පාපන්දු යුද්ධයේ පාඩම්

පාපන්දු යුද්ධය විසිවෙනි සියවසේ පැවති කෙටිම යුද්ධය යි. එය පැවතියේ පැය 100ක කාලයක් පමණයි. 1969, ජුලි 14 සිට 18 දක්වා එල් සැල්වදෝරය හා හොන්ඩුරස් රාජ්‍යය අතර පැවති මේ යුද්ධයට හේතුව, පාපන්දු බව ඔබ විශ්වාස කරනවා ද?

එල් සැල්වදෝරය හා හොන්ඩුරස් රාජ්‍යය, මධ්‍යම ඇමරිකාවේ පිහිටා ඇති රාජ්‍යයන් දෙකක්. හොන්ඩුරස් රාජ්‍යය එල් සැල්වදෝරය මෙන් පස් ගුණයක් පමණ විශාල භූමියකින් සමන්විත වුව ද, 1969 දී එල් සැල්වදෝරයේ ජනගහනය මිලියන 3.6 වෙද්දී හොන්ඩුරස් රාජ්‍යයේ ජනගහනය මිලියන 2.7 පමණ තමයි වුණේ. අද වන විට ද එල් සැල්වදෝරය ජනගහන ඝනත්වය වැඩි රටවල්වලින් එකක්. මේ තදබදය නිසා එල් සැල්වදොර් වැසියන් හොන්ඩුරස් රාජ්‍යයට සංක්‍රමණය වූ අතර, එම සංක්‍රමණයන්ගෙන් බොහෝ ඒවා නීති විරෝධී වුණා. 

1900 දී පමණ ආරම්භ වූ මේ සංක්‍රමණ හේතුවෙන් 1969 දී හොන්ඩුරස් රාජ්‍යයේ එල් සැල්වදොර් වැසියන් 300,000ක් පමණ ජීවත් වූ අතර, එය හොන්ඩුරස් රාජ්‍යයේ ජනගහනයෙන් සියයට විස්සක් (20%) පමණ වුණා. එල් සැල්වදොර් වැසියන් විසින් හොන්ඩුරස් රාජ්‍යයෙන් අත්පත් කරගෙන තිබූ ඉඩම්, ඔවුන් විසින් නිත්‍යනුකූල නොවන ලෙස අත්පත් කරගෙන තිබිම හොන්ඩුරස් වැසියන්ගේ සිත් ගත්තේ නැහැ. හොන්ඩුරස් රාජ්‍යයේ, බොහෝ මධ්‍යම ඇමරිකානු රටවල්වල මෙන් ඉඩම් අයිතිය බහු ජාතික සමාගම් සතුව හෝ විශාල වතු හිමියන් සතු වුණා. United Fruit Company සතුව හොන්ඩුරස් රාජ්‍යයේ ඉඩම්වලින් සියයට දහයක් (10%) සතු වීම ඊට නිදසුනක්. ඒ අනුව දේශීය හොන්ඩුරස් ගොවියන් මෙම සමාගම්වලට මෙන්ම, එල් සැල්වදොර් වැසියන්ට එරෙහිව සංවිධානය වුණා. ඔවුන් හොන්ඩුරස් ගොවි හා සත්ත්ව පාලනය සඳහා වූ සමිති සම්මේලනයක් 1966 දී පිහිටුවා ගත් අතර, ඔවුන්ගේ මූලික අරමුණ වූයේ බහු ජාතික සමාගම් හා එල් සැල්වදොර් වැසියන්ට අයිතිව තිබූ ඉඩම්වල අයිතිය දේශිය ගොවියන් වෙත ලබාගැනීම යි. ජාතිකත්වය මත සිදු වූ මේ අරගලයට දැවැන්ත ජනතා ප්‍රසාදයක් හිමි වූ අතර, ඉන් වඩාත් බියට පත් වූයේ ජාත්‍යන්තර සමාගම් ය. 1962 දී හොන්ඩුරස් රාජ්‍යයේ ජුන්ටාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කර තිබුණත්, එය ක්‍රියාත්මක කර තිබුණේ නැහැ. 1967 දී එවකට හොන්ඩුරස් රාජ්‍යයේ ජනාධිපතිවරයාව සිටි ජෙනරාල් ඔස්වල්ඩෝ ලෝපස් ඇරලානෝ, එම පනත ක්‍රියාත්මක කළා. ඇත්තටම ඔහු, ජාත්‍යන්තර ආයතන ඉඩම්වලට අත තියනවා වෙනුවට එල් සැල්වදෝර් වැසියන්ගේ ඉඩම් පවරා ගත්තා. එමෙන්ම මෙම ජනාධිපතිවරයා හින්ඩුරස් සියලු ප්‍රශ්නවල මූලික හේතුව; එල් සැල්වදොර් වැසියන් ඉඩම් අත්පත් කරගැනීම ලෙස හුවා දැක්වූයේ තමන්ගේ අඩුපාඩු වසා ගැනීමට යි. එමෙන්ම 1965 දී ඔස්වල්ඩෝ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 95%ක් ලබාගත්ත ද, එය අන්ත දූෂිත මැතිවරණයක් බව විපක්ෂය චෝදනා කර සිටියා. ඉතිහාසයේ සැමදාම වූ පරිදි ආර්ථික ගැටළුවල දී මෙන්ම තමන්ගේ දූෂණයන් වසා ගැනීමට හැංගෙන සළුව වූ දේශප්‍රේමය, ඔස්වල්ඩෝ ද භාවිතා කළා. ඒ අනුව පරම්පරා ගණනාවක් හොන්ඩුරස් හි වාසය කළ එල් සැල්වදොර් වැසියන් එම රටින් පිටුවහල් කළා. මේ අතර එල් සැල්වදෝරය තම ජාතිකයන්ට වූ අපහසුතා ගැන විරෝධය පළ කළත්, හොන්ඩුරස් රාජ්‍යය ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ අනුව මෙම රටවල්වල වැසියන් අතර නොසන්සුන්තාවයන් පැවති අතර ඒවා ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහර දීම් හා මිනිමැරුම් දක්වා වර්ධනය වුණා.    

