ආහාර නාස්තිය අවම කරන්නට සටන් කරන රටවල් පහක්

කොවිඩ් වසංගතය සහ වසංගතයේ බලපෑම අවම වීමත් සමඟ ම වාගේ උද්ගත වූ රුසියානු-යුක්‍රේන අර්බුදය නිසා මුළු ලෝකය ම යම් ආර්ථික පසුගාමීත්වයකට දැන් මුහුණ දෙමින් සිටිනවා. ලෝකයේ විශාලත ම තිරිඟු නිෂ්පාදකයන් දෙදෙනෙක් ලෙස රුසියාව සහ යුක්‍රේනය අවසානය අපැහැදිලි යුද්ධයකට පැටළී ඇති බැවින්, ආහාර අර්බුදයක අහිතකර ප්‍රතිවිපාක ගැනත් දැන් කතාබහට ලක් වෙනවා.

ආහාර නාස්තිය සම්බන්ධයෙන් ගෝලීය ප්‍රජාව සංවේදී විය යුතු ආකාරය සාකච්ඡාවට බඳුන් වන්නේ කලක පටන්. 2019 සිට වර්තමානය දක්වා ලෝකය මුහුණ දුන් දුෂ්කරතා හමුවේ ආහාර අර්බුදයක පෙර නිමිති පෙන්වන බැවින්, ආහාර නාස්තිය සම්බන්ධයෙන් දැඩි නියාමන පැනවීමේ අවශ්‍යතාව මතු වෙනවා. ආහාර නාස්තියට විසඳුම් පොදු ගෝලීය පසුබිමක පිහිටා තීරණය කළ නොහැකි යි. භූ ගෝලීය වෙනස්කම්, සංස්කෘතික විවිධත්වය, යටිතල පහසුකම්, වැනි බොහෝ සාධක රටක ආහාර නාස්තියට බලපාන හෙයින් එය දේශීය ව විසඳුම් සෙවිය යුතු ගෝලීය ගැටලුවක් ලෙස සලකනවා. ඒ අනුව ඇතැම් රටවල් තමාට අනන්‍ය වූ ක්‍රමවලින් ආහාර නාස්තිය අවම කිරීමේ ක්‍රියා පිළිවෙත් කරා දැනටමත් අවතීර්ණ වී අවසන්.

ආහාර නාස්තිය අවම කළ හැකි සරල ක්‍රම – www.simplehappykitchen.com 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයේ මූල හේතුව මීට වඩා වෙනස් බව අපි දන්නවා. කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මාන්තය ගෙන යෑමේ අක්‍රමවත් උත්සාහය නිසා අප ගේ ආහාර සුරක්ෂිතතාව බරපතළ අවදානමකට මුහුණ දුන්නා. එසේ නම්, ආහාර නාස්තිය හැකිතාක් අවම කර ගැනීමේ ක්‍රියා අපට පෙරටත් වඩා වැදගත් වන බව පැහැදිලිව ම පෙනී යන කරුණක්. බොහෝ රටවල් ආහාර නාස්තිය අවම කිරීමේ පලදායී ක්‍රම සොයා ගනිමින් සිටින අතර, ඔවුන් ගේ ප්‍රයත්න හරහා අපට ඉගෙන ගත හැකි දේ බොහෝ යි. එවැනි රටවල් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටයි මේ සූදානම් වන්නේ.

ප්‍රංශය

ප්‍රංශය ආහාර නාස්තිය සලකන්නේ මිල අධික ප්‍රශ්නයක් ලෙසට යි. සෑම වසරක ම ආහාර ටොන් මිලියන 10 ක් පමණ ප්‍රංශය තුළ අපතේ යන අතර, ඉන් සිදුවන මූල්‍යමය පාඩුව යුරෝ බිලියන 16 ක් බව පැවසෙනවා. ආහාර අපද්‍රව්‍යවලින් සිදුවන පාරිසරික හානියත් සුළුපටු නැහැ. ඒවා  CO2 විමෝචනය සඳහා සෘජු දායකත්වයක් සපයනවා. ප්‍රංශය තුළ සිදුවන සම්පූර්ණ CO2 විමෝචනයෙන් 3% ක දායකත්වයක් ලැබෙන්නේ අපතේ යන ආහාර හරහා යි.

