලයන්ගේ වේදනාව තවත් වැඩි විය හැකි බව පැවසෙනවා. ඒ නිසා විනාකිරි භාවිතය එතරම් නුවණට හුරු ප්‍රතිකාරයක් නොවෙයි.

ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිතවත් මේ සතුන් කලින් කලට දකින්නට ලැබෙන නිසා මූලික ප්‍රතිකාර ක්‍රම දැන සිටීම වැදගත්.  විසවල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමේ හැකියාවක් පවතින හෙයින්, දෂ්ඨනයට ලක් වූ පුද්ගලයා හැකි ඉක්මනින් රෝහල් ගත කිරීම වඩාත් සුදුසු යි.

කවරයේ ඡායාරූපය- මහ සයුරේ පාවෙන භීතිකාව හෙවත්, පෘතුගීසි යුද නැව - www.forbes.com

මූලාශ්‍ර:

 stoneageman.com 

artsandculture.google.com

 www.nationalgeographic.com/

www.floridamuseum.ufl.edu

www.discoverwildlife.com

 animaldiversity.org

www.mentalfloss.com

stoneageman.com 

Related Articles