1970 දී මෙක්සිකෝවේ පැවැත් වීමට නියමිත තිබූ පාපන්දු කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී උතුරු, මධ්‍යම හා කැරිබියන් දූපත් කාණ්ඩයෙන් රටවල් දෙකකට සුදුසුකම් තිබුණත්, සත්කාරක රට වූ මෙක්සිකොවට නිතරග අවස්ථාවක් හිමි වූ බැවින් රටවල් දොළහකින් තොරා ගැනුණේ එක් රටක් පමණයි. ඒ අනුව පළමු කාණ්ඩයෙන් ඇමරිකාවත්, දෙවන කාණ්ඩයෙන් හයිටි රාජ්‍යයත්, තුන්වන කාණ්ඩයෙන් හොන්ඩුරස් රාජ්‍යයත්, අවසාන කාණ්ඩයෙන් එල් සැල්වදොරයත් අවසන් පූර්ව වටය සඳහා තේරී පත් වුණා. ඒ අනුව අවසන් පුර්ව වටයේ තරග පැවැත්වූයේ ඇමරිකාව හා හයිට් රාජ්‍යය අතරත්, එල් සැල්වදොර්ය හා හොන්ඩුරස් රාජ්‍යය අතරත් ය. තරග නීතිරීතිවලට අනුව රටවල් දෙක අතර තම රටවල් හි තරගය බැවින් පවත්වන අතර, එම තරග දෙක සම සමව ජය ගත්හොත් වෙනත් රටක තරගය පැවැත්වීමට නියමිතව තිබුණා. 1969 අප්‍රේල් හා මැයි මාසයන් හි හයිට් හා ඇමරිකා එක්සත් ජනපදය අතර තරග දෙක හයිටියේ හා ඇමරිකාවේ පැවැත් වුණා. එම තරග දෙකෙන්ම හයිට් රාජ්‍යය ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

