බොහෝ රට වලට පාඩම් කියා දෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා ගැන සමාජයෙන් හා විද්වතුන්ගෙන් වරින් වර කසුකුසු නැඟෙනවා. විශේෂයෙන් සාම්ප්‍රදායික රාමුවකට කොටු වීමත්, පාසල අභිබවා උපකාරක පන්ති සංස්කෘතියක් ඇති වී තිබීමත් නිසා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව පීඩාවට පත් වී ඇති බව නිතර නැඟෙන චෝදනාවක්. යම් කිසි විෂයයකට සාමාන්‍ය පුද්ගලයෙක්ට අඛණ්ඩව අවධානය යොමු කළ හැකි උපරිම කාලය අනුසාරයෙන් පාසලේ විනාඩි 40 කාලච්ඡේද වෙන් කර ඇති මුත් අතිශය තරග කාරීත්වය නිස පැවැත්වෙන උපකාරක පන්ති වල ශිෂ්‍යයාට ඒ වාගේ කොතරම් ප්‍රමාණයක් එක් විෂ‍යයක් මත්තේ නැහෙන්නට සිදු වී තිබෙනවාදැයි හිතා බලන්න. මේ හේතු නිසා දවසේ පැය 24න් වැඩිමනක් කාලයක් පොත් බදාගෙන සිටීමට වර්තමාන දරු ප්‍රජාවට සිදු වී තිබෙනවා. ඉතින් අනාගත පරපුර පොතේ දැනුම පමණක් සහිත කිසිදු ක්‍රියාශීලී බවක් නැති අයවලුන් වීම පුදුමයට කාරණාවක් නොවෙයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල් අද දියුණු ඒවා බවට පත් වී තිබෙන්නේ ඔවුන් කාලයකට පෙර මේ සාම්ප්‍රදායික රාමුව බිඳ හෙලා කාර්යශූර, බහුස්‍රැත හා නිර්මාණශීලී අනාගත පරපුරක් බිහි කරගෙන ඇති නිසායි. සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන දරුවාගෙන් රූපවාහිනිය ඈත් කර තිබ්බාට, ක්‍රීඩා කිරීමට නොදී තැබුවාට ඔහු සාර්ථක වෙන්නේ නැහැ. සිදු විය යුත්තේ ක්‍රීඩා කරමින් නිසියාකාරව ඉගෙන ගැනීමයි. බිහි විය යුත්තේ වැඩි ශාරීරික හා මානසික හැකියාවක් සහිත පුද්ගලයින් විනා පොත් ගුල්ලන් නොවේ. ලෝක අධ්‍යාපනය සඳහා වූ පියර්සන් දර්ශකයේ ඉහළම ස්ථානයක තිබෙන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට හොඳම උදාහරණ ගන්නට හැකි යමක්. දරුවාගේ කාලයත්, ආශාවත්, ක්‍රීඩා හැකියාවත් බේරා ඒවයින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ඇති කරමින්ම විද්වතෙක් බිහි කරන ෆින්ලන්තයේ අසම සම අධ්‍යාපන ක්‍රමය සාම්ප්‍රදායික ක්‍රම වල සමහර මූලයන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමා නිර්මාණය කළ එකක්.

ළමුන්ගේ පොත පත අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාශීලීත්වයද වැදගත් (parenteffectivenesstraining.net.au)

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ පෙරළිකාර ක්‍රමවේද

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ ශිෂ්‍යයාට උපරිම පහසුව හා නිදහස ලබා දෙන ගමන්ම ඔවුන්ගේ දක්ෂතා නිසියාකාරව හඳුනාගෙන ඇගයීමට පත් කළ හැකි අයුරින්. මෙහි සමහර ක්‍රමවේද සාම්ප්‍රදායික ඇසින් බලන්නෙකුට ඉතාම අවදානම් හා වගකීම් විරහිත ලෙස පෙනෙන්නත් පුළුවන්.

සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නව අවුරුදු මූලික අධ්‍යාපනය සෑම ෆින්ලන්ත දරුවෙකුටම අනිවාර්යය එකක්. මෙහි විශේෂත්වය වන්නේ අප රටේ මෙන් අවුරුදු 6 දී නොව ෆින්ලන්ත දරුවෙක් 1 වසරට ඇතුලත් කරගන්නේ වයස අවුරුදු 7 නුයි. ඊට පෙර වසරක් පමණ පෙර-පාසල් ගියත් මෙහි දරුවන් වයස අවුරුදු 6 පමණ වන තුරු කෙළි දෙළෙන් ගත කරනවා. ඒ වාගේම වයස අවුරුදු 17 දී නව වන වසර අවසානයේ කෙරෙන පොදු පරීක්ෂණයත් සමඟ ඔවුන්ගේ මූලික අධ්‍යාපනය හමාර වෙනවා.

ෆින්ලන්තයේ මූලික අධ්‍යාපනය දෙන පන්ති කාමරයක් (thinkglobalteachlocal.weebly.com)

උපකාරක පන්ති සමහර විට පැවතියත් ඒවා, පාසල් පොත් හා උපකරණ ඇතුළු සියළු අධ්‍යාපනික භාණ්ඩ මූලික අධ්‍යාපනය ලබන කාලය තුල ෆින්ලන්ත ශිෂ්‍යයාට රජය විසින් සපයනවා. මීට අමතරව දහවල් කෑමද නොමිලේ සපයන අතර සම්පූර්ණ පාසල් දවසක් පවතින්නේ විනාඩි 45 කාලච්ඡේද 5 ක කාලයක් පමණයි. විවේක කාලය නොමැතිව ෆින්ලන්ත මූලික අධ්‍යාපනය ලබන දරුවෙක් පන්ති කාමරයක් තුළ වැඩ කරන්නේ දිනයකට පැය 3 කුත් මිනිත්තු 45ක් පමණයි. පාසල් යන පළමුවන අවුරුදු 9 හෙවත් වයස අවුරුදු 17 වන තුරු මොවුන්ට කිසිම ආකාරයක තරගකාරී ජාතික විභාගයකට මුහුණ දෙන්නට වෙන්නේ නෑ.

වසරකට පාසල් දින 190කට සීමා වෙනවා. ෆින්ලන්ත පාසැල් වාරය ඇරඹෙන්නේ අගෝස්තු මාසයේ මැදදීයි. එය අවසන් වන්නේ මැයි මාසයේදීයි. ෆින්ලන්ත දරුවෙකුට සති 10ක ග්‍රීෂ්ම නිවාඩුවක් ලැබෙන අතර අනෙකුත් ඍතු 3 දීත් නිවාඩු යම් ප්‍රමාණයක් ලැබෙනවා. ශීත ඍතු නිවාඩුව ලැබෙන්නේ නත්තලටයි. සම්පූර්ණ ෆින්ලන්ත දරු ප්‍රජාවගෙන් මූලික අධ්‍යාපනය සාර්ථකව නිමා කරන පිරිස 99.7% තරම් ඉහළ අගයක් ගන්නවා.

ෆින්ලන්තයේ රජයේ ගුරුවරයෙක් වීම ඒ තරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොවුන්ට විෂය කරුණු වලට අමතරව ළමා මනෝ විද්‍යාව ගැනත් දැනුමක් තිබි‍ය යුතුයි. ගුරු පුහුණු පාසැල් ෆින්ලන්තයේ ජනප්‍රිය අතර ඒවායින් සමත් වීමනම් අසීරු දෙයක්. හෙල්සිංකි හි පන්තිභාර ගුරුවරුන්ට අධ්‍යාපනය දෙන විශ්ව විද්‍යාලයේ ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වන්නේ 9% ක් වැනි සුළු පිරිසක් පමණයි.1සිට 6 වසර දක්වා උගන්වන ගුරුවරයෙකුට ඉගැන්වීම සඳයා පශ්චාත් උපාධියද, 7 සිට 9 වසර දක්වා උගන්වන ගුරුවරයෙකුට තම විෂය සඳහා පශ්චාත් උපාධියද තිබිය යුතුයි. සාමාන්‍ය ෆින්ලන්ත ගුරුවරයෙක් වසරකට ඇ.ඩො 37,500 (රුපියල් 5,625 ,000 ක ) පමණ වේතනයකට උරුම කම් කියනවා. එය ශ්‍රී ලංකාවේ හැටියට විශාල වැටුපක් වුණේ වී නමුත්, ෆින්ලන්තයේ හැටියට සාමාන්‍යයෙන් මදක් හොඳ පඩියක්. මේ කෙසේ වුණත් ෆින්ලන්ත ජනයා ගුරු වෘත්තියට ඉතා ගරු කරනවා.

