ආර්තවය, මාස් ශුද්ධිය, ඔසප් වීම ආදී විවිධ නම්වලින් හඳුන්වන ක්‍රියාවලිය වන්නේ, වැඩිවිය පැමිණි ස්ත්‍රියකගේ ගර්භාෂයේ ඇති අන්තෝමාතෘකයෙන් (එන්ඩොමේට්‍රියම) ශ්ලේෂ්ම පටක ගැලවී රුධිරය සමග යෝනිය හරහා පිටවීම යි. මෙය මුල්වරට සිදුවීම ‘මල්වර වීම’ ලෙස හඳුන්වන අතර සාමාන්‍යයෙන්, දැරිවියකගේ පියයුරු වර්ධනය වීම ඇරඹී අවුරුදු 2කට පමණ පසු එය සිදු වේ. එසේ ඇරඹෙන ආර්තවය කිසියම් සති ගණනකට වරක් (වැඩිහිටියන්ගේ බොහෝවිට සති 4-5) සිදුවෙමින් අවුරුදු 40-50 අතර ඇතිවන ‘ආර්තවහරණය’ දක්වා පවතී.

ගැහැණු දරුවකු තවත් ජීවියකු තමා තුළ දැරීමට සූදානම් බව මින් අරුත් ගැන්වෙන බැවින් එහි ඇති බරපතලකම වටහා දීම සඳහා විවිධ සංස්කෘතීන් මෙම සාමාන්‍ය විද්‍යාත්මක සංසිද්ධිය වටා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර යොදා ගනියි. මේ නිසා ම ඒ වටා මිථ්‍යා මත සහ ක්‍රමවේද රැසක් බිහිව පවතින අතර ඒවා සෞඛ්‍යමය අවදානම් පවා ගෙන දෙන ඒවා ය. 

5. ස්නානය නොකර සිටිය යුතු බව

උණු දිය ස්නානය සුදුසුයි (seriouslytravel.com)

ආර්තවය සිදු වන විට නෑම සහ ඇඟ සේදීමෙන් වැළකී සිටිය යුතු බවට මිථ්‍යාවක් පවතී. ජලය නිසා රුධිර ගලනයේ වෙනස්කම් ඇති විය හැකි නිසා මෙන්ම, අතීතයේ පොදු ළිං, ගංගා ආදියේ ස්නානය කරන නිසා අනෙක් අයගේ සනීපාරක්ෂාව තකා මෙවන් විශ්වාස ඇතිව තිබෙනවා විය හැකියි.

උණු ජලය ස්නානය කිරීමෙන් රුධිර ගලනය වැඩි වේ. එය වාසියක් වන්නේ, එමඟින් කෙණ්ඩා පෙරළීම අඩු වීම සහ පේශී ආතතීන් ලිහිල් කිරීමට ඉවහල් වන බැවිනි. සම්පූර්ණයෙන් දියේ ගිලී නෑමේ දී ජලයේ පීඩනය නිසා රුධිර ගලනය අඩු විය හැක.

ආර්තව කාලය තුළ සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. නූතනයේ පෞද්ගලික නාන කාමර නිවෙස්වල ඇති බැවින් අතීතයේ මෙන් ‍පොදු ස්ථාන අපවිත්‍රවීම ගැන සිතිය යුතු නොවේ. බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීම සඳහා ස්නානය මඟින් පිරිසිදු වීමත්, සුවඳ නොගැල්වූ මෘදු සබන් වර්ග භාවිතා කිරීමත් සුදුසු ය. ටැම්පෝන් වැනි රුධිර ගලන පාලකයක් පැළඳීමෙන් පසු පිහිනුම් තටාක පවා භාවිතා කළ හැකිය.

4. මාංශ සහ තෙල් සහිත ආහාර ගැනීම ‍නුසුදුසු බව

තෙල් කොහොමටත් නුසුදුසුයි (cnn.com)

මෙය එක් අතකට නිවැරදි යැයි කිව හැක. මන්ද, ආර්තව කාලය තුළ පමණක් නොව අනෙක් දිනවලත් තෙල් සහිත ආහාර අධිකව ගැනීම ස්ථුලතාවයට හේතුවන බැවිනි. ඒ හැර ආර්තවය සහ තෙල් කෑම අතර ඇති කිසිදු සබඳතාවක් නැත. ඇතැම්විට, ඒ උදරාබාධ ඇතිවුවහොත් ඒවා ආර්තව අපහසුතා සමග මුසුවන නිසා විය හැක.

