ලොව ජීවය විනාශ කළ ව්‍යසන පහ

ජීවය ආරම්භයේ සිටම අප ජීවත්වන පෘථිවිතලය මත එකම සතුන් කොටස් ජීවත් නොවූ අතර කාලයෙන් කාලයට විවධ හේතු නිසා ජීවින් විනාශයට පත්වීම, මරණයට පත්වීම සහ වඳ වී යාම සිදු වූ අතර බොහෝ අවස්ථාවල එම විනාශයන්ගෙන් පසුව පෙර ජීවත් වූ ජීවින් නැවතත් ජීවත් වූයේ නැත. පෘථිවිය මත මෙවැනි විනාශයන් පහක් සිදු වී ඇති අතර එම අවස්ථා පහේදී විවිධ හේතු මත ජීවින් සහ ශාක විනාශ විය. ඇතැම්විට ගිනි කඳු පිපිරීමක් ග්‍රාහකයක් කඩා වැටීම වැනි හේතු පදනම් කරගෙන අතීතයේ සිදු වූ ජීවින් වඳ වී යාම සිදු විය. අනාගතයේදී තවත් එවැනිම එක විනාශයක් පිළිබඳව මේ වනවිට පෙර නිමිති පළ වී ඇත.

පළමු විනාශය

(cosmosmagazine.com) – මෙම යුගය තුළ වඳවී ගිය Graptolite නම් ජීවියෙක්

වසර මිලියන හාරසිය හතළිහකට පමණ පෙර Ordovician යුගයේ සිදු වූ අතර එයට හේතුව මහාද්වීපික වෙන්වීම් සහ කාලගුණික වෙනස්වීම් ලෙස අනුමාන කරනු ලබයි. මිහිමත ජීවත් වූ සතුන්ගෙන් සියයට අසූවක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ විය. මෙම සිදුවීම වන විට පෘථිවියේ ජීවය ආරම්භ වී වැඩි කලක් නොවූ අතර බොහෝ ජීවින් ජලය ආශ්‍රිත ජීවින් වූ අතර ගොඩබිම වාසය කරන සතුන් සිට ඇත්තේ කිහිප දෙනෙකි. සාගරයන්හි ජල මට්ටම අවම වීම සමඟ ගොඩබිම වාසය කරනු ලබන ජීවින්ට දරාගත නොහැකි මට්ටමට වායුගෝලය අධික ලෙස ශීතල විය. එම හිම යුගය අවසාන වීම සමඟම නැවතත් දෙවන අදියර ආරම්භ විය. එහිදී සාගර මට්ටම සහ ඔක්සිජන් මට්ටම වර්ධනය වූ නමුත් සාගර ජීවින් කිහිප දෙනෙකු හැරුණු විට අනෙකුත් ජීවින් විනාශ වී ගියේය. එමෙන්ම නව තත්ත්වය සමඟ අනුගතවිය හැකි  නව ජීවින් වර්ධනය විය.

දෙවන විනාශය

(cosmosmagazine.com) – මෙම යුගය තුළ වඳවී ගිය Trilobite නම් ජීවි විශේෂය

මෙය වසර මිලියන තුන්සිය හැත්තෑ පහකට පමණ පෙර Devonian යුගයෙහි සිදු වූ අතර ඒ මගින් ද ජීවින් සියයට අසුවක් පමණ විනාශ විය. සාගර තුළ ඔක්සිජන් ප්‍රමාණය අවම වී යාම සහ වායුගෝලයේ උෂ්ණත්වය අධික ලෙස සීතල වීම, ගිනි කදු පිපිරීම හේතුවෙන් මෙම විනාශය සිදු වී ඇතැයි අනුමාන කෙරෙයි. තවද මෙම විනාශය පළමු විනාශයෙන් පසුව වැඩි කලක් නොගොසින් සිදු විය. බොහෝ මුහුදු ශාක විශේෂ මෙම විනාශයෙන් පසුව ගොඩබිම මත වර්ධනය වෙමින් නව පරිසරයට අනුගත විය. ශාක කිහිපයක් පමණක් සාගර තුළ ඉතිරි වූ අතර ඒ හරහා නැවතත් සාගරයන්හි ඔක්සිජන් මට්ටම පහත බසින ලදි. ගොඩබිම මතට ශාක වර්ධනය වීම ඉහළයාම සමඟ නැවතත් වායුගෝලයේ වෙනස්කම් සිදුවිය. එයට අනුගත වීමට අපහසු වූ ජීවින් සහ ශාක සම්පුර්ණයෙන්ම විනාශ වූයේ මෙම දෙවන සිදු වීමේ පළමුවන අදියරේ දී ය. දෙවන අදියර  සිදු වීමට හේතුව වූයේ ගිනිකඳු පිපිරී යාමක් බවට අනුමාන කෙරේ.