ෆින්ලන්තයේ ගුරු වෘත්තිය කිරීමට ඉහළ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම මිත්‍රශීලී බව හා ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුමද තිබිය යුතුයි (www.vox.com)

ෆින්ලන්ත රජය උසස් අධ්‍යාපනය සඳහාත් ප්‍රතිපාදන සපයනවා. විශේෂයෙන්ම විද්‍යා විෂයයන් පිළිබඳ රජයේ විශ්වවිද්‍යාල උදෙසා රජය ප්‍රතිපාදන සපයනවා. ෆින්ලන්ත රජයේ විශ්ව විද්‍යාලයට තොරාගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නේ මූලික අධ්‍යාපනය අවසානයේ පවත්වන තරගකාරී විභාගය හා ඇතුළත්වීමේ විභාගයේ ලකුණු හා ද්විතියික අධ්‍යාපන කාලයේදී ඇගයීම් වලට දළ වශයෙන් ලබා ගන්නා ලකුණු වැනි දේ වලිනි. මීට අමතරව පොත් පත් වලට මුදල් ගෙවා තමන් කැමති විෂ‍යයන් ඉගෙනීමේ හැකියාව සහිත උසස් අධ්‍යාපන ආයතනත් ෆින්ලන්තය සතුයි. රජයට අමතරව ෆින්ලන්ත ඇකඩමිය හා යුරෝපියානු සහයොගීතාවය වැනි ආයතන වලින්ද ෆින්ලන්ත උසස් අධ්‍යාපන ආයතන වලට ප්‍රතිපාදන සැපයෙනවා. රජය විසින් ආයතනයක සාර්ථකත්වය මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිපාදන සපයන ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වෙනවා. ෆින්ලන්තය සිය දළ දේශීය නිශ්පාදිතයෙන් 7% ක් පමණ අධ්‍යාපනයට වෙන් කරනවා.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ වාසි හා සාර්ථකත්වය

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය දෙස හැරී බැලීමේදී එහි ප්‍රායෝගික බව නිසා වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට ඇති වෙලා තිබෙන වාසි රාශියක් හඳුනාගන්නට පුළුවන්. විශේෂයෙන්ම මුදල් අය නොවෙන මූලික අධ්‍යාපනය දුප්පත් පොහොසත් හැම දරුවාටම එක සේ ලැබීමත්, සියළු පාසැල් එක තත්ත්වයේ ලා සැලකීමත් නිසා දක්ෂයින් තෝරා ගැනීම පහසු වෙනවා. ඒ වාගේම දරුවන්ගේ හීන මානයන් දුරුවී ආත්ම විශ්වාසය ගොඩ නැඟෙනවා.

මෙහි උගන්වන ගුරුවරුන්ගේ හසල විෂයය දැනුමත්, මනෝ විද්‍යාත්මක දැනුමත් නිසා ශිෂ්‍යයන්ට ප්‍රියජනක වටපිටාවක් ගොඩනැගීමට ඔවුන් සමත්. තරඟකාරීත්වය අඩු නිසා දක්ෂතාවයන් මඳක් අඩු දරුවෙක් වූවත් වැඩි මහන්සියකින් අනෙක් දරුවන් තලයට ගෙන ඒමට ඔවුන් වැඩි පරිශ්‍රමයක් දරනවා.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අභියෝග වලට තනිව මුහුණ දිය හැකි දරුවෙක් ගොඩ නඟනවා-ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අභියෝග වලට තනිව මුහුණ දිය හැකි දරුවෙක් ගොඩ නඟනවා (floorballtoday.com)