අනෙක් අවසාන ස්ථානය සඳහා වූ පළමු තරගය 1969 ජුනි මස 8 වන දින එල් සැල්වදොර් හා හොන්ඩුරස් රාජ්‍යය අතර හොන්ඩුරස් රාජ්‍යයේ අගනුවර වූ තෙගූසීගල්පා හි දී පැවැත් වුණා. එම තරගයේ අවසාන මිනිත්තුවේ දී ලබාගත් ගෝලයකින් හොන්ඩුරස් පිල ජයග්‍රහණය ලබා ගත්තේ 1-0 ලෙසිනුයි. මේ තරගයේ තම කණ්ඩායම ලැබූ පරාජය ඉවසා ගත නොහැකිව අමලියා බොලනොස් නම් තරුණිය වෙඩි තබා ගෙන සිය දිවි නසා ගත්තා. ඇයව එල් සැල්වදොරය විසින් ජාතික වීරවරියක් ලෙස නම් කළේ හොන්ඩුරස් රාජ්‍යයේ වැසියන් කුපිත කරවමින්. හොන්ඩුරස් රාජ්‍යයේ එල් සැල්වදොර් වැසියන්ට හිරිහැර කිරිම මේ සිද්ධියත් සමගම ඉහළ ගියා. ඊළඟ තරගය ඊට සතියකට පසු එනම්, ජුනි මස 15 වෙනිදා පැවැත්වීමට තිබුණේ එල් සැල්වදෝරයේ අගනුවර වූ සැන් සැල්වදොර් හි දී යි. මේ තරගයට පෙර දින රාත්‍රියේ හොන්ඩුරස් කණ්ඩායම රැඳී සිටි හෝටලය අසලට රැස් වූ එල් සැල්වදොර් වැසියන් විශාල පිරිසක් අමලියාගේ ඡායාරූප සහිතව විශාල උද්ඝෝෂණයක් රාත්‍රියේ පුරාවටම සිදුකළා. එමඟින් නැගුණු ශබ්දය නිසා හොන්ඩුරස් ක්‍රීඩකයන්ට නිදාගැනීමට පවා නොහැකි වී තිබුණා. පසු දා තරගය පැවැත්වීමට පෙර රටවල් දෙකෙහි ජාතික ධජ එසවීම සම්ප්‍රදායය වූවත්, හොන්ඩුරස් රාජ්‍යයේ ධජය වෙනුවට ඉරීගිය වැරහැල්ලක් එසවීමට එල් සැල්වදොර් බලධාරීන් කටයුතු කළා. බියටත්, තෙහෙට්ටුවටත් පත් හොන්ඩුරස් කණ්ඩායම, එල් සැල්වදොර් පාපන්දු කණ්ඩායම ඉදිරියේ 3-0ක් ලෙස පරාජයට පත් වුණා. තරගය අවසානයේ දී නරඹන්නන් ලෙස පැමිණි හොන්ඩුරස් ජාතිකයන්ට එල් සැල්වදොර් වැසියන් පහර දුන් අතර, ඊට පලිගැනීමක් ලෙස හොන්ඩුරස් රාජ්‍යයේ පදිංචිව සිටි එල් සැල්වදොර් වැසියන් පහර කෑමට ලක් වුණා. හොන්ඩුරස් ක්‍රිඩකයන් වෙඩි නොවදින බස් රථයකින් සිය රට බලා පිටත් වූ අතර, ඊට ද ගල් පහර එල්ල වූවා. මේ ගමනේ දී හොන්ඩුරස් පුහුණුකරු තම කීඩකයන්ට, මෙම තරගය පැරදුණේ නැත්නම් නැවත තම රටට පවා යාමට නොහැකි වනු ඇති බව ප්‍රකාශ කළ බව සඳහන්. මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබූ නිසා මධ්‍යස්ථ රටක තවත් තරගයක් පැවැත් විය යුතුව තිබුණු අතර, ජුනි 26 වන දින එය පැවැත්වූයේ මෙක්සිකෝවේ දී. එම තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙක 2-2 බැගින් ගෝල වාර්තා කරගෙන සම තත්ත්වයේ සිටියත්, අතිරේක කාලයේ දී එල් සැලවදෝරය ලබාගත් ගෝලයත් සමග 3-2ක් ලෙස එල් සැල්වදෝරය, හොන්ඩුරස් රාජ්‍යය පරදවා හයිටිය සමග අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ හොන්ඩුරස් රාජ්‍යය තරගාවලියෙන් ඉවත් කරමිනුයි. මෙම ජයග්‍රහණයෙන් පසු දින හොන්ඩුරස් රාජ්‍යය එල් සැල්වදෝර වැසියන් හට නිසි ආරක්ෂාව ලබා දීම හිතමතාම මඟ හරින බවටත්, වරදකරුවන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටත් චෝදනා කරමින් එල් සැල්වදෝරය හොන්ඩුරස් රාජ්‍යය සමග සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරියා. 