රුධිර ගලනය සිදුවන බැවින් දේහයට මෙම කාලය තුළ දී හොඳින් පෝෂණය ලබා ගැනීම අවශ්‍ය වේ. ජලය පානය කරමින් විජලනය වළක්වා ගැනීම, සීනි සහිත දෑ ආහාරයට ගන්න සිතේ නම් ඒ වෙනුවට ජලය හොඳින් ඇති පත්තක්කා වැනි පලතුරක් ආහාරයට ගැනීම, යකඩ හොඳින් ලබා ගැනීමට කොළ පැහැති ‍එළවළු/පලා වර්ග ආහාරයට එක් කිරීම සුදුසු ය. 

ආසාදන තත්ත්ව වැළැක්වීමට ඉඟුරු තේ පානය සුදුසු වන අතර, බඩේ දැවිල්ල ඇතිවිය හැකි බැවින් එය පමණ ඉක්මවා සිදු නොකළ යුතුය. යකඩ සහ ප්‍රෝටීන් පිරි කුකුළු මස්, ඔමෙගා-3 තෙල් සහිත මාළු සහ කජු වර්ග, බැක්ටීරියා ආසාදන වැළැක්වීමට යෝගට් වැනි දෑ සුදුසු වේ.

3. සනීපාරක්ෂක තුවා නිසා වඳභාවය ඇතිවන බව

ආර්තවය නිසා දරුවන් කොන් නොකළ යුතුය (youworkforthem.com)

සනීපාරක්ෂක තුවා නිසා දරුවන් ලැබීමට ඇති හැකියාව නැතිව යන බවට මිථ්‍යාවක් දකුණු ආසියානු කලාපය තුළ පැතිර තිබේ. එනමුත්, නිසි සනීපාරක්ෂාවක් පවත්වා නොගතහොත් මුත්‍රා හා යෝනි ආසාදන, කුෂ්ඨ වැනි සංකූලතා ඇති විය හැකි බවයි ඉන්දියාවේ නාරිවේද හා ප්‍රසව වෛද්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන අංජලී කුමාර් India Today පුවත් සේවය වෙත පවසන්නේ.

උගන්ඩාවේ කළ සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ එරට කාන්තාවන් 65%ක් ම අඩු ආර්තව සනීපාරක්ෂාවකින් යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර නියෝජිතයකු වන වෛද්‍ය එඩ්සන් පවසන්නේ “අපිරිසිදුව සිටින කාන්තාවන් ද වඳභාවයට ගොදුරු වෙනවා. ඔසප් වීමේදී අපිරිසිදු රෙදි භාවිතා කිරීමෙන් ආසාදනයකට තුඩු දිය හැකි අනවශ්‍ය බැක්ටීරියා වර්ධනය වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා” කියායි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක මහතා විමසන්නේ “ඇත්තටම ඒක කනගාටුදායක කාරණයක්.‍ පසුගිය කාලයේ කතාවුණා කෑමවලට මොනවාහරි දාලා, පෑඩ්ස්වලට ස්ප්‍රේ කරලා වඳ බව ඇති කරන බව. ඒත් මොකක්ද මේ රසායනික සං‍යෝගය? ලෝකෙටම දන්නේ නැති දෙයක් මේ ලංකාවේ තියෙනවාද?” කියා යි. එසේ තිබෙනවා නම් ඒවා උපත් පාලන ගැටළු ඇති අප්‍රිකානු රටවලට දිය හැකි බවත්, එම සංයෝගය සොයාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් අය පෝ‍ළිමේ පැමිණ එය අපෙන් රැගෙන යනු ඇති බවත් පවසමින් එය පදනම් විරහිත මතයක් බව ඔහු වැඩිදුරටත් තහවුරු කරයි.

