Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියේ බෑඩ් බෝයිස්ලා පස්දෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාව යනු, මහත්වරුන්ගේ ක්‍රීඩාවයි. ඈත අතීතයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන් මහත්මා ගති ලක්ෂණ වලින් යුක්තව සිටි බව අප දන්නවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටතදීද ක්‍රීඩාවේ ගෞරවය රැක ගත යුතු වෙනවා සේම ඔවුන්ගේ ආකල්ප උසස් විය යුතුයි.

අද අපි ඔබ වෙත ගෙන එන්නට සැරසෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කිර්ති නාමයට හානි කරමින් ක්‍රීඩාවේ විනය විරෝධී කටයුතු වල මෙන්ම නීති විරෝධී කටයුතු වල නිරත වෙමින් මහත්මා ලක්ෂණ විනාශ කළ ක්‍රීඩකයින් පස්දෙනෙක් පිළිබඳවයි. ඔවුන්ගේ වැරදි ආකල්පයන් හේතුවෙන් ඔවුන්ව ක්‍රිකට් ක්‍රීඩාවේ නරක ක්‍රීඩකයන් හෙවත් බෑඩ් බෝයිස්ලා ලෙස හඳුන්වනවා. කොහොමද මේ සියළුදෙනා එක් කණ්ඩායමකට එකතු කරලා ලෝකයේ නරකම ක්‍රිකට් කණ්ඩායම ලෙස නව කණ්ඩායමක් පිහිටුවොත්?

ඩේවිඩ් බූන් (ඕස්ට්‍රේලියාව)

ඩේවිඩ් බූන් (ICC Cricket live)

1984 දී ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන ඩේවිඩ් බූන් Aussies තරගයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කරනවා. 80 හා 90 දශකයේ මුල් භාගයේදී එංගලන්තයට විරුද්ධව පැවති ක්‍රිකට් තරග වල ලකුණු අතරට පිවිසි ඩේවිඩ් බූන් නම් උඩු රැවුලක් සහිත මේ  ටස්මේනියානුවා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන්නේ 1989දී අළු බඳුන තරගාවලිය සඳහා එක්සත් රාජධානිය වෙත ගුවන් යානයෙන් ගමන් කරමින් සිටියදී බියර් බෝතල් 52ක් හිස් කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් අළු බදුන ශුරතාවය දිනා ගන්නට ඕස්ට්‍රේලියාවට හැකි වෙනවා.

ඉන්සමාම් උල් හක් (පාකිස්ථානය)

ඉන්සමාම් උල් හක් (India.com)

පකිස්ථානය නියෝජනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසුණු ඉන්සමාම් උල් හක් දක්ෂ ලෙස පන්දුවට පහර දෙන්නෙක් මෙන්ම පකිස්ථානයෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි. 1991 සිට 2001 කාල පරාසය දක්වා පිටියේ දස්කම් දැක්වූ ඉන්සමාම් කුකුළු කෙන්තිකාරයෙක් ලෙස ප්‍රසිද්ධයි.

1997 වසරේදී  ඉන්දියාව හා පාකිස්ථානය අතර ටොරොන්ටෝහි පැවැත්වුණු තරගයකදී පන්දු රැකීමේ නිරත වූ ඉන්සමාම්ට ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිසක් මෙගාෆෝනයකින් “මහත අලයා” ලෙස ආමන්ත්‍රණය කරනවා. කෝපයෙන් පිපිරෙමින් ඉන්සමාම් ප්‍රේක්ෂකාගාරයට පැන එම කණ්ඩායමට පහර දෙන්නට සැරසෙනවා.

ගැටුම සමාදාන කරමින් ඔහුව නැවතත් පිටියට රැගෙන එන්නට උත්සාහ කළත් පිතිකරුවකුගෙන් ක්‍රිකට් බැට් ඒක පැහැරගන්නා ඉන්සමාම් ඉන්දියානු ප්‍රේක්ෂකයෙකුට පහර දෙන්නට පිම්මක් පනින අයුරු මේ වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

ඇන්ඩෘ සයිමන් (ඕස්ට්‍රේලියාව)

ඇන්ඩෘ සයිමන් (Wikipedia)

ක්‍රිකට් බෑඩ් බෝයිස්ලා අතරිනුත් අංක එකේ බෑඩ් බෝයි තමයි ඇන්ඩෘ සයිමන් කියලා කියන්නේ. ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන ඇන්ඩෘ සයිමන් 1998 සිට 2011 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කටයුතු කරනවා. ලෝක කුසලානය දෙවරක්ම ඕස්ට්‍රේලියාවට දිනා දීමට කටයුතු කළ දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙක්.

මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූ සයිමන් ඒවා තැනක් නොතැනක් බලා පාවිච්චි කළ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩාලෝලීන් අතර ප්‍රසිද්ධයි. බොහෝ තරගවලට පෙර ඔහු මත්පැන් පානය කර සිටියත් අසු වී තිබෙන්නේ තරග කිහිපයකදී පමණයි.

