Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකානු මහද්වීපවල මුලින් ම වගා කළ බෝග වර්ග කිහිපයක්

අමෙරිකානු මහද්වීප සොයාගත් අවස්ථාවේ ඒවායේ රත්‍රන්, මුතු මැණික් සහ කුළුබඩු වර්ග වැනි වටිනා දේ ඇතැයි දේශ ගවේෂකයන් සිතූ නමුත් එහි තිබූ වටිනාම දෑ අමෙරිකානු දේශීය ජනකොටස් වගා කළ විවිධ බෝග වර්ග ය.

ලෝකයේ මේ වන විට වගා කරන කෘෂිකාර්මික බෝගවලින් පහෙන් තුනක් මුලින් ම වගා කළේ අමෙරිකානු මහද්වීපවල ජීවත් වූ එවැනි දේශීය ජනකොටස් බව කියැවේ. මෙම ලිපිය අමෙරිකානු මහද්වීපවල විසූ අතීත ජනයා මුලින් ම වගා කළ, පසුකාලීන ව ලොව පුරා ව්‍යාප්ත වූ එවැනි බෝග වර්ග කිහිපයක් පිළිබඳව යි.

උතුරු සහ දකුණු අමෙරිකානු මහද්වීපවල පිහිටීම දැක්වෙන සිතුවමක් – www.mapofworld.com

බඩ ඉරිඟු

බඩ ඉරිඟු ශාකය අමෙරිකානු මහද්වීපවලට අයත් රටවල පිහිටි තෘණ භූමිවල මීට වසර 8,000කට පමණ පෙර මුලින් ම හටගත් බව පැවැසේ. මුල්කාලීනව බඩ ඉරිඟු වගාකරුවන් වර්තමානයේ දී මෙන් මේරූ කරල් නෙළා නොගත් අතර ඒ වෙනුවට ඔවුන්  ඒවා ගසේ තිබියදී ම වියළීමට හැර තිබේ. හොඳින් වියළී ගිය පසු නෙළා ගත් බඩ ඉරිඟු කරල්වලින් වෙන් කරගත් ඇටවලින් ඔවුහු ඉරිඟු පිටි සකසා ගත්හ. එම පිටි භාවිත කර පාන් සහ වෙනත් ආහාර පිළියෙළ කර තිබේ.

බඩඉරිඟු වගාවක් – www.farmsfriend.com

මෙක්සිකෝවේ ජීවත් වූ මිනිසුන් මුලින් ම බඩඉරිඟු වගා කර ඇති අතර පසුකාලීන ව උතුරු සහ දකුණු අමෙරිකානු මහද්වීප දෙකේ ම ජනතාව විශාල වශයෙන් බඩඉරිඟු වගා කර තිබේ. මායාවරුන්, ඉන්කාවරුන් සහ ඔල්මෙක්ස්වරුන් වැනි ආදිවාසී ජන කොටස් බඩ ඉරිඟු වගාව මූලික කරගත් විශාල නගර ඇති කර තිබේ. පසුකාලීනව, එනම් ක්‍රිස්තු වර්ෂ 1400න් පසු බඩ ඉරිඟු බීජ යුරෝපා රටවල් ගණනාවකට ව්‍යාප්ත වීමත් සමඟ ව්‍යාපාරික වශයෙන් ඒවා වගා කිරීම ආරම්භ විය.

වට්ටක්කා සහ ලබු

වට්ටක්කා සහ ලබු වර්ග ද මුලින් ම වගා කර ඇත්තේ අමෙරිකානු  දේශීය ජනකොටස් ය. බොහෝ විට අතීත අමෙරිකානුවන් සිය වගාබිම්වල ප්‍රධාන වශයෙන් වගා කර ඇත්තේ බෝංචි සහ බඩ ඉරිඟු වගා  වේ. එම බෝගවලට අමතර ව අතුරු බෝගයක් ලෙස වට්ටක්කා සහ ලබු වගා කර තිබේ.