තුන්වන විනාශය

(cosmosmagazine.com) – Tabulate නම් කොරල් ශාක මෙම යුගයෙන් පසු දැකගත නොහැකි විය

මෙය වසර මිලියන දෙසිය පනහකට පමණ පෙර Permian යුගයේ සිදු වූ විනාශයක් වන අතර මෙහිදී ජීවින් සියයට අනු පහක ප්‍රමාණයක් විනාශ විය. මේ සඳහා හේතුව නිශ්චිතව හඳුනාගත නොහැකි අතර උල්කාපාතයක් කඩා වැටීම, ගිනිකඳු පිපිරීම, කාලගුණික වෙනස්වීම් වැනි හේතු උපකල්පනය කෙරේ.

හතරවන විනාශය

(cosmosmagazine.com) – මෙම යුගය තුළ වඳවී ගිය Conodont නම් ජීවියාගේ මිලිමීටර එකක ප්‍රමාණයක දතක්.

මෙම සිදුවීම මීට වසර මිලියන දෙසීයකට පමණ පෙර Triassic යුගයේ සිදු වූ අතර ජීවත් වූ ජීවින්ගෙන් හරි අඩක් මේ හරහා විනාශ විය. මෙය සිදු වීමට හේතු කිහිපයක් බලපා ඇති බවට අනුමාන කෙරේ. ගිනිකඳු පිපිරී යාම, සාගරයන්හි පී.එච් මට්ටම් වෙනස් වීම විශේෂයෙන්ම ගිනිකඳු  පිපිරිම හරහා විවිධ වායුන් පරිසරයට එකතු වීම ප්‍රබලම හේතුව ලෙස අනුමාන කෙරේ.

පස් වන විනාශය සිදු  වූ ආකාරය

(cosmosmagazine.com) – Ammonite නම් ජීවියාගේ පොසිලය

මෙය වසර මිලියන් හැට පහකට පමණ පෙර ජීවත් වූ Cretaceous යුගයේ ජීවින්ගෙන් හැත්තෑ පහක් පමණ විනාශ වූ අතර එතරම් විශාල බලපෑමක් මෙමගින් සිදු නොවූ නමුත් බොහෝ ප්‍රසිද්ධ සිදුවීමකි. ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වන්නේ මේ හරහා ය. විශාල උල්කාවක් කඩා වැටීම හේතුවෙන් මෙම විනාශය සිදු විය.

හයවන විනාශය පෙනෙන මානයේ

අවසන් විනාශයෙන් පසුව මේ වන විට වසර මිලියන හැට හයක් ගත වී ඇති අතර මේ වන විට පෘතුවියේ ජෛව පද්ධතිය ශීඝ‍්‍රයෙන් වෙනස් වෙමින් පවතී. මේ වනවිට මහාද්වීප වල තත්ත්වය ද වෙනස් වී ඇති නමුත් අතීතයේ දත්ත භාවිත කරමින් අනාගතයේ ඇති වීමට යන විනාශය කොතරම් ඉක්මනින් සිදු වේවි ද යන්න නිවැරදිව ගණනය කිරීමේ හැකියාවක් නොමැත.

දැනට සතුන් වඳ වී යාමේ ප්‍රවණතාවය බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා සියයට පනහකින් ඉහළ සම්භාවිතාවකින් යුක්තය. ඒ හරහා නිගමනය කළ හැක්කේ සතුන් විනාශ වී වඳ වී යාමේ විනාශයක් අත ලඟටම පැමිණ ඇත. තවමත් මෙම ජීවින් වඳ වීමේ මහා විනාශය නවත්වා ගැනීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා ජෛව පද්ධති ආරක්ෂා කිරීමට අවශ්‍යය.

මේ වනවිට පෘතුවිය මත හයවන විනාශය ආරම්භ වී තිබෙන අතර ඒ ඉහතින් සඳහන් කළ  ආකාරයේ ගිනිකඳු පිපිරීමක් හෝ උල්කාවක් පතිත වීමෙන් නම් නොවේ. එය මිනිස් වර්ගයාගේම ක්‍රියාකාරකම් නිසාවෙන් ආරම්භ වූ විනාශයකි. සතුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ වී යාම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම නිසා දේශගුණික වෙනස්වීම් ඇති වීම ආරම්භ වී ඇත. අතීතයේ සිදු වූ විනාශයන් සියල්ල තුළම එක පොදු ලක්ෂණයක් පවතින අතර ගිනිකඳු ආශ්‍රිතව හටගත් අධික උෂ්ණත්වය ඉහළ යාම මගින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම සිදුවිය. කාබන්ඩයොක්සයිඩ් ඉහළ යාම කෙලෙස සිදු වුවද ප්‍රතිපල සමාන වන බවට විද්වතුන් මත පළ කර ඇත.

කවරයේ පින්තූරය: swordlord3d.deviantart.com

මූලාශ්‍ර

www.nationalgeographic.com

www.amnh.org

Related Articles