Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනීමරුවන් වටා ගොඩනැගුණු හොඳම නවකතා 8ක්

මිනීමරුවන් ගැන කතන්දර කියවන්න කවුද අකමැති? ඔබ අප බොහොමයක් දෙනාට රහස් පරීක්ෂක නවකතා කියවන තරම්ම ආසාවෙන් මේවා කියවන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ ප්‍රයෝජනය සඳහා “Serial Killers”, එසේත් නැතිනම් “අනවරත මීනීමරුවන්” සහ “Psychopaths”, එනම් “මනෝව්‍යාධිකයින්” වටා ගොඩනැගුණු ඉංග්‍රීසි නවකතා කීපයක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම උචිත බව අප සිතුවා. ඔබේ ප්‍රියතම නවකතාත් මේ ලැයිස්තුවේ තිබෙනවා ද?

තෝමස් හැරිස් ගේ “The Silence of the Lambs” (1988)

The Silence of the Lambs (Amazon.com)

සත්‍ය අනවරත මිනීමරුවන් තිදෙනෙක්ගේ චරිත ආශ්‍රයෙන් එක් භයානක මිනීමරුවෙක් නිර්මාණය කිරීමෙන් මෙහි කර්තෘ හැරිස් විසින් “බෆලෝ බිල්” හඳුන්වා දෙනවා. බෆලෝ බිල්ව අල්ලාගැනීමට හැකිවෙයි ද? මිනීමරුවෙක් පිළිබඳව වඩාත්ම හොඳින් දන්නේ තවත් මිනීමරුවෙකුම මිස වෙන කවුද? තමන් කළ මිනීමැරුම්වල කුරිරු සහ අදහාගත නොහැකි ස්වභාවය නිසාම මානසික රෝගියෙක් යැයි සැකකරන ලදුව අපරාධකරුවන් සඳහා වන මානසික වෛද්‍යායතනයක සිර කර තබා සිටින, කුප්‍රකට මිනීමරු වෛද්‍ය හැනිබල් ලෙක්ටර්ගේ සහය FBI ආයතනයට අවශ්‍ය වන්නේ ඒ නිසායි.

මෙය අනවරත මිනීමරුවන් පිළිබඳව වන නවකතා වලින් ප්‍රසිද්ධම එක විය යුතුයි. මේ නමින් චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබෙනවා.

බ්‍රෙට් ඊස්ටන් එලිස් ගේ “American Psycho” (1991)

American Psycho (ShortList)

දහවල වෝල් ස්ට්‍රීට් හි රාජකාරි කරන බැංකුකරුවෙකු වන පැට්‍රික් බේට්මන් රාත්‍රිය පුරා සිදුකරන්නේ පාරවල්වල සිටින හිඟන්නන් සහ ගණිකාවන් ඝාතනය කිරීමයි. නමුත් සියල්ලටම වඩා කුතුහලය දනවන සිදුවීම කියවන්නට ලැබෙන්නේ කතාව අවසාන වනවිටයි.

මෙය වටා මේ නමින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය වුණු අතර මෙම නවකතාව එහි ඇති සාහසික බව නිසා කැනඩාවේ සහ ජර්මනියේ තහනමට පවා ලක්වුණා.

පී.ජේ. ට්‍රේසි ගේ “Monkeewrench” (2003)

Monkeewrench (Amazon)

ග්‍රේස් පරිගණක මෘදුකාංග නිපදවන සමාගමක සේවය කරන්නියක්. ඔවුන් විසින් අලුතෙන්ම නිපදවන ලද පරිගණක ක්‍රීඩාවේ කතාව අනුගමනය කරමින් යමෙක් මිනීමැරීම ආරම්භ කරනවා. ඒ, ක්‍රීඩාවේ සඳහන් වන අයුරටත් වඩා භයානක ලෙසයි.

මිනීමැරුම් සහ මිනීමරුවන් පිළිබඳව කතන්දර කියවන්නට කැමති වුණත්, එහි යම්කිසි විනෝදයකුත් අපේක්ෂා කරන්නන්ට මෙම පොත උචිතයි.

ජිම් තොම්සන්ගේ “The Killer Inside Me” (1952)

The Killer Inside Me (Amazon)

මේ නවකතාව ඇතැම් විට අනවරත ඝාතකයින් පිළිබඳව ලියැවුණු පළමු නවකතාව පමණක් නොව ඝාතකයාගේ දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු පළමු නවකතාව වෙන්නත් පුළුවන්. කුඩා නගරයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරන ඝාතකයා නීතිගරුක පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් තම ඇතුලාන්තයේ ඇති කුරිරු සහ රෝගී ආශාවන් සඟවා සිටිනවා. මෙය ඔහුට ගෙනදෙන්නේ විනාශකාරී අවසානයක්.

මිනීමරුවෙකු වූ මෙහි ප්‍රධාන චරිතය වන ලූ ෆෝඩ්ස් තමාගේ නියම ස්වරූපය දු‍ටු අයෙක්. එය මිනීමරුවාගේ කෝණයෙන් නිර්භීතකමක් ලෙසත් සැලකිය හැකියි.