1969 ජූලි මස 14 දින රාත්‍රී නමයට පමණ සැල්වදෝරයේ ගුවන් හමුදාව හොන්ඩුරස් රාජ්‍යයේ ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ හොන්ඩුරස් රාජ්‍යයේ ප්‍රධන ගුවන් තොටුපළ වූ ටොන්කොන්ටීන් ගුවන් තොටුපළ යි. මෙම ප්‍රහාරය නිසා හොන්ඩුරස් රාජ්‍යයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නොහැකි වූවා. ඒ සමගම එල් සැල්වදෝර පාබල හමුදාව හොන්ඩුරස් රාජ්‍යයට උතුරු හා නැගෙනහිර දෙස මාර්ග දෙකක් ඔස්සේ කඩා වැදුණා. ඔවුන් එම මාර්ග දෙක ඔස්සේ හොන්ඩුරස් රාජ්‍යයේ ටෙගුසීගල්පා අගනුවර වෙත ළඟා වෙමින් සිටියා. හොන්ඩුරස් රාජ්‍යයත් ගුවනින් ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, එල් සැල්වදොර් හමුදාවට ඉන්ධන මදකම හේතුවෙන් හොන්ඩුරස් රාජ්‍යයේ අගනුවර අල්ලා ගැනීම පමා වුණා. තම හමුදාව ප්‍රමාණාත්මක අතින් මෙන්ම ගුණාත්මක අතින් ද එල් සැල්වදෝරයට වඩා පසු පසින් සිටින බව වටහා ගත් හොන්ඩුරස් රාජ්‍යය, ඇමරිකානු රාජ්‍යය එකමුතුවෙන් හෙවත් Organization of American States උපකාර ඉල්ලා සිටියා. ඒ අනුව 1969 ජූලි මස 15 දින රැස් වූ ඇමරිකානු රාජ්‍යය එකමතුව එල් සැල්වදෝරයෙන් යුද්ධය නවත්වන ලෙස ඉල්ලා සිටියා. එහෙත් තම රටවැසියන්ගේ හා දේපළවල ආරක්ෂාව සම්බන්දයෙන් හොන්ඩුරස් රාජ්‍යය සහතිකයක් ලබා දෙන තුරු යුද්ධය අවසන් නොකරන බව එල් සැල්වදෝරය තරයේ කියා සිටියා. මේ අතර හොන්ඩුරස් රාජ්‍යය එල් සැල්වදෝරයේ කුඩා තෙල් ළිං ඉලක්කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාර සමගම එල් සැල්වදෝරයේ හමුදාව වෙත පහසුකම් සැලසීම පමා වූ අතර, නිකරගුවා ජනාධිපති අන්ස්ටාසියෝ සොමාසා හොන්ඩුරස් රාජ්‍යය වෙත ආයුධ ඇතුළු යුද උපකාර ලබා දුන්නා. නිකරගුවානු මැදිහත් වීමත් සමගම එල් සැල්වදෝරයේ හමුදාවන්ගේ ඉදිරි ගමන අඩාල වූ අතර, 1969 දී ඇමරිකානු රාජ්‍යය එකමුතුව යෝජනා කළ සටන් විරාමය එල් සැල්වෝදරය පිළිගනු ලැබුවා. එහෙත්, එල් සැල්වොදොර් හමුදා හොන්ඩුරස් රාජ්‍යයෙන් ඉවත් වූයේ නැහැ. ආර්ථික සම්බාධක පනවන බවට ඇමරිකානු රාජ්‍යය එකමුතුවේ තර්ජනය හමුවේ එල් සැල්වදෝරය 1969 අගෝස්තු 2, සිය හමුදා හොන්ඩුරස් රාජ්‍යයෙන් ඉවත් කර ගත්තා. ඊට වසර 11කට පසුව, 1980 ඔක්තොබර් 30 වන දින එල් සැල්වදෝරය හා හොන්ඩුරස් රාජ්‍යය අතර සාම ගිවිසුමක් අත්සන් තැබුවත්, අදටත් මේ රාජ්‍යයන් දෙක එකිනෙකා දෙස බලන්නේ සතුරු ඇසිනුයි. 