2. අපවිත්‍ර බව සැලකීම

කාන්තාවන් වෙන් කර නොතැබිය යුතුය (i-scmp.com)

“ඉස්සර කාලේ විද්‍යාව පිළිබඳ දැනුම නැති භාවය නිසා මේ අය හිතලා තියෙනවා මේ ඇඟ මාසෙකට වරක් පිරිසිදු වෙන, ඇඟ ශුද්ධ වෙන ආකාරයේ දෙයක් කියලා.” ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ පවසයි. නමුත් මෙහිදී සිදුවන්නේ ඇඟ හෝ ලේ පිරිසිදු වීමක් නොවන බවත්, එවන් කටයුතු කරන්නේ පෙනහළු හෝ අක්මාව බවත්, ඔසප් වීම යනු හුදෙක් ගර්භාෂ බිත්තිය ගැලවී යාම පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඔසප් වන සමය තුළ කාන්තාවන් තමා අපවිත්‍ර යැයි සලකා එදිනෙදා කටයුතු වලින් බැහැර වී සිටින අතර ඇතැම් දරුවන් පාසල් යාමෙන් ද වැළකෙති. මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පවසන්නේ “අපි මේක සම්පූර්ණයෙන්ම ස්වාභාවික දෙයක් හැටියට තමයි දකින්න ඕන. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් තමයි අසාමාන්‍ය වෙන්නේ. ලංකාවේ සමීක්ෂණ වලින් පෙන්වා දෙන්නේ මේ සනීපාරක්ෂක තුවා භාවිතා වෙන්නේ 30%ක් විතරයි.” කියා යි.

සාමාන්‍ය කපු රෙදි කඩකට වඩා සනීපාරක්ෂක තුවා රුධිරය පිටතට පැමිණීම වළක්වමින් වැඩි විශ්වාසයක් දෙන බැවින් එය භාවිතය මහත් පහසුවක් සහ වැදගත් බව ඔහු වැඩිදුරටත් පවසයි. ඒ අනුව, රුධිර ගලනය පාලනය කරගත් පසුව ඉන් ඔබ්බට ගිය “අපවිත්‍ර බවක්” පිළිබඳ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව මෙසේ පැහැදිලි වෙයි.

1. දිනක් ඉක්මවූ ආර්තවය සෞඛ්‍යාරක්ෂිත නොවන බව

පුද්ගලානුරූපව දින වකවානු වෙනස් විය හැක (healthline.com)

දිනකට වඩා ආර්තවය පැවතීම අසුබදායී හෝ සෞඛ්‍යයට හිතකර නොවන බව ඇතැම්හු සිතති.

එක් ආර්තවයක පළමු දින සිට ඊළඟ ආර්තව දිනය දක්වා ගණනය කරනු ලබන ඔසප් චක්‍රය සෑම කාන්තාවකටම සමාන නොවේ. දින 21 ත් 35 ත් අතර කාලය තුළ ඔසප් වීම සිදුවිය හැක. මල්වර වූ පසු පළමු වසර කිහිපය තුළ දිගු ඔසප් චක්‍ර බහුලව දක්නට ලැබේ. කෙසේ වෙතත්, වියපත් වත්ම ඔසප් චක්‍රය කෙටි වේ.

ආර්තවයේදී පිටවන රුධිර ප්‍රමාණය, වේදනාවේ ප්‍රමාණය, පවතින දින ගණන යන සියල්ලම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. එනිසා ‘සාමාන්‍යයෙන් සිදුවන ප්‍රමාණය’ තීරණය වන්නේ සමාජ මතයන්ට අනුව නොව, ඔබට සාපේක්ෂව යි. සැලකිලිමත් විය යුත්තේ එහි වෙනසක් වූ විට යි.

මිථ්‍යාව නමැති අඳුරේ සිට, ආර්තවය නමැති ඔබේ සිරුරේ මාසික සැමරුම් මහෝත්සවය සමරනවා වෙනුවට, එදෙස විද්‍යාත්මක ඇසින් බලමින් ඊට අනුගත විය යුතු වේ. එසේම, ඔබේ මව, සොයුරිය, බිරිඳ ඇතුළු අනෙක් කාන්තාවන් ද පොදුවේ අත්විඳින මේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක සාධකය අමුතු කොට දැකිය යුත්තක් නොව ඒ ගැන කතා කිරීම ද ලැජ්ජාවට කාරණයක් නොවන බව සමස්ත සමාජය අවබෝධ කටයුතු ය.

මූලාශ්‍රයයන්:

    • mayoclinic.org
    • medicalnewstoday.com
    • flo.health

 

 

කවරය: healthline.com