Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 5 දෙනා

2019 වසර සඳහා ලෝකයේ ධනවත්ම පුද්ගලයන් නම් කිරීම ෆෝබ්ස් සඟරාව පසුගිය දිනෙක සිදුකර තිබුණා. මෙහි දී ලෝකයේ ධනවත්ම මිනිසුන්, ලෝකයේ ධනවත්ම කාන්තාවන්, ඇමෙරිකාව තුළ ධනවත්ම පුද්ගලයන්, චීනය තුළ ධනවත්ම පුද්ගලයන්, ලෝකයේ ධනවත්ම තරුණ/ තරුණියන් හා, නැගී ගෙන එන ධනවතුන් ඇතුළු විවිධ වර්ගයේ ධනවතුන් නම් කිරීම සිදු වුණා.

ෆෝබ්ස් සඟරාව විසින් නම් කෙරුණු, ලෝකයේ ඉහළම වත්කමක් රැස් කරගෙන තිබෙන බිලියනපතියන් පස්දෙනා පිළිබඳව යි අද ලිපිය ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නේ.

01. ඇමසන්හි ජෙෆ් බෙසොස් – ඩොලර් බිලියන 131

ජෙෆ් බෙසොස් (Washington Post)

විද්‍යුත් වාණිජ්‍යයට නව අර්ථකථනයක් එකතු කරමින් 1994 වසරේ දී ජෙෆ් බෙසොස් ඇමසන් සමාගම ආරම්භ කරනවා. ඔහු වසර කිහිපයක් තිස්සේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබෙනවා. ඉතින් මෙවරත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසු වන්නේ, ඇමසන් නිර්මාතෘ හා තවමත් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ජෙෆ් බෙසෝස්. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131ක්. එය 2018 වසරට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වැඩි වීමක්. ඔහු 2018 වසර තුළ දී පමණක් මිලියන 230ක අදායමක් ලබා තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේ දී ඔහු සිය බිරිඳගෙන් දික්කසාද වන බව නිවේදනය කරන අතර, ඒ අනුව ඔහුගේ වත්කමින් අඩක් ඔහුගේ බිරිඳට නිත්‍යානුකූලව හිමි විය යුතු වෙනවා. ඒ අනුව ජෙෆ්ගේ බිරිඳ ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වෙනවා.

02. මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්  – ඩොලර් බිලියන 96.5

බිල් ගේට්ස් (CNBC.com)

පෝල් ඇලන් සමග 1975 වසරේ දී මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කරන බිල් ගේට්ස් මේ වන විට එම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එසේම ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් දෙවන ස්ථානය හිමි කරගෙන සිටින්නේත් බිල් ගේට්ස්.

මේ වන විට ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 96.5ක්. එය 2018 වසරට සාපේක්ෂව බිලියන 6.5ක වැඩි වීමක්.

ඔහු සහ ඔහුගේ බිරිඳ එකතු වී ආරම්භ කරන ලද ගේට්ස් පදනම, සමාජ සේවාවන් සඳහා වෙන් වූ ලෝකයේ විශාලතම පෞද්ගලික අරමුදල බවට පත් වී තිබෙනවා. ඔහු එම අරමුදල සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඩොලර් බිලියන 35.8ක් ප්‍රධානය කර තිබෙනවා.

03. වොරන් බෆෙට් – ඩොලර් බිලියන 82.5

වොරන් බෆට් (CNBC.com)

ලොව ධනවතුන් අතර තුන්වන ස්ථානය දිනාගෙන සිටින්නේ වොරන් බෆෙට් ය. බෆෙට්ගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 82.5ක් ලෙස ෆෝබ්ස් සඟරාවේ සඳහන් කර තිබෙනවා. ඔහු සාර්ථක ආයෝජකයෙක් ලෙස ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය යි. ඔහු මේ වන විට විශාල සමාගම් 60කට වැඩි ප්‍රමාණයක උරුමකරු බවට පත්ව සිටිනවා. බෆෙට් පළමුවෙන්ම සමාගමක කොටස් ආයෝජනය සඳහා මුදල් යොදා ඇත්තේ වයස අවුරුදු 11 දී යි.

2018 වසරේ ඔහුගේ වත්කමින් ඩොලර් බිලියන 3.4ක් බිල් ගේට්ස්ගේ පුණ්‍යධාර පදනම වෙත පරිත්‍යාග කර තිබෙනවා.

04. බර්නඩ් ආර්නල්ට් – ඩොලර් බිලියන 76

බර්නඩ් ආර්නල්ට් (CNBC.com)

ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ  බිලියනපතියන් අතර හතරවන ස්ථානය ලබාගෙන සිටින්නේ බර්නඩ් ආර්නල්ට් හා ඔහුගේ පවුල යි. ඔවුන්ගේ වර්තමාන වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 76ක්. ලුවී විතෝන් හා  සෙෆෝරා ඇතුළු ලොව සුප්‍රසිද්ධ සන්නාම 70ක පමණ හිමිකරු වන්නේ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන්.

05. කාලෝස් ස්ලිම් – ඩොලර් බිලියන 64

කාලෝස් ස්ලිම් (The National)

මෙක්සිකෝවේ ධනවත්ම පුද්ගලයා වන කාලෝස් ස්ලිම් හා ඔහුගේ පවුල ලතින් ඇමෙරිකාවේ වඩාත්ම විශාලම දුරකථන සන්නිවේදන සමාගම වන America Movilහි අයිතිකරුවන් වෙනවා. ඔහු හා ඔහුගේ පවුල සතුව වර්තමානයේ ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 64ක් ලෙස යි සඳහන් වන්නේ.

ඔහුට මේ වන විට මෙක්සිකෝව තුළ විවිධ වර්ගයේ ව්‍යාපාරයන් රැසක් තිබෙන අතර, ඒවා අතරට ඉදිකිරීම් සමාගම්, පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන සමාගම්, ඛනිජ පතල් හා දේපොළ වෙළඳාම් සමාගම් අයත් වෙනවා.

කවරයේ පින්තූරය - allbusiness

මූලාශ්‍රයයන් -

forbes.com

bbc.com

Related Articles