ජෙෆ්‍රි ඩීවර් ගේ “The Bone Collector”  (1997)

The Bone Collector (Battered, Tattered, Yellowed, & Creased – WordPress.com)

මේ පොත නම් ග්‍රන්ථමාලාවකින් එක් පොතක්. මෙහි කියැවෙන්නේ පැරණි පොත් වලින් සොයාගන්නා ක්‍රම භාවිතා කර තම ගොදුරු මරා දමනා මිනීමරුවෙකු ගැනයි. ඔහුට එරෙහිව මෙම මිනීමැරුම් වළක්වන්නට උත්සාහ කරන්නේ අත් පා සතරම පණ නැති අයෙක්. මේ පොත් මාලාව නම් රාත්‍රියේ දී නොකියවන තරමට හොඳයි.

ලිසා ගාර්ඩ්නර්ගේ “The Perfect Husband” (1997)

The Perfect Husband (The Sporadic Chronicles of a Beginner Blogger – WordPress.com)

තමන් නොදැනුවත්වම විවාහ වී සිටින්නේ මිනීමරුවෙකු සමඟ නම්? ටෙස් බෙකට් පත්ව සිටින්නේ එවැනි තත්ත්වයකටයි. අනවරත මිනීමරුවෙකු වන ඇගේ සැමියා කාන්තාවන් දස දෙනෙකු මරාදැමීමෙන් අනතුරුව දැන් හඹා එන්නේ ඈ පසුපසයි. ඔහුගෙන් ගැලවීමට ඈට හැකිවෙයි ද? ඔහුව නීතියේ භාරයට පත්කිරීමට ඈට හැකියාව ලැබෙයි ද? ඔහුව සිරබාරයට පත්කිරීමට හැකි වුවත් ඔහු ඉන් නිදහස් වුවහොත්? මේ කුතුහලය දනවන නව කතාව නම් ඔබ කියවිය යුතුමයි.

ඩේවිඩ් ලින්ඩ්සේ ගේ “Mercy” (1991)

Mercy (Amazon)

තරුණ, රූමත් කාන්තාවන් නිරුවත් කර, පහරදී මරදමන්නට තරම් කුරිරු වන පුද්ගලයින් සිටීද? මරාදමනා කාන්තාවන්ගේ සිරුරු රූපලාවණ්‍ය ද්‍රව්‍ය යොදාගෙන හැඩ වැඩ කරනා මිනීමරුවනුත් සිටී ද? මානසික රෝගයකින් පීඩා නොවිඳින කිසිවෙකුත් මෙවැනි ක්‍රියා සිදුකිරීමට පෙළඹෙයි ද? ඒ සියල්ලටමත් වඩා, කාන්තාවන් මරා දමනා ඝාතකයෙකු අල්ලා ගැනීමට කාන්තා රහස් පරීක්ෂකයෙකු පත්කිරීම කිසිසේත්ම නුවණට හුරු ද? මේ ගැටළු සියල්ලමත්, ඒවාට පිළිතුරුත් ලින්ඩ්සේගේ මේ නවකතාව කියවන ඔබට දැනගන්නට ලැබේවි.

පැට්‍රික් සස්කින්ඩ් ගේ “Perfume: The Story of a Murderer”  (1985)

Perfume: The Story of a Murderer (The Sporadic Chronicles of a Beginner Blogger – WordPress.com)

17 වන සියවසේ ප්‍රංශය. අති දක්ෂ සුවඳ විලවුන් නිපදවන්නෙකු වූ ශෝන් බැප්ටීස්ට් ග්‍රෙනුඊ ඉතා රූමත් කාන්තාවන් මරන්නේ ඔවුන්ගේ සුවඳින් ලෝකයේ ඇති අති විශිෂ්ටම සුවඳ විලවුන් වර්ගය නිපදවීම අරමුණු කරගෙනයි. මේ කතාව ඉහත සඳහන් කර ඇති අනෙකුත් කතාවලට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ අන් කිසිවකුත් නිසා නොවෙයි, එම කතාවල සඳහන් මිනීමරුවන් මෙන් නොව ග්‍රෙනුඊ කෲර බවින් තොර, කුඩා දරුවෙකු තරමටම පාප රහිත පුද්ගලයෙකු වන නිසායි. මේ කතාව අලලා ටොම් ටයික්වර් විසින් අති සාර්ථක චිත්‍රපටයක් ද නිපදවා තිබෙනවා. ඉතින් මේ ලැයිස්තුවෙන් මුලින්ම කියවිය යුතු පොත කුමක්දැයි ඔබ අපෙන් විමසුවොත්, ඔබ සඳහා ඉහළින්ම නිර්දේශ කරන්නේ මේ පොතයි.

දහසකුත් එකක් විවිධාකාරයේ රහස් පරීක්ෂක නවකතා සහ මිනීමරුවන් සම්බන්ධ නවකතා අතරින් මෙහි සඳහන් වන්නේ අප විසින් හොඳ යැයි සැලකූ නවකතා 8ක් පමණයි. මෙම නවකතාවලට වඩා ඉතාමත්ම හොඳ නවකතා ඔබ විසින් කියවා තිබෙන්නට ඉඩ තිබෙනවා. ඉතින් මිනීමරුවන් පිළිබඳව ලියැවුණු ඔබ කියවා ඇති හොඳම නවකතා පහතින් සඳහන් කර අප සමඟ බෙදාගන්න ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා.

කවරයේ රූපය (Pinterest)

Related Articles