Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ

නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ කතාබහ සමඟ ජනතා නියෝජිතයන් අතර කාන්තා නියෝජනය පිළිබඳ අලුතින් කතාබහක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ඡන්දයෙන් පත්වන මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය අඩුම රටක් වීම එක්තරා විදියකින් පුදුමයටත් කරුණක්. 2015 අගෝස්තු මැතිවරණයෙන් පසු තෝරාගන්නා ලද පාර්ලිමේන්තුවේ සමස්ථ මන්ත්‍රීන් 225 න් 13 දෙනකු කාන්තාවන් වූ අතර එය සියයට 5.8 ක ප්‍රතිශතයක් වුණා. මේ අනුව ශ්‍රී ලංකාව කාන්තා නියෝජනය අතින් රටවල් 187 ක් අතුරින් 178 වන ස්ථානයේ සිටිනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් සැළකූ විට සියයට 52 ක් ම කාන්තාවන් වනවා.

මෙහි අයහපත් තත්ත්වය නම් ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන් රටේ නීති සැදෙන පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීමයි. විශේෂයෙන්ම කාන්තාවන්ට බලපාන කරුණු සම්බන්ධව වුවද නීති සම්මත කෙරෙන්නේ පිරිමින් විසින් වීම එක්තරා ආකාරයකින් කණගාටු විය යුතු කරුණක්.

ලෝකයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තෝරාපත් කරගන්නා ලද්දේ 1907 දී ෆින්ලන්තයයි. මෙකල ෆින්ලන්තය රුසියාවේ පාලනය යටතේ පැවතුන අතර එරට නෛතික වශයෙන් මහාදිපාද ප්‍රදේශයක් ලෙස සැළකුණා. රුසියාවේ සාර්වරයා ෆින්ලන්තය පාලනය කළේ එහි මහාදිපාදවරයා යන නමින්. එමෙන්ම ඔවුනට වෙනමම පාර්ලිමේන්තුවක් ද තිබුණා. 1906 දී ෆින්ලන්තය සර්ව ජන ඡන්ද බලය සිය ජනතාවට ප්‍රදානය කළ පළමු යුරෝපීය රට බවට පත් වූ අතර කාන්තාවන්ට ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවස්ථාව ලබාදෙනු ලැබුණා. මෙම නව මැතිවරණ නීති යටතේ පැවති පළමු මැතිවරණය 1907 මාර්තු 15 සහ 16 දිනවල පැවැත්වුණා.

වර්තමාන ෆින්ලන්ත පාර්ලිමේන්තු සභා ගර්භය (Tiina Tuukkanen)

මෙම මැතිවරණයෙදී පාර්ලිමේන්තු ආසන 200 න් 80ක් ම දිනාගනු ලැබුයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින්. ෆින්වරුන්ගේ පක්ෂය (Finnish Party) ආසන 59 ක්, තරුණ ෆින්වරුන්ගේ පක්ෂය (Young Finns’ Party) ආසන 26 ක්, ස්වීඩන් ජනතා පක්ෂය (Swedish People’s Party) ආසන 24 ක්, ගොවිජන ලීගය (Agrarian League) ආසන 9 ක් සහ ක්‍රිස්තියානි කම්කරු පක්ෂය (Christian Workers’ Party) ආසන 2 ක් දිනාගත්තා. මෙහි ස්වීඩන් ජනතා පක්ෂය යනු ෆින්ලන්තයේ වසන ස්වීඩන් ජාතිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බිහි වූ පක්ෂයක් වුණ අතර ගොවිජන ලීගය මීට වසර කිහිපයකට පසුව ෆින්ලන්තයේ ප්‍රමුඛතම පක්ෂයක් බවට පත්වුණා. වර්තමානයේ එරට ප්‍රධානම පක්ෂයක් වන සෙන්ටර් පක්ෂය (මධ්‍යස්ථ පක්ෂය​) මූලාරම්භ වූයේ ගොවිජන ලීගයෙන්.