මේ සංඛ්‍යා දත්ත ප්‍රංශ රජය කිසිසේත් ම සුළු කොට තකන්නේ නැහැ. ඒ සඳහා ඔවුන් විවිධ පියවර අනුගමනය කරමින් සිටිනවා. පසුගිය වසර දහයක කාලය තුළ ආහාර නාස්තිය අවම කිරීම සඳහා නව නීති රෙගුලාසි කෙරෙහි ඔවුන් අවධානය යොමු කළේ ඒ නිසා යි. 2012 දී පැන වූ නීතියකට අනුව කිසියම් පුද්ගලික ආයතනයක් වසරකට කාබනික අපද්‍රව්‍ය ටොන් 120 කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ නම්, ඒවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ඇතුළත් කළ යුතු වෙනවා. එතැන් පටන් මෙම නියමය තවදුරටත් වැඩි දියුණු කළ අතර, ආගන්තුක සත්කාර සහ ආහාර සේවා කර්මාන්ත ඇතුළු සියලු ව්‍යාපාර වසරකට ඉවතලන කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දහයකට වැඩි නම්, ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම අනිවාර්ය යි.

ආහාර නාස්තියේ බරපතලකම වෙනස් ම මානයකින් විග්‍රහ කර ඇති අයුරු – www.biocycle.net

2016 දී ප්‍රංශය සුපිරි වෙළෙඳසල් හි අලෙවි නොවූ ආහාර ඉවත දැමීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කළා. පරිභෝජනය සඳහා වඩාත් සුදුසු අවසාන දිනයට (“Best-before” date) ළඟා වෙමින් පවතින හොඳ තත්ත්වයේ ආහාර පවා ඉවත දැමීමට අවසර ලැබෙන්නේ නැහැ. සුපිරි වෙළෙඳසල් සතු එවැනි ආහාර සහ අතිරික්තය පුණ්‍යායතනවලට හෝ ආහාර බැංකු සඳහා පරිත්‍යාග කළ හැකි යි.

ඉතාලිය

ඉතාලිය තුළ වාර්ෂික ව ටොන් මිලියන 5.1 ක පමණ ආහාර නාස්තියක් සිදු වන අතර, ඊට පිළියමක් ලෙස ප්‍රංශය මෙන් ඉතාලිය ද සුපිරි වෙළෙඳසල් ජාල සඳහා නීති සම්මත කර තිබෙනවා. කෙසේ නමුත්, ප්‍රංශයට සාපේක්ෂ ව ඉතාලියේ නීති තරමක ලිහිල් ස්වභාවයක් ගන්නවා. දඬුවම් කරනවා වෙනුවට අලෙවි නොකළ ආහාර පරිත්‍යාග කිරීම පහසු කළ හැකි අන්දමේ ක්‍රියා පරිපාටි කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව යි. මේ ප්‍රායෝගිකත්වය නිසා වසරකට ආහාර ටොන් මිලියනයක් පමණ අපතේ නොයවා රැක ගැනීමේ හැකියාව තිබෙන බව ඔවුන්ට අවබෝධ වුණා.

නිසි පරිදි ආහාර අපද්‍රව්‍ය බැහැර කළ පමණින් ආහාර නාස්තිය විසඳෙන්නේ නැහැ. ආහාරයක් බැහැර කිරීමට පෙර සැළකිලිමත් විය යුතු කාරණා බොහෝමයක් තිබෙනවා – www.pinterest.com 