වට්ටක්කා වර්ග – www.onlyfoods.net

වට්ටක්කා සහ ලබු වැල්  විශාල ප්‍රදේශයක විහිදී යාම නිසා බෝංචි සහ බඩ ඉරිඟු වගා අතර වල් පැළෑටි වර්ධනය වීම අඩු වීම එය අතුරු බෝගයක් ලෙස වගා කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඔවුන් ආහාර වශයෙන් පමණක් නොව වෙනත් දෑ සඳහා ද වට්ටක්කා සහ ලබු  යොදා ගෙන තිබේ. විශේෂයෙන්ම වට්ටක්කා ඇට  විවිධ ආභරණ සකස් කිරීම සඳහාත්, වියළා ගත් වට්ටක්කා සහ ලබුගෙඩි ජලය සහ වෙනත් දෑ දැමීම සඳහාත් භාවිත කර තිබේ.

අර්තාපල්

මීට වසර 8,000කට පමණ පෙර, එනම් බඩඉරිඟු වගාව ආරම්භ වූ කාලයේ දී ම අර්තාපල් වගාව ආරම්භ වී ඇති බව සැලැකේ. අමෙරිකානු  මහද්වීපවලට අයත් රටවල් ගණනාවක එය විශාල වශයෙන් වගා කිරීම ආරම්භ විය. ඒ අතරින් මුලින් ම අර්තාපල් වගා කර ඇත්තේ පේරු රාජ්‍යයේ ය. පේරු රාජ්‍යයේ අන්දීස් කඳුවැටිය ආශ්‍රිත ව ජීවත් වූ ඉන්කාවරුන් අර්තාපල් බහුල ව වගා කර ඇති අතර එමගින් පාංශු ඛාදනය වැනි පාරිසරික ගැටලු අවම කරගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

අර්තාපල් – www.pinterest.com

අර්තාපල්වලට අමතර ව බතල වගා කිරීම ද පසුකාලීනව ආරම්භ වී තිබේ. අමෙරිකානු මහද්වීපවල බතල වගාව ආරම්භ වූයේ මීට වසර 5,000ක් වැනි කාලයකට පෙර බව බොහෝ දෙනකුගේ මතය වේ. මුල් කාලයේ දී අර්තාපල් භාවිත කර සකස් කළ හැකි දෑ පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නොතිබුනත් මේ වන විට ලොව වැඩියෙන් ම වගා කරන බෝග වර්ග අතර සිව්වැනි ස්ථානය අර්තාපල්වලට හිමි වේ.

තක්කාලි

අතිශය ජනප්‍රිය එළවළුවක් සහ පලතුරක් බවට පත්ව ඇති තක්කාලි මීට වසර 7,000කට පමණ පෙර මුලින් ම වගා කර ඇත්තේ මෙක්සිකෝවේ ජීවත් වූ දේශීය ජනකොටස් ය. වර්තමානය වන විට තක්කාලි සහ ඒ ආශ්‍රිත සෝස් වැනි නිෂ්පාදන ලොව සියලු රටවල පාහේ අතිශයින් ජනප්‍රිය වේ. කෙසේ වෙතත් තක්කාලි, යුරෝපය ඇතුළු අමෙරිකානු මහද්වීපවලින් පිට ප්‍රදේශවල වගා කිරීම ආරම්භ වූයේ ඉතා මෑතක දී බව කියැවේ.

ඊට හේතුව තක්කාලිවල යම් යම් විෂ සංඝටක අන්තර්ගත වන බවට කටකතා පැතිරීම යි. එවැනි මත තක්කාලි අනිකුත් රටවලට ව්‍යාප්ත වීම ප්‍රමාද වීමට කොතරම් දුරට බලපෑවේ ද යත් ඉතාලියේ පවා තක්කාලි සෝස් භාවිතය ආරම්භ වූයේ  19 වැනි සියවසේ දී ය.