යුද්ධයෙන් අනතුරුව රාජ්‍යයන් දෙකම ආර්ථික පරිහානියකට ලක් වුණා. විශේෂයෙන්ම එල් සැල්වදෝරයට හොන්ඩුරස් රාජ්‍යයෙන් පැමිණෙන සරණාගතයන් දරාගත නොහැකි වූ අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වුණා. යුද්ධයෙන් 6000කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර, 15,000ක් පමණ තුවාල ලැබුවා. 1980 සාම ගිවසුම මඟින් නිරාකරණය කිරීමට උත්සාහ ගත් ෆොන්සේකා බොක්ක ආශ්‍රිත ගැටළුව තවමත් නිරාකරණය වී නැහැ. ෆොන්සේකා බොක්ක හොන්ඩුරස්, එල් සැල්වර්දෝ හා නිකරගුවා යන රටවල්වලින් වට වූ බිමක්. එමෙන්ම යුද්ධයට ආසන්න හේතුව වූ පාපන්දු මඟින් ද එල් සැල්වදෝරය අපේක්ෂිත ඉලක්ක සපුරා ගත්තේ නැහැ. එල් සැල්වදෝරය තරග 2-1ක් ලෙස හයිටි රාජ්‍යය පරදා 1970 පාපාන්දු අවසාන තරගාවලියට සහභාගි වුණත්, බෙල්ජියමට 3-0ක් ලෙසත්, සත්කාරක මෙක්සිකෝවට 4-0ක් ලෙසත්, සෝවියට් දේශයට 2-0ක් ලෙසත් පරාජයට පත් වෙමින් මූලික වටයෙන්ම ඉවතට විසි වුණා. අනතුරුව, කිසිදු ජයග්‍රහණයක් නොදී මේ පාපන්දු යුද්ධය අවසන් වූවත්, බහු ජාතික සමාගම් එල් සැල්වදෝරයේ හා හොන්ඩුරස් රාජ්‍යයේ ආර්ථික අර්බුද හමුවේ ඔවුන්ගේ පැවැත්ම තවත් තහවුරු වුණා. ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළට මඟුල් කියන්නාක් මෙන් රාජ්‍යයන් දෙකක් සටන් වදිද්දී, ඒ සටනේ සැබෑ හේතුකාරකයා වූ බහු ජාතික සමාගම නිහඬ ජයග්‍රාහකයා වෙමින් මේ රටවල්වල සම්පත් සුරා කෑවා. 

මේ යුද්ධය සිදුවූයේ අපේ රටට ඉතා දුර ඈත වුවත්, අපට ඉන් ඉගෙන ගත හැකි පාඩම් අතිමහත්. විශේෂයෙන්ම දුර්වලකම් හමුවේ දේශප්‍රේමී කන්ණාඩි දමා ජනතාව මුලා කරන පාලකයන් මෙන්ම දේශිය සම්පත් විදේශ බහුජාතික සමාගම්වලට දොල පිදේනි ලෙස දෙන දේශපාලකයන් අපට අඩුවක් නැතුවාක් මෙන්ම ක්‍රීඩා තරග වැනි ළාමක කාරණා අරබයා ජීවිත පූජාවෙන් සටන් වදින මිනිසුන් ද අපට අඩුවක් නැත.

මූලාශ්‍රයයන්:

Thoughtco.com

Si.com 

Cover: 

si.com

Related Articles