Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිප ගැනීමක් පමණක් නොවන සිප ගැනීම් කිහිපයක්

‘සිප ගැනීමක් සෑම විට ම සිපගැනීමක් පමණක්ම නොවේ’- මේ සිප ගැනීම් සම්බන්ධයෙන් වන සුප්‍රසිද්ධ කියමනකි. ඉන් අදහස් වන්නේ සමහර සිපගැනීම් සමඟ සාමාන්‍ය සිප ගැනීමකට එහා ගිය සුවිශේෂී දේ බැඳී තිබිය හැකි බව යි. මෙම ලිපිය ලෝක ඉතිහාසයේ එවැනි සුවිශේෂී සිපගැනීම් කිහිපයක් පිළිබඳවයි.

වාර්තාගත පළමු සිප ගැනීම (ක්‍රිස්තු පූර්ව 1500)

සිප ගැනීම යම්කිසි ප්‍රදේශයක ආරම්භ වී අනිකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වූ එකක් ද එසේ නැත්නම් ඒ ඒ ප්‍රදේශවල ඓන්ද්‍රීය ව ඇති වූ දෙයක් ද යන්න පිළිබඳ තර්ක ගණනාවක් ඉදිරිපත් වී තිබේ. එම තර්කවල සත්‍යාසත්‍යතාව කුමක් වුවත් සිප ගැනීමක් පිළිබඳ තොරතුරු මුල්වරට සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 1500 දක්වා ඈතට දිව යන හින්දු ආගම හා සම්බන්ධ වේද ග්‍රන්ථවල ය.

කාමසූත්‍ර ග්‍රන්ථයේ දැක්වෙන සිපගැනීමේ දර්ශනයක් – Werner Forman -gettyimages.com

පසුකාලීන ව ඉන්දීය සහ හින්දු සාහිත්‍යයේ සිප ගැනීම් පිළිබඳ සඳහන් වේ. විශේෂයෙන්ම ‘කාමසූත්‍ර’ නම් ග්‍රන්ථයේ විවිධ වර්ගයේ සිප ගැනීම් පිළිබඳව සඳහන් වේ.  ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවසේ දී රචිත සංස්කෘත ග්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතයේ සිප ගැනීමක් පිළිබඳ මේ අයුරින් සඳහන් වේ:

“ඇය මගේ මුඛය මත ඇගේ මුඛය තබා මා තුළ සතුටක් ඇති කරන ආකාරයේ ශබ්දයක් ඇති කළාය.”

ජුදාස්ගේ හාදුව (ක්‍රිස්තු වර්ෂ පළමු සියවස)

සිප ගැනීම ආදරණිය ක්‍රියාවක් පමණක්ම නොව එය සමහර අවස්ථාවල දී මිත්‍රත්වයේ සහ පාවාදීමේ ලකුණක් ද වේ. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ දී රචනා කර ඇති බවට සැලකෙන මැතිව් සහ මාර්ක්ගේ ශුභාරංචිවල සඳහන් වන ආකාරයට ජුදාස්, ජේසුස් වහන්සේ පාවා දුන් අවස්ථාවේ ඔහු (ජේසුස් වහන්සේ ) සිප ගෙන තිබේ. ඔහු එලෙස සිප ගෙන ඇත්තේ අවට සිටි ආයුධ සන්නද්ධ පිරිසට ජේසුස් වහන්සේ හඳුනා ගැනීමට පහසු වීම සඳහා බව කියැවේ. එතැන් පටන් ජුදාස් ගේ හාදුව බොහෝ කතන්දරවලට මුල් වී තිබේ. බොහෝ චිත්‍රපට සහ සාහිත්‍ය නිර්මාණවල සඳහන් වන ‘මරණයේ හාදුව’ නිර්මාණය වූයේ ජුදාස්ගේ හාදුව අනුසාරයෙන් බව කියැවේ.