ෆින්ලන්ත දරුවන්ගේ පාසලේ ගත කරන පැය ප්‍රමාණය අඩු කිරීමත්, ගෙදර වැඩ අඩු කිරීමත් තුලින් සිය ජීවිතය විඳින්නට හා නිදහසේ සිතන්නට ඉඩ හසර ලබා දීමත් ෆින්ලන්තය කර තිබෙනවා. මෙහි දරුවන්ව කුඩා කාලයේ සිට දකුණු ආසියානු රට වල මෙන් අහවල් වෘත්තිය උසස්ය අහවල් වෘත්තිය පහත්ය යනුවෙන්  හිස් වලට නොදමා සිය කැමැත්ත සහිත විෂයයන් තෝරා ගැනීමට උනන්දු කරවනවා. සිතා මතා ක්‍රියා කළ යුතු ක්‍රියාකාරකම් වැඩි නිසාත් ගවේෂණයෙන් ඉගෙන ගැනීමට මාර්ගය පිළියෙල කර තිබීමත් නිසා මේ දරුවන්ගේ සිතීමේ හැකියාව, කාර්යශූර බව, නිර්මාණශීලී බව වැනි දෑ වර්ධනය වෙන්නේ නිතැතින්මයි.

වර්තමානය වන විට ෆින්ලන්තයේ සාක්ෂරතාවය 100% හෙවත් ලොව වැඩිම අගය වන අතර එහි ශ්‍රම බලකායෙන් 84% ක්ම උසස් අධ්‍යාපනය ලබා ඇති අයවලුන් වීම හා 39% ක් පශ්චාත් උපාධි මට්ටමේ සිටීම විශේෂයක්. ෆින්ලන්තයේ විරැකියා ප්‍රතිශතය 8.7% ක් වැනි අගයක් ගන්නවා.

ෆින්ලන්ත උපාධිධාරීන් පිරිසක් ඔවුන්ගේ විශේෂ හිස්වැස්මත් සහිතව-reddit.com

මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇති බාධා

ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන, දකුණු ආසියාව වැනි රටක මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ බාධා එල්ල වීමට පුළුවන්. විශේෂයෙන් අපේ රටේ වර්තමාන සාම්ප්‍රදායට අනුව දරුවා සතියේ එක් දිනක් හෝ නිදහස්ව හිඳිනු දැකීම නයාට අඳු කොළ පෙන්නනවා හා සමාන බැවින් පොත් පෙරළාගෙන අධ්‍යාපනය ලබන කාලය තවත් අඩු කරන්නට ගියහොත් ඊට දැඩි විරෝධතා එල්ල වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. පොහොසත් රටක් වන ෆින්ලන්තයේ රජයට සියළුම දරුවන්ට ආහාර වේල් සැපයීමට, උසස් අධ්‍යාපන ප්‍රතිපාදන වැනි දෑ නොපැකිළව ලබාදීමට හැකියාවක් තිබුණත් ශ්‍රී ලංකාවට වැනි රටකට එය අපහසු වෙන්නට පුළුවන්. ඊට අමතරව මනෝ විද්‍යා දැනුම ඇති ගුරුවරුන් අල්ප වීමත් මේ ක්‍රමය දීප ව්‍යාප්තව පැතිරවීමට බාධාවක්.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට උකහාගත හැකි දේ

ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ඒ ආකාරයටම ශ්‍රී ලංකාවට අනියුක්ත කිරීම ගැලපෙන්නේ නැහැ. නමුත් සි‍යළුම අධ්‍යාපන ආයතන එක තළයේ ලා සැකසීම, ළමයින්ට ජීවිතය විඳින්නට හා අනාගතයේ නිදහස්ව තෝරාගැනීම් කිරීමට හැකියාව වර්ධනය කිරීම හා අධ්‍යාපනය උදෙසා දල දේශීය නිෂ්පාදයෙන් සැළකිය යුතු කොටසක් වෙන් කිරීම වැනි දේ අධ්‍යයනය කර ඒවා ලාංකීය අධ්‍යාපනික රාමුවට සංශෝධන සහිත ව ඇතුල් කළහොත් අනාගතයේදී ලාංකීය අධ්‍යාපනයේ දියුණුවක් දකින්නට ලැබෙනු ඇත.

කවරයේ පින්තූරය – edutopia.org

Related Articles