2009 වසරේ T20 තරගාවලියට පටන් ගැනීමට ප්‍රථමව ඔහුව කණ්ඩායමෙන් නෙරපා හරින්නට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට තීරණය කරන්නේ ඔහුගේ බීමත්කම හේතුවෙන්. 2008 වසරේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාව හා බංගලාදේශය අතර මුල්ම එක්දින තරගය ආරම්භ වීමට ප්‍රථම ව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවති සුදානම් වීමේ හා දැනුම් දීමේ හමුවක් මඟ හරිමින් සයිමන් මාළු බෑමට ගිය බව වාර්තා වෙනවා. තරගය සඳහා කෙතරම් උනන්දුවක් ඔහු තුළ තිබූ බවට එය එක සාක්ෂියක් බව ඕස්ට්‍රේලියානු පිළේ පුහුණුකරු පවසනවා.

2008 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පිටියේ ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගයකදී ඇන්ඩෘ සයිමන් විසින් ඉන්දියානු ක්‍රීඩක හර්බජාන් සිං සමඟ ඇතිකරගත් ගැටුම මහත් ආන්දෝලනයකට ලක් වෙනවා. එම ගැටුම මේ වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

තවද 2009 වසරේ වැඩසටහනකදී නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩම් මැකලම් ව දැඩි ලෙස විවේචනය කරනවා. තවත් අවස්ථාවක පවසන්නේ තමන් මැතිව් හේඩ්න්ගේ නිවසට යන්න කැමති ඔහුගේ බිරිඳ සිටිනා නිසා බව යි.

සොයිබ් අක්තාර් (පාකිස්ථානය)

සොයිබ් අක්තාර් (Dawn)

1997 සිට 2011 වසර දක්වා පාකිස්ථානය නියෝජනය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු සොයිබ් අක්තාර් දකුණතින් වේග පන්දු යවමින් පිතිකරුවන් බිය වැද්දූ දක්ෂ පන්දු යවන්නෙක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධයි.

දක්ෂ පන්දු යවන්නෙක් සේම විනය විරෝධී කටයුතු වලට හවුල් වූ අපකීර්තිමත් ක්‍රීඩකයෙක් ලෙසත් ක්‍රිකට් විචාරකයන් විසින් අක්තාර්ව හඳුන්වා දෙනවා.

2003 වසරේ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ඔහුව ලක් වෙනවා. 2008 වසරේ ඔහු වසර පහක තරග තහනමකට ලක්වෙන්නේ ක්‍රීඩක නීති රීති සංග්‍රහයට අනුකූලව කටයුතු නොකිරීමෙන්. ලාහොර් නුවරදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වන පෝල් ඇඩම් සමඟ  ඇති කරගත් ගැටුම හේතුවෙන් සොයිබ් අක්තාර්ට එක් ටෙස්ට් තරගයකුත් එක්දින තරග 2කුත් තහනම් වෙනවා. අක්තාර් 2006 පෙබරවාරි මාසයේදී තහනම් උත්තේජක චෝදනාවකට ලක්වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි සෙල්ලක්කාරයෙක් ලෙස හැදින්වූ සොයිබ් අක්තාර් තරග වලට පෙර දිනයේ පවා උත්සව වලට හා විලාසිතා සංදර්ශන වලට සහභාගී වූවෙක්.

වරක් ඔහු සෞරව් ගංගුලිට ඔහු යැවූ පන්දුවෙන් සෞරව් බිම ඇද වෙටෙනවා. හිතාමතාම ඔහු මේ පන්දුව එල්ල කරන්නට ඇති බවයි විචාරකයන් පවසන්නේ. ඒ වීඩියෝව මෙතනින් නරඹන්නට ඔබට පුළුවන්.

ඉයන් බොතම් (එංගලන්තය)

ඉයන් බොතම් (Getty Images)

එංගලන්තයෙන් බිහිවූ සුපිරිතම ක්‍රීඩකයෙක් හා නායකයෙක් ලෙස ඉයම් බොතම්ව හඳුන්වා දීම කිසි වරදක් නෑ. ඉයන් බොතම් පන්දුවට පහර දෙන්නට පටන් ගත් විට පන්දු යවන්නන්ට ඔළුවේ කැක්කුම හැදෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නෑ. දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලතයේ රැජිණගෙන් සර් නාමයකින්ද පිදුම් ලබනවා.

නමුත් ඉයන් බොතම් කියන්නේ ගංජා භාවිතයට ඇබ්බැහි වූ ක්‍රීඩකයෙක්. 1986දී මාස දෙකක ක්‍රිකට් තහනමකට ලක්වෙන්නට ඉයන් බෝතම්ට සිදු වෙනවා. එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙසේ දඩුවම් කරන්නේ ඔහු තරගාවලියට ගංජා ගෙන ඒම හේතුවෙන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධර්ම විනාශ කළ ක්‍රීඩකයන් අතරින් පස් දෙනෙක් පිළිබඳවයි අද ලිපියෙන් ගෙන ආවේ. මෙම ක්‍රීඩකයන් බොහොමයක් ඕස්ට්‍රේලියාවට, පාකිස්ථානයට, ඉන්දියාවට හා එංගලන්තයට අයත් ක්‍රීඩකයන්. බෑඩ් බෝයිස් ලිස්ට් එකේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දකින්නට නොමැති වීම පිළිබඳව සටහන් කරන්නේ සියුම් ආඩම්බරයකින්. ඉතින් තවත් බෑඩ් බෝයිස්ලා කිහිපදෙනෙක් පිළිබඳව ලිපියක් ඉදිරියේදී ඔබට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.

කවරයේ පින්තූරය: Blue Bird News

Related Articles