ජුදාගේ හාදුව දැක්වෙන සිතුවමක් – Universal History Archive – gettyimages.com

චිත්‍රපටයක එන පළමු සිප ගැනීම (1896)

චිත්‍රපටයක සිප ගැනීමේ දර්ශනයකට පෙනීසිටි පළමු පුද්ගලයන් දෙදෙනා වූයේ ‘මේ අර්වින්’ සහ ‘ජෝන් රයිස්’ ය. ඔවුන් එලෙස සිප ගැනීමේ දර්ශනයකට පෙනී සිටියේ ‘May Irwin kiss’, ‘Kiss’ සහ ‘The Kiss’ වැනි විවිධ නම්වලින් හඳුන්වන කෙටි චිත්‍රපටයක ය.

එම කෙටි චිත්‍රපටයේ පටිගත කිරීම් අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි චිත්‍රාගාරයක සිදු වූ බවත්, චිත්‍රපටය නිව්යෝර්ක් නගරයේ දී ප්‍රදර්ශනය කළ බවත් කියැවේ. එම චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනකු ඔවුන් දෙදෙනාගේ සිප ගැනීම දැක පුදුමයට පත් වී තිබේ.

මේ සහ ජෝන් සිපගන්නා අයුරු – John Kobal Foundation – gettyimages.com

චිත්‍රපටයක එන පළමු කළු ජාතික සිප ගැනීම (1898)

අප්‍රිකා-අමෙරිකා සම්භවයක් සහිත රංගන ශිල්පියකු වන සේන්ට් සට්ල් සහ රංගන ශිල්පිනියක් වන ගර්ටි බ්‍රවුන් 1898 වසරේ දී ‘Something Good-Negro Kiss’ නම් කෙටි චිත්‍රපටයක සිප ගැනීමේ දර්ශනයකට පෙනී සිටියහ. එය කළු ජාතික යුවළක් සිප ගන්නා අයුරු දැක්වෙන පළමු චිත්‍රපටය ලෙස වාර්තාගත විය.

මෙම චිත්‍රපටය අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ දී පටිගත කර තිබේ. එහි පටිගත කිරීම් අස්ථානගත වී තිබුණු නමුත් චිත්‍රපටවල ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන කණ්ඩායමක් 2017 වසරේ දී එය සොයාගෙන තිබේ. විලියම් සේලිග් නම් සුදු ජාතික පුද්ගලයා එම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

එම චිත්‍රපටය පිළිබඳව එක්තරා විචාරකයෙක් මෙලෙස පවසා ඇත:

“ඔවුන් දෙදෙනාගේ සිප ගැනීම අතිශයින් ම ස්වාභාවික එකකි.  ජාතීන් වශයෙන් බොහෝ බෙදීම් දක්නට ලැබුණු 1898 තරම් ඈත කාලයේ මෙවැනි කලා නිර්මාණ පැවති බව විශ්වාස කිරීමට පවා අපහසුයි.”

සේන්ට් සහ ගර්ටි සිපගන්නා අයුරු – www.ew.com

ජපානය පරයා ජයග්‍රහණය ලැබූ දිනයේ හාදුව (V-J Day Kiss (1945)

මෑන්හැටන් නගරයේ පිහිටි ග්‍රේටා සිමර් සේවය කළ දන්ත ශල්‍යාගාරයට 1945 අගෝස්තු 14 දින පැමිණි රෝගීන් පැවසුවේ ජපානය දෙවැනි ලෝක යුද්ධයේ පරාජය භාරගෙන යටත් වී ඇති බව යි. ඕස්ට්‍රියාවේ සිට අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ යුවතියක් වූ ඇයට, සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගැනීම එතරම් පහසු නොවී ය. ඒ නිසා ඇය සිය දිවා විවේකයේ දී ටයිම්ස් චතුරශ්‍රය වෙත දිව ගියේ සිදු වී ඇත්තේ කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. ඒ අවට රැස්ව සිටි ජනතාව යමක් සමරන බව ඇයට දක්නට ලැබුණි. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ බව ඇයට අසල සිටි පුද්ගලයෙක් දැනුම් දුන්නේ ය.