ආහාර පරිත්‍යාග කිරීමේ දුෂ්කරතා මඟ හරවන අන්දමේ නීති ලිහිල් කිරීම් ඉතාලියේ දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස ආහාරයක “sell-by date” කාල සීමාව ඉක්මවා ගියත්, ආහාරය පරිත්‍යාග කිරීමේ හැකියාවට ඉන් බාධා පැමිණෙන්නේ නැහැ. “sell-by date” යනු විකිණීම සඳහා වෙළෙඳසල තුළ නිෂ්පාදනය ප්‍රදර්ශනය කළ යුතු කාලය යි. තම නිෂ්පාදනය නැවුම් ව පවතින කාල සීමාව කොතෙක්දැ යි නිෂ්පාදකයා සිදු කරන තක්සේරුව මත එම දිනය තීරණය වෙනවා. එම දිනය පසු වූ පමණින් ආහාරය පරිභෝජනය සඳහා නුසුදුසු වන බව අදහස් වන්නේ නැහැ. නමුත්, ආහාරයේ රසය සහ ආකර්ෂණීය බව තරමක් අඩු විය හැකි යි. ඉතාලියේ ඇතැම් සමාගම් මෙම ලිහිල් බව ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතාව ඇති අයට තම අතිරික්ත ආහාර පරිත්‍යාග කිරීම සිදු කරනවා.

ජපානය

බොහෝ ධනවත් රටවල් මෙන් ජපානයටත් ආහාර නාස්ති වීම යනු බරපතල ගැටලුවක්. ආහාර අවශ්‍යතාව දිනෙන් දින වැඩිවීමේ ප්‍රවණතාවත් ඔවුන්ට බලපා තිබෙනවා. ජපානය තුළ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විශාල ඉඩ පහසුකම් නැහැ. කෘෂිකර්මාන්තයට පවා භූමිය පරිහරණය කිරීමේ දී භූමි කළමනාකාරීත්වය ගැන සිත යොමු කරන බැවින්, අප ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භූමිය භාවතා කිරීම සුදුසු ක්‍රියාවක් ලෙස ඔවුන් දකින්නේ නැහැ. එබැවින්, ආහාර නාස්තිය හැකිතාක් අවම කිරීමට ජපන් පරිපාලනය උත්සහ කරනවා. 

ජපානයේ “Second Harvest” ආහාර බැංකුව ක්‍රියාත්මක වන අයුරු – 2hj.org 

2000 වර්ෂයෙන් ඇරඹුණු දශකයේ මුල් භාගයේ සිට ම ආහාර නාස්තියට එරෙහි ව සටන් කරන රාජ්‍යයක් ලෙස ජපානය හැඳින්විය හැකි යි. උදාහරණයක් ලෙස “Second Harvest” නමැති ජාතික ආහාර බැංකුවක් 2002 පටන් ජපානය තුළ ක්‍රියාත්මක වන අතර, එම ආයතනය හරහා සිල්ලර වෙළෙඳසල් සහ අනෙකුත් සිල්ලර වෙළෙන්දන් සතු අතිරික්ත ආහාර, අවශ්‍යතාවයඇති පුද්ගලයන්ට ඉක්මනින් බෙදා හැරීම සිදු කරනවා. මීට අමතර ව, භාවිතයට වඩාත් සුදුසු අවසාන දිනයට ළඟා වූ ආහාර මිල දී ගැනීමේ දී ප්‍රසාද ලකුණු ලබා දීමේ වැඩසටහන් ද ජපානයේ ක්‍රියාත්මක යි.

කෙසේ නමුත්, ආහාර නාස්තිය මෙවැනි ක්‍රියා හරහා සම්පූර්ණයෙන් ම නතර කළ නොහැකි යි. ඒ නිසා ආහාර අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට්, සත්ත්ව ආහාර සහ බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ජපානයේ ක්‍රියාත්මක වෙනවා. ආහාර නාස්තියට සංවේදී වන අනාගත පරපුරක් ගොඩනැඟීමටත් ජපානය උත්සහ කරමින් සිටිනවා. ගැටලුව සම්බන්ධයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ජාතික අවබෝධයක් ගොඩ නැඟීම ඔවුන් ගේ ඉලක්කය යි.