දේශගවේෂකයන් දැක්වෙන සිතුවමක් – www.thelostcolony.blogspot.com

මිරිස්

මිරිස් සඳහා භාවිත කර ඇති පැරැණිත ම නම මීට වසර 6,500කට පමණ පෙර, මෙක්සිකෝවේ භාවිත වූ Proto-Otomanguean භාෂාවට අයත් යෙදුමක් බව සොයාගෙන තිබේ. ඒ හේතුව නිසා ම මුලින් ම මිරිස් වගා කිරීම ආරම්භ කර ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර මෙක්සිකෝවේ ජීවත් වූ ජනතාව බව විශ්වාස කෙරේ. එය ‘chilli’ යනුවෙන් හැඳින්වීම ආරම්භ කර ඇත්තේ ඇස්ටෙක්ස්වරුන් ය. දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් මිරිස් හඳුන්වා ඇත්තේ ‘ pepper’ යනුවෙනි. ඊට හේතුව මිරිස්, ගම්මිරිස් මෙන් සැර අධික වීම යි. පසුකාලීනව ඉතාලිය, ස්පාඥ්ඥය සහ හංගේරියාව වැනි යුරෝපා රටවල් ද මිරිස් වගා කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මිරිස් භාවිතය විශාල වශයෙන් ආරම්භ වූයේ පෘතුගීසි ජාතිකයන් සිය යටත් විජිතවලට මිරිස් හඳුන්වා දීමත් සමග බව කියැවේ.

මිරිස් – www.simplicity.in

කොකෝවා

කොකෝවා මුලින් ම වගා කළේ  දකුණු අමෙරිකානු  මහද්වීපයේ ජීවත් වූ මායාවරුන් සහ ඇස්ටෙක්වරුන් ය. මුල්කාලීනව විශාල වශයෙන් කොකෝවා වගා කර ඇත්තේ ඉක්වදෝරයේ වන අතර ඒ ආසන්න වශයෙන් මීට වසර 5,300කට පෙර යි.

කොකෝවා වගාවක් – www.pinterest.com

මධ්‍යම මෙක්සිකෝවේ ජීවත් වූ ඇස්ටෙක්වරුන්ගේ අධිරාජ්‍යයකු වූ ‘මොන්ටෙසුමා’ දිනකට කොකෝවා ඇටවලින් සකසා ගත් උණුසුම් බීම වීදුරු 50ක් පානය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් කොකෝවා ඇට පමණක් භාවිතයෙන් පානය කිරීම සඳහා සුදුසු බීමක් පිළියෙළ කරගත නොහැකි බව ස්පාඤ්ඤ ජාතිකයෝ පසුකාලීනව පැවැසූහ. ඔවුන් අනුමාන කළේ මොන්ටෙසුමා අධිරාජ්‍යයා මිරිස් සහ තවත් කුළුබඩු කොකෝවා ඇට සමග මිශ්‍ර කර පිළියෙළ කරගත් බීමක් ඒ අයුරින් පානය කරන්නට ඇති බව යි.

මොන්ටෙසුමා අධිරාජ්‍යයා කොකෝවා ඇට පානය පානය කරන අයුරු දැක්වෙන සිතුවමක් – api.nationalgeographic.com

ස්පාඥ්ඥ ජාතිකයන් කොකෝවා වගාව අනිකුත් රටවල්වලට ව්‍යාප්ත කළහ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ විවිධ අත්හදා බැලීම්වලින් අනතුරුව වර්තමාන චොක්ලට් බිහි විය. මුලින්ම වගා කළේ අමෙරිකානු මහද්වීපවල වුවත් මේ වන විට ලොව වැඩිම කොකෝවා වගා කරන රටවල් සියල්ල අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල් වේ.

කවරයේ පින්තූරය- බෝග වර්ග කිහිපයක පලදාව - www.history.com

මූලාශ්‍ර:

www.history.com

www.farmsfriend.com

www.api.nationalgeographic.com

Related Articles