1907 මැතිවරණයේදී පත් කරගන්නා ලද මන්ත්‍රීවරුන් 200 දෙනාගෙන් කාන්තාවන් සංඛ්‍යාව 19 ක් වුණ අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 9.5 ක ප්‍රමාණයක්. එනම්, 1907 වසරේදී ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 2015 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ අගයක් ගත්තා.

මෙහිදී වැදගත්වන අනෙක් කරුණ නම් මෙම කාන්තා නියෝජනය එක් පක්ෂයකට පමණක් සීමා නොවීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නියෝජිතවරියන් නව දෙනෙක්, ෆින්වරුන්ගේ පක්ෂයෙන් නියෝජිතවරියන් හත් දෙනෙක්, තරුණ ෆින්වරුන්ගේ පක්ෂයෙන් නියෝජිතවරියන් දෙදෙනෙක් සහ එක් ස්වීඩන් ජනතා පක්ෂ නියෝජිතවරියක් වශයෙන් මෙම නියෝජිතවරියන් තෝරාගනු ලැබුණා. මෙයින් ලාබාලම මන්ත්‍රීවරිය වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉඩා ආලේ-ටෙල්යෝ (Ida Aalle-Teljo) ය. පාර්ලිමේන්තුවට තේරී පත් වනවිට ඇය 22 වන වියෙහි පසු වුණා.

ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ අදටත් පවතින්නේ ආසන 200 ක් පමණයි. 2015 පැවති ෆින්ලන්ත මැතිවරණයේදී පත්වූ මන්ත්‍රීන් 200 දෙනාගෙන් 84 දෙනෙකුම මන්ත්‍රීවරියන් වනවා. එය සියයට 42 ක ප්‍රතිශතයක් වන අතර කාන්තා නියෝජනය අතින් ෆින්ලන්ත පාර්ලිමේන්තුව ලොව අටවැනි ස්ථානයේ සිටිනවා. කාන්තා නියෝජනය අතින් ලොව පළමු තැන රුවන්ඩාවටත්, දෙවන තැන බොලීවියාවටත් හිමිව ඇති අතර පාර්ලිමේන්තුවේ සියයට 50 කට වඩා කාන්තා නියෝජනය ඇති රටවල් වන්නේ එම දෙරට පමණයි.

1907 දී ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ කාන්තාවන්

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය​

  1. ඉඩා ආල්ලේ-ටේල්යෝ
  2. ඇනී හුටාරි
  3. මිම්මි කනෙර්වෝ
  4. ජෙනී නූටියෝ
  5. මාරියා පැසෝ-ලේන්
  6. හිල්යා පාර්සිනන්
  7. මාරියා රවුනියෝ
  8. සැන්ඩ්‍රා ලේහ්ටිනන්
  9. මීනා සිල්ලන්පා (1920 දශකයේදී ඇය ෆින්ලන්‍තයේ පළමු ඇමතිවරිය බවට පත් වුණා).

මීනා සිල්ලන්පා (miinat.fi)

ෆින්වරුන්ගේ පක්ෂය​

  1. එවෙලිනා අලා-කුල්යු
  2. හෙඩ්විග් ගෙබාර්ඩ්
  3. ඇලෙක්සැන්ඩ්‍රා ග්‍රිපෙන්බර්ග්
  4. ලිසී කිවියෝයා
  5. හිල්ඩා කාකිකෝසි
  6. හිල්මා රසානන්
  7. ලීඩා වෙම්මුල්පු

තරුණ ෆින්වරුන්ගේ පක්ෂය​

  1. ලුසීනා හැග්මන් (පසු කළෙක ෆින්ලන්තයේ මහාචාර්ය ධූරයකට පත් පළමු කාන්තාව වුණා)
  2. ඇල්ලි නිසිනෙන්

ස්වීඩන් ජනතා පක්ෂය​

  1. ඩැග්මාර් නියෝවියස්

Cover Image: පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගෙන් කොටසක් (Ministry of Foreign Affairs, Finland)

Related Articles