දකුණු කොරියාවේ නගරවල පිහිටුවා ඇති විශේෂිත කාබනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ යන්ත්‍ර – globaldaegu.blogspot.com 

දකුණු කොරියාව

රජයේ ප්‍රතිපත්තිවලට විශාල වෙනසක් සිදු කළ හැකි බව ඔප්පු කළ රටක් තමයි දකුණු කොරියාව. කලකට ඉහත ආසියාවේ විශාලත ම ආහාර නාස්ති කරන්නකු ලෙස සැලකූ දකුණු කොරියාව, ලෝකයේ බොහෝ රටවලට තවමත් ළඟා විය නොහැකි අන්දමෙන් ආහාර නාස්තිය අවම කිරීමට සමත් වී තිබෙනවා. මීට වසරක හයකට පමණ පෙර තිබූ තත්ත්ව‍ය හා සැසඳීමේ දී සෝල් නගරයේ පමණක් ඉවතලන ආහාර ප්‍රමාණය 10% කින් පමණ ඔවුන් අවම කරගෙන තිබුණා. තවත් විදිහකින් පැවසුවොත්, දිනකට සෝල් නගරවාසීන් ඉවත දමන ආහාර ප්‍රමාණය ටොන් තුන්සියයකින් පමණ අවම කර ගැනීමට සමත් වුණා.

මෙවැනි ප්‍රගතියක් ඔවුන් අත්කර ගත්තේ 2013 දී සෝල් නගරය කේන්ද්‍ර කර ගනිමින් නව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නිසා යි. එම ප්‍රතිපත්තියට අනුව ඉවතලන ආහාර ප්‍රමාණයට සාපේක්ෂ ව කිසියම් මුදලක් ප්‍රතිචක්‍රීකරණය සඳහා නගරවාසීන් ගෙවිය යුතු යි. පසුකාලීන ව මෙම ප්‍රතිපත්තිය දකුණු කොරියාවේ තවත් නගර 16 කට ව්‍යාප්ත කළ බව සඳහන් වෙනවා.

ආහාර අපද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා විශේෂ බඳුන් නගර පුරා සවි කර ඇති අතර, අපද්‍රව්‍යවල බර වාර්තා කිරීමේ ක්‍රමවේදයකුත් සකසා තිබෙනවා. පුරවැසියන් සිය ආහාර අපද්‍රව්‍ය එම බඳුන්වලට දමා නියමිත බිල්පත ලබා ගන්නවා. එකතු වන කාබනික අපද්‍රව්‍ය සත්ත්ව ආහාර හෝ බලශක්තිය නිපද වීම සඳහා යොදා ගන්නා බැවින්, ඒවා පලදායී ආකාරයෙන් බැහැර වෙනවා.

මීට අමතරව, තවත් විකල්ප ක්‍රම දකුණු කොරියානු රජය හඳුන්වා දී අවසන්. ඉන් එක් ක්‍රමයක් වන්නේ එක්තරා විශේෂ කුණු බෑගයක් මිල දී ගැනීම හරහා අපද්‍රව්‍ය බැහැර කිරීම යි. එසේත් නැතිනම්, කුඩා ගාස්තුවක් ගෙවා කොම්පෝස්ට් බඳුන් තුළට ආහාර අපද්‍රව්‍ය බැහැර කළ හැකි යි. මේ සියල්ලට ම මුදල් ගෙවන්නට සිදු වන්නේ අපද්‍රව්‍ය ප්‍රමාණයට වන බැවින්, දකුණු කොරියානුවන් ඉවතලන ආහාර ප්‍රමාණය හැකිතාක් අවම කරමින් ගාස්තුව ද අවම කර ගැනීමට උත්සහ කරනවා.   