දන්ත ශල්‍යාගාර සහායිකාවක ලෙස සේවය කළ ඇය වෙතට පැමිණි නාවික සෙබළෙක් හෙදියකැයි වරදවා තේරුම් ගෙන ඇය බලහත්කාරයෙන් සිප ගත්තේ ය. ඒ අවස්ථාවේ ඔහුගේ පෙම්වතිය ද ඔහු අසල සිටියා ය. ඔහුගේ ග්‍රහණයෙන් ගැලවීමට ග්‍රේටා තැත් කළත් ඒ සඳහා ඇයට තත්පර කිහිපයක් ගත විය. ඒ වන විටත් ඡායාරූප ශිල්පීන් දෙදෙනෙක් නාවික සෙබළා සහ ග්‍රේටා සිප ගන්නා අයුරු ඔවුන්ගේ කැමරා කාචයට හසුකරගෙන තිබිණි.

ග්‍රේටා සිප ගන්නා නාවික සෙබළා -The LIFE Picture Collection- gettyimages.com

දෙවැනි ලෝක යුද්ධය හා සම්බන්ධ ඡායාරූප අතර මෙම ඡායාරූපයට ඉතා විශාල අවධානයක් හිමි විය. එය දකින බොහෝ දෙනකු සිතුවේ ඔවුන් දෙදෙනා (ග්‍රේටා සහ නාවික සෙබළා) පෙම් යුවළක් බව යි. තවත් සමහරුන් ඇය හෙදියක බවට වරදවා තේරුම් ගෙන තිබූ අතර එය අහඹු සිදුවීමක් බව දැන සිටියේ සහ විශ්වාස කළේ ඉතා සුළු පිරිසක් පමණි.

එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ග්‍රේටා 2005 වසරේ දී එක්තරා පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මේ අයුරිනි:

“ඒ ආකාරයෙන් සිප ගැනීමට ලක් වීම මගේ තෝරාගැනීමක් නොවේ. ඒ පුද්ගලයා එක්වරම මා වෙතට පැමිණ බලහත්කාරයෙන් මා සිප ගත්තා.”

සමාජවාදී සහෝදරත්වයේ හාදුව (1979)

සීතල යුද්ධය අතරතුර බොහෝ කොමියුනිස්ට් රටවල නායකයන් එකිනෙකාට ආචාර කළේ සිප ගැනීමෙනි. ඔවුහු අනෙකාගේ කම්මුල හෝ දෙතොල් සිප ගත්හ. 1979 දී ප්‍රංශ ඡායාරූප ශිල්පියෙක් වූ රේගිස් බෝසු ලබා ගත් එවැනි සිප ගැනීමක ඡායාරූපයක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. එහි දැක්වුණේ සෝවියට් සංගමයේ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් සහ නැගෙනහිර ජර්මනියේ එරික් හොනෙකර් දෙතොල් සිපගන්නා ආකාරය යි. නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා බ්‍රෙෂ්නෙව්, බර්ලින් නුවරට පැමිණි අවස්ථාවක මෙම සිප ගැනීම සිදු විය.

බ්‍රෙෂ්නෙව්-හොනෙකර් සහෝදරත්වයේ හාදුව – Regis Bossu- gettyimages.com

1989 වසරේ බර්ලින් තාප්පය බිඳහෙළන අවස්ථාව වන විට සෝවියට් චිත්‍ර ශිල්පී දිමිත්‍රි වර්බෙල් මෙම සිපගැනීම බර්ලින් තාප්පය මත සිතුවම් කර තිබිණි. එය බිඳහෙළන අවස්ථාවේ ඔහු “අහෝ දෙවියනි! මේ මාරාන්තික ආදරය බේරගන්න මට උපකාර කරන්න.” යැයි පැවසූ බව කියැවේ. 

කවරයේ ඡායාරූපය- බ්‍රෙෂ්නෙව්-හොනෙකර් සිප ගැනීම - www.rferl.com

මූලාශ්‍ර- www.history.com/ Becky Little

www.researchgate.net

www.nbcnews.com

Related Articles