ආහාර නාස්තිය අවම කිරීම සඳහා “ඩොගී බෑග්” භාවිතය ප්‍රවර්ධනය කිරීමට ස්පාඤ්ඤ රජය උත්සහ කරනවා – www.majorcadailybulletin.com 

ස්පාඤ්ඤය

ආහාර නාස්තියට එරෙහි සටනට පිවිසි නවත ම යුරෝපා රට ලෙස ස්පාඤ්ඤය සැලකිය හැකි යි. ආපනශාලා සහ වෙළෙඳසල් වල ඉතිරි වන අතිරික්ත ආහාර පාරිභෝගිකයන් ඉල්ලා සිටින්නේ නම් ඒවා ලබාදීමේ වැඩපිළිවෙළක් ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශේෂිත බෑග් එකක් ද ලබා දෙන අතර, සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේවා “ඩොගී බෑග්” ලෙස හඳුන්වනවා.

ප්‍රංශය සහ ඉතාලියේ ක්‍රියාත්මක වන ආකාරයට ම ආහාර ඉවත දමන ව්‍යාපාරික ස්ථානවලට දඩ නියම කිරීමේ ක්‍රමවේදයක් ස්පාඤ්ඤයේත් ක්‍රියාත්මක වෙනවා. ස්පාඤ්ඤයේ විශේෂත්වය වන්නේ ඉතිරි වන ආහාර ඉල්ලා සිටීමට පාරිභෝගිකයාට අයිතියක් ලබා දී තිබීම යි. කෙසේ නමුත්, ස්පාඤ්ඤ සම්ප්‍රදාය තුළ ඉතිරි වන ආහාර ගෙන යෑමේ සිරිතක් නැහැ. රජයේ නව ප්‍රතිපත්තිය හමුවේ එය අභියෝගයක් වීමට ඉඩකඩ තිබුණත්, ආහාර අපතේ යන තරමට ම ඉතිරි කිරීම සියල්ලට ම වඩා ලැජ්ජාවට කරුණක් බව සංස්කෘතික වෙනසක් නොතකා ම අප තේරුම් ගත යුතු යි.

මීට අමතර ව, අධික ලෙස ඉදුණු පලතුරු ඉවත නොදමා යුෂ, ජෑම්, ජෛව ඉන්ධන හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමේ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ස්පාඤ්ඤ රජය බලාපොරොත්තු වෙනවා.

ලෝකයේ ප්‍රමුඛත ම ආහාර අපතේ යවන්නෝ – www.forbes.com 

විශාලත ම ආහාර නාස්තිකරුවෝ

ආහාර නාස්තිය සම්බන්ධයෙන් වැඩිම සංවේදීතාවක් දක්වන කලාපය ලෙස කැපී පෙනෙන්නේ යුරෝපය යි. යුරෝපයේ තත්ත්වය එසේ වුවත්, බොහෝ ආසියාතික රටවල් සහ අමෙරිකා එක්සත් ජනපදය මෙම කරුණ සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

 ලෝකයේ ආහාර නාස්තිය අතින් ප්‍රමුඛයා වන්නේ චීනය යි. ඔවුන් වාර්ෂික ව ඉවතලන ආහාර ප්‍රමාණය ටොන් මිලියන 91.6 ක් පමණ වෙනවා. දෙවැනි ස්ථානය බොහෝ දුරට හිමි වන්නේ ඉන්දියාවට යි. ලෝකයේ විශාලත ම ආහාර විවිධත්වයක් ඇති රටක් ලෙස ඉන්දියාව ඉවතලන ආහාර ප්‍රමාණයත් සුළුපටු නැහැ. ප්‍රමාණාත්මක ව එය ටොන් මිලියන 68.8 කට ආසන්න යි. තෙවැනි ස්ථානය හිමි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට යි.

ආහාර නාස්තිය අතින් ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවල් තවමත් ඉදිරියෙන් සිටියත්, ඔවුන් හැකි උපරිමයෙන් ආහාර පරිභෝජනය විධිමත් කිරීමට උත්සහ කරමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය: ආහාර නාස්තිය යනු දේශීය මට්ටමෙන් විසඳුම් සෙවිය යුතු ගෝලීය ගැටලුවක් - www.trtworld.com

මූලාශ්‍ර:

www.weforum.org

foodhero.com

www.forbes.com 

 blog.winnowsolutions.com

Related Articles